ඔහුගේ දෙවැනි ධුර කාලයේ පළමු දිනය වන ජනවාරි 20 වැනි දිනම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ඔහුගේ ජනාධිපති සංක්‍රාන්තිය සැලසුම් කරන කණ්ඩායමට අයත් විශේෂඥයන් දෙදෙනකු උපුටා දක්වමින් මේ බව මුලින්ම වාර්තා කර ඇත්තේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතයි.
ට්‍රම්ප් මීට පෙර 2020 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වසරක් තුළ ක්‍රමානුකූලව ඉවත් වීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ නමුත් මාස හයකට පසු බලයට පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජනාධිපති ජෝ බයිඩන් එම තීරණය ආපසු හැරවීය.
78 හැවිරිදි නව ජනාධිපතිවරයා එකල සිටම දිගින් දිගටම ලෝක සෞඛ්‍ය සංවිධානය ‘බීජිං’ හි රූකඩයක් ලෙස හැඳින්වූයේය. ඒ කොවිඩ්-19 මුල් ව්‍යාප්තිය සඳහා චීනය වගකිව යුතු බවට චෝදනා කිරීමට එය අපොහොසත් වීම හේතුවෙනි. ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඉන් එක් අයකු වන ධවල මන්දිරයේ හිටපු COVID-19 ප්‍රතිචාර සම්බන්ධීකාරක අශීෂ් ජා, පෙන්වා දී තිබුණේ ට්‍රම්ප් කණ්ඩායම මෙවර වඩා වේගයෙන් කටයුතු කිරීමට අදහස් කර ඇති බවයි.
එක්සත් ජනපදය 2022-23 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට එහි අරමුදල්වලින් සියයට 16 ක් පමණ ලබා දීමත් සමඟ එහි විශාලතම පරිත්‍යාගශීලියා බවට පත්විය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම එක්සත් ජනපද ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්තියේ සුවීශේෂී වෙනසක් සනිටුහන් කරනු ඇත. වසංගතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්රයත්නයන්ගෙන් වොෂිංටනය තවදුරටත් හුදෙකලා කරනු ඇත. එසේම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙළටද බරපතළ ලෙස මෙය හානිදායී ආකාරයට බලපානු ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ දී තේරී පත්වූ දා සිටම ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කටයුතු ගැන විවේචකයන් වන කිහිප දෙනකුම රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂණයේ ඉහළම තනතුරු සඳහා නම් කර ඇති අතර, එන්නත් පිළිබඳ සංශයවාදියකු ලෙස ප්‍රකට රොබට් එෆ්. කෙනඩි ජූනියර් ද ඒ අතර ප්‍රමුඛය. සීඩීසී සහ එෆ්ඩීඒ ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ එක්සත් ජනපද සෞඛ්‍ය ආයතන අධීක්ෂණය කරන සෞඛ්‍ය හා මානව සේවා ලේකම් තනතුර සඳහා ට්‍රම්ප් ඔහුව නම් කර තිබේ.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමක් ගැන මෙන්ම පැනමා ඇළ නැවත ඇමෙරිකාවට පවරා ගැනීමෙන් එක්සත් ජනපද භූමිය පුළුල් කිරීම ගැන ද පසුගිය කාලයේ දැඩි මතයක් පළ කළ අතර සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව ද දැඩි මත පළ කර තිබුණි.
මේ අන්දමට දෙවන ධුර කාලය සඳහා තේරී පත්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නව පාලන සමය එරටට මෙන්ම ලෝකයටද බලවත් ආන්දෝලනාත්මක වෙනසක් ගෙන එන ලකුණු දැනටමත් පහළ වී හමාරය.