2025 මාර්තු 29 වන සෙනසුරාදා

පුටින්ගේ මුල් කුරුමානම ජපානයට!

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) සම්බන්ධ තොරතුරු හෙළි කරන්නකුගෙන් හෙළිදරව් වූ කාන්දු වූ විද්‍යුත් තැපෑලක තොරතුරු අනුව, ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට එරෙහි විනාශකාරී ආක්‍රමණය ආරම්භ කිරීමට මාස කිහිපයකට පෙර ඔහු ජපානයට පහරදීමට සැලසුම් කරමින් සිටි බව වාර්තා වී තිබේ.

ඒ අනුව 2022 අග භාගයේ හුවමාරු වූ විද්‍යුත් තැපෑලකින් පෙනී යන්නේ රුසියාව යම් යම් කොන්දේසි යටතේ ජපානය හමුදා මෙහෙයුම් සඳහා ඉලක්ක කර ගැනීමට සලකා බලමින් සිට ඇති බවයි. 2022 මාර්තු 17 වැනි දිනැති මෙම විද්‍යුත් තැපෑල, “වින්ඩ්ස් ඔෆ් චේන්ජ්”‍ ලෙස තමන් නම් කරගන්නා ලද රුසියානු රහස් හෙළි කරන පිරිසක් වෙතින් එවකට රටින් පිටුවහල් කර සිටි මානව හිමිකම් ක්‍රියාකාරී ව්ලැඩිමීර් ඔසෙච්කින් වෙත යවන ලද්දකි. එලෙස ඔසෙච්කින් වෙත යවන ලද විද්‍යුත් තැපෑලකින් තොරතුරු හෙළි කරන්නා විස්තර කළේ රුසියාව “ජපානය සමඟ මිලිටරි ගැටුමකට තරමක් බැරෑරුම් ලෙස සූදානම් වෙමින් සිටින” බවයි.

මෙම තොරතුරු හෙළි කරන්නා යුක්රේනය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ඔසෙච්කින් වෙත නිතිපතා පණිවිඩ යවමින් සිටි අයෙකි. ‘වින්ඩ් ඔෆ් චේන්ජ් පර්යේෂණ කණ්ඩායමේ’ විධායක අධ්‍යක්ෂ බව කියන ඊගෝර් සුෂ්කෝ, යුද්ධය ආරම්භයේ සිට රුසියානු භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට ලිපි පරිවර්තනය කර විශ්ලේෂණය කරමින් සිටින අතර ඇමෙරිකානු සතිපතා අන්තර්ජාල සඟරාවක් වන නිව්ස්වීක් සමඟ ද තොරතුරු බෙදා ගනිමින් සිට ඇත. ඒ අනුව මෙම පුවත හෙළි කළ නිව්ස්වීක් මාධ්‍යවේදිනී ඉසබෙල් වැන් බෲගන්, රුසියාව විසින් ජපානයට එල්ල කිරීමට යෝජිත ප්‍රහාරයකට අදාළ නිශ්චිත තොරතුරු ගැන ලිවීය. මෙම තොරතුරු හෙළි කරන්නන් යුක්රේනයේ යුද්ධය ගැන ද කලින් සඳහන් කර තිබූ අතර රුසියාව යුද්ධයට යන බව ඔවුන්ට විශ්වාස බවත්, නමුත් ඒ සඳහා යුක්රේනය තෝරා ගත්තේ මන්දැයි යන්න ඔවුන්ට නිශ්චිත නොවන බවත් කියා තිබුණි.