පසුගිය මාසයේ සටන් විරාම ගිවිසුමේ කොන්දේසියක් ලෙස ඉවත්වීමෙන් පසු, ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් ගාසා තීරය අඩකින් බෙදූ නෙට්සාරිම් කොරිඩෝව නැවත අත්පත් කරගෙන ඇති අතර, එමගින් පලස්තීනුවන්ගේ සංචලනය නැවත සීමා කර ඇත.
හමාස් සංවිධානය මෙම සටන් විරාමය ආවරණයක් ලෙස යොදාගෙන ඔක්තෝබර් 7 වැනි දින එබඳු ආක්‍රමණයක් සැලසුම් කරන බව වාර්තා වීමෙන් පසුව ඊශ්‍රායලයේ මෙම දැවැන්ත ප්‍රහාර රැල්ලට සිදු වූ බව වාර්තා වේ. ත්‍රස්තවාදී කණ්ඩායමේ ආක්‍රමණය සඳහා වන සූදානම පෙන්නුම් කරන අනතුරු ඇඟවීම් ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීය. ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිකම හේතුවෙන් ජනවාරි මාසයේ සටන් විරාමය ආරම්භ වීමෙන් පසු සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස අඟහරුවාදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
ඒ අනුව පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන් විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ. ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය. ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය. සටන් විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළ කරමින් ගාසා තීරය වෙත සිදු කරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළේය. ඒ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බල කිරීමේ අරමුණිනි.
කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල් කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමු කරමිනි. ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම නැවත ආරම්භ කළ දා සිට අවම වශයෙන් පලස්තීනුවන් 436 දෙනකු මිය ගොස් ඇති අතර, ඉන් 183 දෙනකු ළමුන් බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.