2025 ජනවාරි 25 වන සෙනසුරාදා

චීන නව හිරු න්‍යෂ්ටික වාර්තාවක් තියයි!

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

චීනයේ කෘත්‍රිම සූර්යයා ලෝක වාර්තාවක් පිහිටුවයි. මානව වර්ගයාගේ අසීමිත පිරිසුදු බලශක්තියේ ඉලක්කය සපුරාලීමේ අරමුණින් නිපදවූ චීනයේ ‘කෘත්‍රිම සූර්ය’ ප්‍රතික්‍රියාකාරකය හෙවත් නිල වශයෙන් ‘ටොකමාක් - පරීක්ෂණාත්මක උසස් සුපිරි සන්නායකය’ (EAST) ලෙස හැඳින්වෙන නවතම න්‍යෂ්ටික ප්‍රතිකාරකය ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ සූර්යයාගේ හරයට වඩා හත් ගුණයක උණුසුමැති ප්ලාස්මා ධාරාවක් නිපදවීමෙනි. ඒ අනුව ෆැරන්හයිට් මිලියන 180 ක (100million) උෂ්ණත්වයකදී තත්පර 1,066 ක් පුරා ස්ථාවරව පැවැති ප්ලාස්මා පුඩුවක් මෙය ජනනය කළේය. එය EAST, 2023 දී තමන් විසින්ම පිහිටුවන ලද තත්පර 403 ක ලෝක වාර්තාව අභිබවා යාමකි.

චීනයේ නැගෙනහිර අන්හුයි පළාතේ හෙෆෙයි හි පිහිටා ඇති මෙම ප්‍රතික්‍රියාකාරකය, විදුලිබල පද්ධතියට ඍජුවම විදුලිය සහ ජනතාවගේ නිවාසවලට විදුලිය සපයන පළමු විලයන බලාගාරවල පූර්වගාමියා විය හැකිය. විලයන බලාගාරවලට හරිතාගාර වායු විමෝචනය අඩු කළ හැකි අතර මේවා 2011 දී ජපානයේ ෆුකුෂිමා හි දක්නට ලැබුණු ආකාරයට ව්‍යසනකාරී න්‍යෂ්ටික අනතුරු අවදානමක් ඇති නොකරයි. එසේම වත්මන් බලාගාරවලට වඩා බෙහෙවින් අඩු විකිරණශීලී අපද්‍රව්‍ය මෙමගින් නිපදවයි.