ඉකුත් සතියේ ජනාධිපති ට්‍රම්ප් තවත් ලොව කළඹන, ඉතිහාසයේ වඩාත්ම විකාරරූපී ප්‍රකාශයක් සිදු කළේය. ඒ, එක්සත් ජනපදය ගාසා තීරය “අත්පත් කරගන්නා” බවටය. අවශ්‍ය නම් සමහර විට අමෙරිකානු හමුදා භාවිත කරමින් හෝ එය සිදු කරන බව ඔහු කීවේ මැදපෙරදිග සහ සෙසු ලෝක නායකයන්ගේ අප්‍රසාදය මැදය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ එක්සත් ජනපදය ගාසා තීරයේ අයිතිය ලබාගෙන පලස්තීන ජනතාව වෙනත් රටවල නැවත පදිංචි කිරීමෙන් පසු එය නැවත සංවර්ධනය කිරීමට කැමති බවය. ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය. එහිදී නායකයන් දෙදෙනා ඊශ්‍රායල-හමාස් යුද්ධය මැද එළැඹි බිඳෙන සුළු සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කළහ. තාවකාලික සටන් විරාම ගිවිසුම දක්වා ඇති පරිදි, යුද්ධයෙන් විනාශ වූ භූමිය නැවත ගොඩනැගීම සඳහා වසර තුනේ සිට පහ දක්වා කාලරාමුවක් ශක්‍ය නොවන බවට ට්‍රම්ප් සහ ඉහළ උපදේශකයන් අතර ඇතිවූ තර්ක මැද ඔහුගේ මේ අදහස පළ විය.
එම තීරයේ ඇති විනාශ වූ ගොඩනැගිලි පිරිසුදු කිරීමෙන් පසු සහ භයානක පුපුරා නොගිය බෝම්බ සහ අනෙකුත් ආයුධ සියල්ල ඉවත් කිරීමෙන් පසු ගාසාව ලෝකයටම පොදු ආර්ථික වශයෙන් ඵලදායී විනෝද වෙරළ තීරයක් ලෙස නැවත සංවර්ධනය කරන බව ඔහු කීය. මේ අතර යුද්ධයෙන් පසු භූමිය නැවත ගොඩනැගීමේදී භූමියේ මිලියන 2.3 ක් වන පලස්තීනුවන් වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම් ඊජිප්තුව සහ ජෝර්දානය මෙන්ම අනෙකුත් අරාබි ජාතීන්ද තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
පලස්තීනුවෝ මෙය සිය නිජබිම ලෙස සලකති. ගාසා තීරයේ පදිංචිකරුවන් වූ මිලියන 2.3 න් 70% ක් පමණ දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සරණාගතයන් ලෙස ලියාපදිංචි කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනකු 1948 දී ඊශ්‍රායලය නිර්මාණය කිරීමේදී පලස්තීනයෙන් පලවා හරින ලද හෝ ඔවුන්ගේ නිවෙස්වලින් පලා යාමට බල කරන ලද 700,000 ක් පමණ වූ පලස්තීන ජාතිකයන්ගෙන් පැවත එන්නෝ වෙති. දැන් ඊශ්‍රායලය ලෙස හඳුන්වන ප්‍රදේශයේ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ නිවෙස්වලට නැවත පැමිණීම ඔවුන්ට තහනම් කර ඇත. අරාබිවරුන් මෙම සිදුවීම “නක්බා” (ව්‍යසනය) ලෙස හඳුන්වයි. මානුෂීය හේතු මත පලස්තීනුවන් නැවත ස්ථානගත කිරීම සඳහා මෙහෙයුමක් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු දිගටම සැලසුම් කරමින් සිටිති.
වෘත්තියෙන් ඉඩම් සහ නිවාස සංවර්ධනය කර අලෙවි කරන්නකු වන ට්‍රම්ප්, යුද්ධයෙන් විනාශ වී ගිය ගාසා තීරය දුටුවේ සංවර්ධනය කර අලෙවියට සුදුසු තවත් බිම්කඩක් හැටියටය.
ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයද ජාතික විශේෂඥයන් හරහා සෙමින් කතාබහට ලක්ව අවසානයේ සාකච්ඡාව සඳහා ඕවල් කාර්යාලයට ළඟා වන ආකාරයේ ජාතික ප්‍රතිපත්තිමය අදහසක් නොව ඔහු තුළම හටගත් තවත් හිතුවක්කාර අදහසක් පමණක් බව මෙවන් කාරණා ගැන හුරුපුරුදු පුද්ගලයන් පෙන්වා දී තිබුණි.