2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පතල් අනතුරු බහුලයි තරුණයන්ට අපලයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

2017 පෙබරවාරි 22 වන බුධ දින සවස හය පසුවී විනාඩි හතලිස් පහට බුධ කුම්භ රාශියට පිවිසෙනු ඇත. කුම්භ රාශියේ අඟහරුට අයත් දෙනට නැකතේ තුන්වන හතරවන පාදවලත්, රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත්, ගුරුට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත්, 2017 මාර්තු 11 වන ශනි දින දක්වාම ගමන් කරයි.

බුධ කුම්භ රාශිගතවීම නිසා අප රටට සිදුවන බලපෑම පිළිබඳව විමසා බැලීමේදී පතල් කර්මාන්තය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන අතර ඒවායේ වැඩ කරන අයට අනතුරු වාර්තාවනු ඇත. විවිධ හේතු නිසා තරුණ වයසේ සිටින අයට මාරක ඇතිවේ. අපරාධ ක්‍රියා වර්ධනය වන අතර පෞද්ගලික පළිගැනීම්ද වැඩි වේ. රජයේ ක්‍රියාවලට මෙන්ම ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධ චෝදනා ජනමාධ්‍ය තුළින් එල්ලවනු ඇත. සාහිත්‍යකරුවකුට, ජනමාධ්‍යවේදියකුට මාරක ඇතිවන අතර විදේශීය ආයෝජනයක් පිළිබඳව ගැටලුවක් ඇතිවීම හේතුවෙන් රජය අපහසුතාවයට පත් වේ. තානාපතිවරයකුට යම්කිසි ගැටලුවකට, අර්බුදයකට මුහුණ දීමට සිදුවන කාල වකවානුවක් වේ.

මේෂ - ගනුදෙනු එපා

ඔබට යහපත් වෙයි. හවුල් කටයුතුවලින් ඵල අත්කරගත හැකිවනු ඇත. අලුත් යහළු යෙහෙළියන් තමාට හමුවනු ඇත. විශාල අන්දමෙන් මුදල් යොදවා ගනුදෙනු කිරීම් මෙම වකවානුව තුළ අහිතකර බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂභ - රැකියා උසස්වීම්

ඔබට යහපත් ඵල අත්වනු ඇත. තම මතයට අනුව කටයුතු කරමින් තමාගේ බලාපොරොත්තු වන්නාවූ කාර්යයන් රැසක් ඉටුකරගන්නාවූ වකවානුවකි. රැකියාවේ සේවා ස්ථානයේ අන් අය සමඟ සුහදතාවය වර්ධනය වන අතර උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු සාර්ථකත්වයට පත්කර ගත හැකිවනු ඇත.

මිථුන - නව ආයෝජන

පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. තම දූ දරුවන් සමඟ එක්ව කාලය ගතකරන අතර කෙටි විනෝද ගමන්වලට සහභාගි වනු ඇත. තම කටයුතුවලට විවිධ අයගෙන් බාධා කිරීම් ඇතිවනු ඇත. නව දේපළක් මිලදී ගැනීම සඳහා හෝ නව ආයෝජනයක් කිරීම සඳහා හෝ මුදලක් යොදවනු ඇත.

කටක - නීතිමය ගැටලු

ඔබට එතරම් යහපත් නොවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවනු ඇත. මෙම වකවානුව තුළ ලියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් විරුද්ධකම් බාධාවන් ඇතිවේ.

සිංහ - පවුල් ප්‍රශ්න

ව්‍යාපාරික කටයුතුවල නිරතවූවන්ට ශුභ ඵල අත්වනු ඇත. නමුත් විශාල අන්දමේ ආයෝජන කටයුතුවලට මුදල් යෙදවීම් කිරීමේදී පරිස්සම් විය යුතුය. පවුල් දිවියේ සමගියට බාධාවන්නාවූ ආකාරයේ සිදුවීම් ඇතිවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා - සේවා වෙනස්වීමක්

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ ඇතැම් කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවනු ඇත. තම සේවා ස්ථානයෙන් මාරුවීමක් හෝ වෙනස් වීමක් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තුව ඉටු වේ.

තුලා - ආදරයට බලපෑම්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. ආදරවන්තයන්ට තම සම්බන්ධතාවලට බලපෑම් ඇතිවේ. නිතර ප්‍රීතියෙන් කාලය ගත කරනු ඇත. අලුත් හිතමිතුරන් තමා හා මිත්‍ර වේ.

වෘෂ්චික - ලේඛනයට යහපත්

සිතේ සහනය අඩු වකවානුවක් වනු ඇත. රැකියාව ආශ්‍රිත හදිසි ප්‍රශ්නයක් ඇතිවේ. නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ලේඛන කටයුතුවල නිරතවන අයට යහපත් ඵල උදාවනු ඇත.

ධනු - අධ්‍යාපනයට හොඳයි

ඔබට යහපත් ඵල උදාවනු ඇත. ඉදිරිය වෙනුවෙන් වැදගත් තීරණ ගන්නාවූ වකවානුවක් වේ. සැහැල්ලු සිතින් යුක්තව කටයුතු කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරතවන්නාවූ අයට යහපත් ඵල උදාවේ.

මකර - උගුරේ අමාරු

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ඇත. අත ඉතිරිය අඩුවන බැවින් වියදම් පාලනය කරගත යුතුයි. උගුර ආශ්‍රිත ආබාධයක් ඇතිවනු ඇත.

කුම්භ - නිතර කේන්තියෙන්

අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වුවද නිතර කේන්ති ගතියෙන් යුක්තව කටයුතු කරන වකවානුවක් වේ. හදිසි තුවාල පීඩා ඇතිවනු ඇත. සුදුසු තීරණ ගැනීම් නිසා තම ඉදිරි කටයුතු සාර්ථක බවට පත්වේ.

මීන - නිෂ්ඵල ගමන්

තමන්ගේ කටයුතු සඳහා විවිධ වූ බාධා අවහිරතා ඇතිවන අතර සිතේ චංචල ගති ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුයි. නිෂ්ඵල ගමන් යෙදෙනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල