2025 මාර්තු 29 වන සෙනසුරාදා

රහස් කාන්දු වෙයි: පෙන්ටගනය කැළඹෙයි!

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක කණ්ඩායම යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරයක සැලසුම සම්බන්ධව සිදු කළ රහසිගත සාකච්ඡාවක් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් පෙන්ටගනය කැළඹීමට ලක්වී ඇත. මෑත ඉතිහාසයේ ඇමෙරිකානු ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වූ වඩාත්ම බරපතළ සිදුවීම මෙයයි. සීඅයිඒ අධ්‍යක්ෂ, ආරක්ෂක ලේකම්, ජාතික ආරක්ෂක උපදේශක සහ උප ජනාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දහඅට දෙනකු මෙම අන්තර්ජාල කණ්ඩායම් කතාබහට සහභාගි වී තිබේ.

ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කණ්ඩායමක් විසින් හවුති කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරයේ සැලසුම සම්බන්ධව එම සාකච්ඡාව සිදුකර ඇත්තේ සිග්නල් නමැති ආරක්ෂිත පෞද්ගලික සංවාද යෙදුමක් භාවිතයෙනි. ඔවුන්ගේ සංවාද සමූහයට අහඹු ලෙස සම්බන්ධ වූ ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් විසින් එම පුවත ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ මහා ආන්දෝලනයකට මුල පිරිණි. ඇමෙරිකාවේ උප ජනාධිපති ජේඩී. වැන්ස් සහ ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ද එක්වූ එම සාකච්ඡාවට එක්වීම සඳහා තමාට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ගේ බවට සඳහන් වූ ඇරියුම් ප්‍රවේශ කේතයක් සිග්නල් යෙදවුම ඔස්සේ ලැබුණු බව ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා පසුව ප්‍රකාශ කර ඇත. එම සංවාදය සිදුවී ඇත්තේ හවුති ප්‍රහාරයට පැය කිහිපයකට පෙර බවත්, ප්‍රහාරය සඳහා භාවිතයට ගනු ලබන හමුදා උපකරණ සහ ප්‍රහාරය සිදු කරන වේලාව ඇතුළුව සියලු‍ තොරතුරු ඇට්ලාන්ටික් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා අතට පත්වී ඇති බවත් වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ සමූහ සංවාදයකට පිටස්තර පුද්ගලයකු එක්වීම පිළිබඳ ඔවුන් දැනුවත්ව නොසිටීම ගැටලු‍ සහගත බවත්, එම පිටස්තර පුද්ගලයා මාධ්‍යවේදියකු වීම වඩාත් බරපතළ කරුණක් බවත් ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.