2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනය ටෘඩෝ ගෙදර යවයි!

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනය මේ වනවිට කැනඩාවේ ටෘඩෝ හට තනතුරෙන් ඉල්ලා අස්වීමේ තර්ජනයක් බවට පත් වී හමාරය.

ඉදිරියේදී ඇරැඹිය හැකි මෙම ‘තීරු බදු යුද්ධය’ හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවිය හැකි අනර්ථය සම්බන්ධයෙන් සැක පළ කරමින් ඉහළ අමාත්‍යවරයකු ඉල්ලා අස්වීමෙන් පසු කැනේඩියානු ව්‍යාපාරික නායකයන් සහ දේශපාලනඥයන් වෙතින් අගමැතිවරයාට ඉල්ලා අස්වීම සඳහා නව බලපෑම් මතුව තිබේ.

කැනඩාවේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, ඇය සහ අගමැති ටෘඩෝ “ඉදිරියට ඇති හොඳම මාවත තෝරා ගැනීම සම්බන්ධයෙන් නොගැලපෙන අදහස් දරන” බැවින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ කලක් කැකෑරෙමින් තිබූ නායකත්ව අර්බුදය අනපේක්ෂිත මට්ටමකට උත්සන්න වී ඇත. මාස ගණනාවක් පුරා මතුව තිබූ පක්ෂ අභ්‍යන්තර බෙදීම් සහ මහජන සහයෝගය පහත වැටීමෙන් දැනටමත් දුර්වල වී ඇති ටෘඩෝ, ලබන වසරේ මැතිවරණයට පෙර ඔහුගේ ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට වූ බලපෑම ද දැන් අලු‍ත් වී තිබේ.

එක්සත් ජනපද නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ අගභාගයේදී තම රටේ උතුරු අසල්වැසියා වෙතින් සියයට 25 ක ඉහළ තීරු බදු අය කරන බවට තර්ජනයක් කළ අතර එය මාධ්‍ය සිරස්තලවල මුල් තැන ගෙන තිබුණි. ටෲඩෝ මෙයට දැඩි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර තිබුණි.

කැනඩාව ලබන වසරේ ෆෙඩරල් මැතිවරණයක් සඳහා සූදානම් වෙමින් සිටී. එහිදී ජනතාව මෙතෙක් ටෘඩෝ විසින් නායකත්වය දෙන ලද ලිබරල් පක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය දශකය අවසන් කිරීමට සහ මීළඟ කැනේඩියානු අගමැති ලෙස අධි-දේශමමාමක, දක්ෂිණාංශික සහ ජනතාවාදී විපක්ෂ නායක Pierre Poilievre පත් කරනු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කෙරේ.
නිවාස අර්බුදය, ඉහළ යන වියදම් සහ වඩ වඩාත් භේදකාරී දේශපාලන වාචාල කතා හේතුවෙන් කැනඩාවේ ටෘඩෝ පාලනය බහුතර ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී තිබුණි. කොටින්ම අගමැති ටෘඩෝ ප්‍රමුඛ ලිබරල්වාදීන්ට වාම නැඹුරුවක් සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එන්ඩීපී) පිටුබලය ද සැප්තැම්බර් මාසයේදී අහිමි විය.