ප්රංශ අගමැති මිචෙල් බාර්නියර්ට සිය ධූර කාලයෙන් මාස තුනකට පසුව ඉල්ලා අස්වීමට සිදුවිය. 1962 වසරෙන් පසු විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත් වූ පළමු අගමැති ඔහු වන අතරම බාර්නියර් මේ ප්රංශයේ ඉතිහාසයේ කෙටිම කාලයක් සිය ධුරය දැරූ අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
එරට වමේ සහ දකුණේ නීති සම්පාදකයන් විශ්වාසභංග යෝජනාවකට සහාය දැක්වීමට මෙලෙස එකට එක්වීම මගින් එරට ගැඹුරු දේශපාලන අස්ථාවරත්වයකට ඇද දැමීමට සමත්ව ඇත. නීති සම්පාදකයන් 577 දෙනකුගෙන් 331 දෙනෙක් බාර්නියර්ගේ අස්ථාවර රජයට එරෙහිව ඡන්දය ප්රකාශ කළහ.
ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් නව නායකත්වයක් නම් කරන තුරු බාර්නියර්ගේ කැබිනට් මණ්ඩලය භාරකාර තනතුරක සේවය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිම්හානයේදී ජනාධිපතිවරයා විසින් කැඳවන ලද හදිසි මැතිවරණයෙන්, ප්රංශ පාර්ලිමේන්තුව ප්රබල බලයක් නැති කණ්ඩායම් තුනකට බෙදී ගියේය. ඒ අනුව මැක්රොන් විසින් සුළුතර රජයකට නායකත්වය දීම සඳහා බාර්නියර් පත් කරන ලදී. මෙම තත්වය යටතේ රජයේ අස්ථාවර බවක් කැපී පෙනෙන්නට තිබූ අතර, ඉකුත් සඳුදා එයට එරෙහිව උදා වූ පළමු ප්රධාන බාධකයේදීම එය බිඳ වැටුණි. බාර්නියර්ට ඔහුගේ 2025 අයවැය පිළිබඳ ඡන්දය මගහැරීමට නොහැකි විය. මැරින් ලෙපෙන්ග් ප්රධාන වූ අන්ත දක්ෂිණාංශය මේ ඡන්දයට මූලික වූ යෝජනා සඳහා කලින් එකඟ වී සිටියද පසුව එයට එරෙහි වූ බවත් ඒ මගින් දේශපාලනික කුමන්ත්රණයක යෙදුණු බවත් අගමැතිවරයා කියා තිබුණි. මේ අන්ත දක්ෂිණාංශික මැරින් ලෙපෙන්ග්, මැක්රොන් යුගය පුරාම ප්රධාන ප්රතිවාදියා වූ අතර, ජනාධිපතිවරණ දෙකකදී ඔහුට අභියෝග කළ අතර දැන් උග්ර අර්බුදයක් විසඳීම සඳහා ඔහු විසින් තෝරාගත් අගමැතිවරයා ගෙදර පිටත් කර හැරීමටද මුල්ව ඇත.