නිරිතදිග පකිස්ථානයේ ආරක්ෂක හමුදා නිලධාරීන් ඇතුළු මගීන් 400 කට වැඩි පිරිසක් රැගත් දුම්රියකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම බලුකිස්ථාන් විමුක්ති හමුදාව (BLA) නම් සන්නද්ධ කණ්ඩායම භාරගෙන තිබේ.
අඟහරුවාදා උදෑසන මේ දුම්රියට පහර දුන් බෙදුම්වාදී පිරිසට එරෙහිව පාකිස්ථාන ආරක්ෂක හමුදාව “සංකීර්ණ මෙහෙයුමක” නිරත වූහ. මෙම දුම්රිය නිරිතදිග බලුකිස්ථාන පළාතේ පළාත් අගනුවර වන ක්වෙටා සිට වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ අගනුවර වන පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබුණි. ක්වෙටා සිට කිලෝමීටර් 160 ක් (සැතපුම් 100ක්) පමණ දුරින් පිහිටි සිබි නගරය අසල උමං මාර්ග මාලාවක් හරහා දුම්රිය ගමන් කරමින් සිටියදී ඔවුහු මේ “ජැෆර් එක්ස්ප්‍රස්” දුම්රිය ඉලක්ක කර ගත්හ. ආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ප්‍රහාරය සිදු වූ ස්ථානය අසල කුඩා දුම්රිය ස්ථානයකට මගීන් පිරිසක් ආරක්ෂිතව ගමන් කළ බවද බලධාරීහු තහවුරු කළහ.