2025 ජනවාරි 11 වන සෙනසුරාදා

ට්‍රම්ප් බැල්ම හෙලන ග්‍රීන්ලන්ත යුරේනියම් නිදානය!

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

ග්‍රීන්ලන්තය, කැනඩාව සහ පැනමාව ඇමෙරිකාවට ඈඳා ගැනීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුම් අධිරාජ්‍යවාදී එළැඹුමක් බවට බොහෝ කලක සිට කතාබහට ලක්ව තිබේ.

ඉකුත් අඟහරුවාදා, ට්‍රම්ප් නැවත පවසා තිබුණේ එක්සත් ජනපදයට සිය “ආර්ථික ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අවශ්‍ය”‍ බවය. මෙම ප්‍රකාශය ගැන සමහර විශේෂඥයන් අදහස් දක්වා ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් භූමියේ අයිස් දියවීමෙන් ප්‍රවේශ වීම වඩාත් පහසු විය හැකි දුර්ලභ පස් ලෝහ ඇතුළු දිවයිනේ ස්වාභාවික ඛනිජ සම්පත් නිධි කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බවය. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ රට සරුසාරව ඇති යුරේනියම් සහ ලෝහ අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීම සඳහා ග්‍රීන්ලන්තය සිය පාලනය යටතට ගැනීමට ට්‍රම්ප් උනන්දු වී ඇති බවය. එරට ප්‍රධාන කලාපයක් වන ක්වානෙෆ්ජෙල්ඩ් භූමිය ලෝකයේ හයවැනි විශාලතම යුරේනියම් නිධිය සහ දෙවැනි විශාලතම දුර්ලභ-පෘථිවි ඔක්සයිඩ් නිධිය සඳහා නිවහන වේ. Illorsuit කලාපයේ යුරේනියම් ලෝපස් ටොන් 17,000 ක් අඩංගු බවට ගණන් බලා ඇත. මේ අතර ඩෙන්මාර්ක නිලධාරීන් “නිල ඇමෙරිකානු සංචාරයක් නොවන”‍ බව ප්‍රකාශ කර ඇති, අඟහරුවාදා ග්‍රීන්ලන්තයට පැමිණි ට්‍රම්ප් ජූනියර්ගේ සංචාරය සහ ඔහුගේ පියාගේ MAGA (ඇමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරන්න) යන සටහන සහිත තොප්පි පැළඳ සිටි පිරිසක් විසින් ඔහුව පිළිගනු ලැබීම පිළිබඳව ද විවාදයක් ඇති වී තිබේ. ලක්ෂයකට අඩු ජනතාවක් වෙසෙන ඩෙන්මාර්ක් පාලනය යටතේ පවතින ග්‍රීන්ලන්තයේ බොහෝ ජනතාව සහ ඩෙන්මාර්කයේ නිලධාරීන් ට්‍රම්ප්ගේ මෙම ආක්ටික් දූපත අත්පත් කර ගැනීමේ ආශාව බොහෝ දුරට ප්‍රතික්ෂේප කර ඇත. සිය භාෂාව ඇතුළු සංස්කෘතිකාංග වැනසී යාමට ඇති ඉඩ ගැන එරට බොහෝ දෙනා කනස්සල්ල පළ කර ඇති අතර දැනට පවතින ඩෙන්මාර්ක් සහයෝගිතා පාලනය වඩා හොඳ බව ඔවුහු අදහස් කර සිටිති. එසේම තමන්ගේම වූ ස්වාධීන පාලනයක් ගැන සිහිනයක්ද එරට බහුතරය සතුය. නමුත් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා ඔහුගේ පළමු ධුර කාලය තුළ ඉදිරිපත් කළ ග්‍රීන්ලන්තය සිය පාලනය යටතට ගැනීමේ හුදු යෝජනාව මේ වනවිට වඩා බැරෑරුම් මට්ටමකට එළැඹ ඇතැයි තමන් බිය වන බව ඩෙන්මාර්ක් ප්‍රධානීහු කියති.

ග්‍රීන්ලන්ත අගමැති මුටේ එගෙඩ් සහ ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් යන දෙදෙනාම පසුගිය සමයේ පවසා ඇත්තේ සිය දූපත “විකිණීමට නොමැති අතර කිසි විටෙකත් විකිණීමට බලාපොරොත්තුවක්ද නැත” යනුවෙනි. එගෙඩ් අඟහරුවාදා ෆෙස්බුක් හි “ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්ත ජනතාවට අයත්” බව නැවත පළ කර තිබුණි.