2025 මාර්තු 08 වන සෙනසුරාදා

ඕනෑම ආකාරයක යුද්ධයකට චීනය සූදානම්!

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිවන වෙළෙඳ තීරු බදුවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන චීනය තමන් “ඕනෑම ආකාරයක”‍ යුද්ධයකට සූදානම් බව එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප් සියලු‍ චීන භාණ්ඩ සඳහා වැඩි තීරු බදු පැනවීමෙන් පසු ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක වෙළෙඳ යුද්ධයකට සමීප වී තිබේ. එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% ක තීරු බදු පැනවීම මගින් චීනය ඒ සඳහා ඉක්මනින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

“ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ යුද්ධය නම්, එය තීරු බදු යුද්ධයක්, වෙළෙඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා, අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්”‍ යැයි චීන තානාපති කාර්යාලය X හි අඟහරුවාදා රජයේ ප්‍රකාශයක කොටසක් නැවත පළ කරමින් අනතුරු අඟවා තිබුණි. ට්‍රම්ප් ජනාධිපති වූ දා සිට චීනයෙන් මෙතෙක් එල්ල වූ ප්‍රබලම වාග් ප්‍රහාරවලින් එකක් වන මෙය වාර්ෂික ජාතික මහජන සම්මේලනය සඳහා බීජිං හි නායකයන් රැස්වූ අවස්ථාවේ ප්‍රකාශ වූවකි.

චීන අගමැති ලී ක්වාං නිවේදනය කළේ චීනය මේ වසරේදීත් සිය ආරක්ෂක වියදම් 7.2% කින් ඉහළ නංවන බවයි. වෙළෙඳ යුද්ධයක තර්ජනය තිබියදීත්, රටේ ආර්ථිකය වර්ධනය විය හැකි බවට තමන් විශ්වාස කරන බවට චීන ජනතාවට පණිවිඩයක් යැවීමට බීජිං නායකයෝ උත්සාහ කරති. මැදපෙරදිග හා යුක්රේනයේ යුද්ධවල පැටලී සිටින බවට චෝදනා කරන එක්සත් ජනපදයට වෙනස්ව චීනය ස්ථාවර, සාමකාමී රටක් බවට ප්‍රතිරූපයක් නිරූපණය කිරීමට උනන්දු වී ඇත.