2025 මාර්තු 29 වන සෙනසුරාදා

ලොව දීර්ඝතම මරණ දඬුවම වින්දාට ඩො: මිලියන 1.4 ක වන්දියක්!

2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:009

පසුගිය වසරේ නිදොස් කොට නිදහස් කරන තෙක් මරණ දඬුවම නියම වී වසර 40 කට වැඩි කාලයක් ගත කළ ජපන් ජාතික ඉවාඕ හකමාටා හට ඩොලර් මිලියන 1.4 ක වන්දියක් ප්‍රදානය කර ඇත. ඒ ඔහු සාවද්‍ය ලෙස වරදකරුවකු ලෙස සැලකූ සෑම දිනකටම දළ වශයෙන් ඩොලර් 85 ක් ගෙවන ලෙසටය.

හකමාටා 1966 අගෝස්තු 18 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 30 දීය. ඒ අනුව ඔහු ලොව දීර්ඝතම මරණ දඬුවම නියම වූ සිරකරුවා විය. පසුව ඔහු නිවැරදිකරු බව වසර 40 කට පසු සනාථ වීමත් සමඟ අධිකරණය විසින් පසුගියදා ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී.

පොලිසිය ඔහුට එරෙහිව සාක්ෂි ගොතා ඇති බවට නැවත නැවතත් චෝදනා එල්ල වුවද, 89 හැවිරිදි හිටපු වෘත්තීය බොක්සිං ක්‍රීඩක ඉවාඕ හකමාටා, 1968 දී සිව් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරන ලදී. ඒ අනුව ලොව දීර්ඝතම මරණ දඬුවම නියම වූ සිරකරුවා වූ පසු DNA පරීක්ෂණයකින් ඔහුව වරදකරු කිරීමට භාවිත කළ ලේ තැවරුණු ඇඳුම් මිනීමැරුම සිදුවීමෙන් බොහෝ කලකට පසු බලෙන් රෝපණය කර ඇති බව සනාථ කිරීමෙන් පසුව ඔහු නිදොස් කොට නිදහස් කරන්නට යෙදුණි.

ඔහුගේ නීති නියෝජිත හිදෙයෝ ඔගාවා මෙම වන්දි මුදල ජපානයේ වැරදිකරුවකුට ලබා දුන් “ඉහළම මුදල”‍ ලෙස විස්තර කළ නමුත්, හකමටාට සිදු වූ හානියට එමගින් කිසි විටෙකත් වන්දි ගෙවිය නොහැකි බව පැවසීය.

හකමාටා 1961 දී වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකු ලෙස විශ්‍රාම ගත් අතර මධ්‍යම ජපානයේ ෂිසුඕකා හි සෝයා බෝංචි සැකසුම් කම්හලක රැකියාවක් ලබා ගත්තේය. වසර පහකට පසු ඔහුගේ ලොක්කා, ලොක්කාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඔවුන්ගේ නිවසේදී පිහියෙන් ඇන මරා දමා තිබියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. හකමාටා මුලින් ඔහුට එරෙහි චෝදනා පිළිගත් නමුත් පසුව ඔහුගේ ඉල්ලීම වෙනස් කරමින් පොලිසිය ඔහුට පහර දී තර්ජනය කිරීමෙන් පාපොච්චාරණය කිරීමට බල කළ බවට ප්‍රතිචෝදනා කළේය. 1968 දී විනිසුරුවන් විසින් 2-1 තීරණයකින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. නව සාක්ෂි හේතුවෙන් 2014 දී නැවත නඩු විභාගයක් ඇරැඹූ අතර එයින් ලද සාක්ෂි මත පසුගිය වසරේ ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව, වරදකරු කිරීමේ අනුපාතය 99% ක් වන ජපානයේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට ඔහුගේ නඩුව ගෝලීය අවධානයක් යොමු කළ අතර, රට තුළ මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වන ඉල්ලීම්ද ඇති කළේය.

2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00