2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සැන්ටොරිනි ග්‍රීක දූපත වටා භුකම්පන දහසක්!

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

දකුණු ඒජියන් මුහුදේ ග්‍රීක දූපතක් වන සැන්ටොරිනි සහ ඒ අවටින් පෙබරවාරි 1 වැනිදා සිට භූමිකම්පා 1,440 ක් පමණ වාර්තා වී ඇති බව එරට භූ ගතික විද්‍යා ආයතනය පවසයි. ඒවායින් 440 ක් පමණ රිච්ටර් පරිමාණයෙන් 3 ට වැඩි වූ අතර 73 ක් රිච්ටර් පරිමාණයෙන් 4 ට වැඩි වූ බව එහි වැඩිදුරටත් සඳහන් විය. මේ ප්‍රබල භුකම්පන මාලාවට අමතරව ගිනිකඳු විදාරණයකටද දූපත් මුහුණ දී ඇත.

දිවයිනේ බදාදා දින කම්පන 45 ක්ද වාර්තා වූ අතර, රිච්ටර් පරිමාණයෙන් 4 ට වැඩි දෙකක් සහ රිච්ටර් පරිමාණයෙන් 3 ට වැඩි 10 ක්ද ඊට ඇතුළත් විය. බදාදා රාත්‍රියේ සැන්ටෝරිනි අසල, රාත්‍රී 9 ට ටික වේලාවකට පසු, රික්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවක් ඇති විය. සැන්ටෝරිනි සහ අමෝර්ගෝස් දූපත් අතර මුහුදු කලාපයේ මෙය සිදුවිය. මෑත දිනවල සැන්ටෝරිනි අසල භූ ගතික ආයතනය විසින් වාර්තා කරන ලද බලවත්ම භූමිකම්පාව ලෙස මෙය සනිටුහන් කරයි. පසුගිය දින නවය තුළ මෙම කලාපයේ භූමිකම්පා 6,400 කට වඩා ඇති වී ඇති බව තවත් වාර්තාවක් පෙන්වා දෙයි.

සැන්ටෝරිනි යනු, හෙලනික් ගිනිකඳු චාපය ලෙස හැඳින්වෙන ගිනිකඳු විසින් නිර්මාණය කරන ලද දූපත් දාමයක් මත පිහිටි දූපතකි. මෙහි අවසාන ප්‍රධාන පිපිරීම 1950 ගණන්වලදී සිදුව ඇත. ග්‍රීක බලධාරීන් පවසා ඇත්තේ මෙම භූකම්පන ගිනිකඳු ක්‍රියාකාරකමක් නොව මහාද්වීපික තල චලන හා සම්බන්ධ වූවක් බවටය.

11,000 කට වැඩි පිරිසක් සැන්ටෝරිනියෙන් පිටව ගොස් ඇති අතර 7,000 ක් පමණ මුහුදු යාත්‍රා මගින්ද, 4,000 ක් ගුවන් මගින්ද පිටත්ව ගොස් ඇති බව බලධාරීහු පවසති. සංචාරකයන් බහුලව ඇදෙන විනෝද දූපතක් වන මෙය ඇතුළු කලාපය දැන් ඔවුනට තහනම් කර ඇත. මෙම දූපත අතීතයේ මතු වී ඇත්තේද මහා භූකම්පනයක ප්‍රතිඵලයක් ලෙසය. වඩාත් භයානක භූකම්පනයක් ග්‍රීසිය ආශ්‍රිතව සිදුවිය හැකි බවට මේ කම්පන මගින් අනතුරු අඟවන බව බලධාරීහු පෙන්වා දෙති.