ගාසා තීරයේ මාස ගණනක් පැවති දරුණු ගැටුම්වලින් පසුව, ඊශ්‍රායලය මානුෂීය ආධාර ඇතුළුවීම අවහිර කිරීමෙන් පසු ගාසා තීරයේ ආහාර මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ආධාර ආහාර පාර්සල් ඉක්මනින් අවසන් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය කියා තිබේ. ඒ අතර ටොන් දහස් ගණනක් බර කුණු කඳු වීදිවල ගොඩගැසී පවතින බව දැන් වාර්තා වේ. එය එම භූමියේ දැනට ඉතිරිව සිටින අතළොස්සට යුද්ධයටත් වඩා විශාල පාරිසරික හා සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය කර ඇත.
2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු 2025 මාර්තු 4 වැනි දින වන විට, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ගාසා යුද්ධයෙන් 50,000 කට අධික පිරිසක් (පලස්තීන ජාතිකයන් 48,405 ක් සහ ඊශ්‍රායල ජාතිකයන් 1,706 ක්) මිය ගොස් ඇති බව වාර්තා වේ. මේ යුද්ධය ආරම්භ වීමට පෙර පවා, ගාසා වැසියෝ දුර්වල කසළ බැහැර කිරීමේ පද්ධතියකට හුරුව සිටියහ. යුද්ධයට පෙර ගාසා වැසියන් දිනකට ටොන් 1,700 ක අපද්‍රව්‍ය මුදාහැරි බව වාර්තා කියයි. එය පාලනයකින් යුතුව පවත්වා ගැනීමට ඔවුන්ට හැකිව තිබුණි. නමුත් මෙය තවදුරටත් එසේ නොවන අතර, කුණු කඳු දැන් මුළු කලාපයේම ස්ථාවරත්වයට තර්ජනය කරයි.
යුද්ධයට පෙර ගාසා තීරයේ කසළ එකතු කළ ප්‍රධාන ගොඩකිරීම් තුන ගැටුම හේතුවෙන් වසා දමා ඇති අතර, එමගින් තාවකාලික කුණු කසළ ස්ථාන සොයා ගැනීමට පළාත් පාලන ආයතනවලට සිදුව තිබේ. 2024 මැයි වන විට මෙවන් නව කුණු කඳු 225 ක් පමණ ගාසා තීරයේ ක්‍රියාත්මක වූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, දැන් යුද්ධයට පෙර කාලයට වඩා වැඩි අපද්‍රව්‍ය ජනනය වෙමින් පවතී. දිනකට කසළ ටොන් 2,000 ක් පමණ නිර්මාණය වන බවත් නමුත් දිනපතා එකතු කරනු ලබන්නේ ටොන් 600 ත් 700 ත් අතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් පමණක් බවත් ගණන් බලා ඇත. යුද්ධයේ මුල් මාස අට තුළ, ටොන් 364,000 කට වඩා ඝන අපද්‍රව්‍ය පලස්තීන භූමියේ ගොඩගැසී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.