සිය රට තුළ ඇති දුර්ලභ පාංශු ඛනිජ නිධි සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රවේශය ලබා දෙන “මූලික” ගිවිසුමක කොන්දේසිවලට යුක්රේනය එකඟ වී තිබේ. ඒ අනුව ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේදී මේ අසමාන ගිවිසුම අත්සන් කරන්නට පියවර ගැනුණි.
පසුගිය යුද්ධය පුරා ඇමෙරිකාව මගින් යුෙක්‍ර්නයට යවන ලද ආධාර සඳහා ඇමෙරිකානු බදු ගෙවන්නන් වියදම් කළ “ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට” සහ රුසියාවට එරෙහිව “සටන් කිරීමට අයිතිය” කියෙව්ට ලබාදීමට මෙම ගිවිසුම උපකාරී වනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ. යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය නිමා කිරීම සඳහා සාම මැදිහත්වීමකට මුලපිරූ ට්‍රම්ප් ඒ අතර සෙලෙන්ස්කිට චෝදනා කළේ ඔහු ඇමෙරිකාව මේ යුද්ධයට බලෙන් ඈඳාගෙන ඇති බවක් කියමිනි. මේ නිසා පසුගිය බයිඩෙන් පාලනය තුළ ඇමෙරිකාව විසින් ලබා දුන් ඩොලර් බිලියන 500 කට ආසන්න (යුරෝ බිලියන 480) ආධාර සඳහා හිලව්වට යුක්රේනයේ ස්වභාවික සම්පත්වලින් සමාන ප්‍රමාණයක් ලබා දිය යුතු බවට ඔහු කියා තිබුණි. මේ ගිවිසුම ඒ සඳහා වන අතර මුලින් සෙලෙන්ස්කි එම අගය ප්‍රතික්ෂේප කළේ ඇමෙරිකාව ඒ තරම් ආධාර ප්‍රමාණයක් ලබා දී නැති බව කියමිනි. නමුත් රුසියාවෙන් එල්ල විය හැකි ඉදිරි තර්ජනවලදී සහ සාමය පිළිබඳ කටයුතුවලදී ඇමෙරිකාවේ ඍජු බලපෑම ඔහුට අවශ්‍යව තිබේ. මේ නිසා ඔහු පසුව කියා තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇතිවන මේ මූලික ගිවිසුම “තවත් ගනුදෙනුවලට තුඩු දෙනු ඇතැයි” තමන් බලාපොරොත්තු වන බවය. ඉන් ඔහු අදහස් කර තිබුණේ ඇමෙරිකාව ආරක්ෂාව සහ ආයුධ තොග ලබාදීම සිදු කරනු ඇත යන්නයි. නමුත් තවමත් ඇමෙරිකාව එබඳු ආරක්ෂක සහතික කිසිවක් ගැන එකඟ වී නොමැති බවද ඔහු තහවුරු කළේය.
සංශෝධිත නව ගිවිසුම තුළ ඩොලර් බිලියන 500ක ආධාරය ගැන සඳහන් නොවන බව වාර්තා වන නමුත් ඉකුත් අඟහරුවාදා ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 300 (£237bn) සහ ඩොලර් බිලියන 350 (£276bn) අතර ආධාර ලබා දී ඇති බවත්, ගිවිසුමක් හරහා “එම මුදල් ආපසු ලබා ගැනීමට” ඔහුට අවශ්‍ය බවත්ය. නමුත් ජර්මානු පර්‌යේෂණායතනයක් වන කීල් ආයතනය ඇස්තමේන්තු කරන්නේ එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 119 ක පමණ ආධාර යවා ඇති බවයි.
කෙසේ වුවද මේ අන්දමට ට්‍රම්ප් සිය සාම ක්‍රියාදාමය ඇමෙරිකාවට වාසිදායී සරු වෙළෙඳ ගනුදෙනුවක් බවට පරිවර්තනය කර ගැනීමට සමත්ව තිබේ. යුක්රේනයේ ප්‍රතිසංස්කරණය සඳහා “ආයෝජන අරමුදලක්” පිහිටුවීමට මෙම මූලික ගිවිසුම මගින් අපේක්ෂා කරන බව යුක්රේන අගමැතිවරයා පැහැදිලි කර තිබුණි. කියෙව් සහ වොෂින්ටනය “සමාන කොන්දේසි මත” අරමුදල කළමනාකරණය කරනු ඇති බව අගමැති වැඩිදුරටත් පැවසීය. ඒ අනුව යුක්රේන රජය සතු ඛනිජ සම්පත්, තෙල් සහ ගෑස් වලින් ලැබෙන අනාගත ආදායමෙන් 50% ක් යොදා අරමුදලට දායක වන බවත්, පසුව මේ අරමුදල යුක්රේනයේම ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන බවත් ඔහු පැවසීය.
කියෙව් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලෝකයේ “වැදගත් අමුද්‍රව්‍ය” වලින් 5% ක් පමණ යුක්රේනයේ පවතී. ලෝකයේ දුර්ලභ පස් නිධිවලින් 75% ක් පාලනය කරන චීනය මත යැපීම අඩු කිරීමට අවශ්‍ය නිසා එක්සත් ජනපදය මෙම සම්පත් ගනුදෙනුව සඳහා උනන්දු වන බව දැන් සනාථ වී තිබේ. ඉකුත් දෙසැම්බර් මාසයේදී චීනය එක්සත් ජනපදයට දුර්ලභ පාංශු ඛනිජ කිහිපයක් අපනයනය කිරීම තහනම් කළ අතර, මීට පෙර ඛනිජ අපනයනය සීමා කළේය. තඹ, ග්‍රැෆයිට්, ලිතියම්, නිකල්, කොබෝල්ට් සහ තවත් දුර්ලභ මූලද්‍රව්‍ය ඇතුළත් මේ තීරණාත්මක ඛනිජ 21 වැනි සියවසේ ආර්ථිකයේ අත්තිවාරම වේ.
වත්මන් අධි තාක්ෂණික උපාංග, ජාතික ආරක්ෂක යෙදුම් සහ පුනර්ජනනීය හරිත බලශක්ති ආශ්‍රිත කර්මාන්ත මෙන්ම කාර්මික යටිතල පහසුකම් සඳහා මේ ඛනිජ අත්‍යවශ්‍ය වේ. ඒවා වත්මන් “භූ දේශපාලනයේ සහ භූ ආර්ථික විද්‍යාවේ වර්ධනය වන උපායමාර්ගික කාර්යභාරයක්” ඉටු කරයි. ඇමෙරිකාව සඳහා දැන් මේ මුලද්‍රව්‍ය සැපයුම් කඩාකප්පල් වීමේ අවදානමක් මතුව ඇත.