2017 පෙබරවාරි 16 වන බ්‍රහස්පතින්දා

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් ප්‍රතිඵල ලැබේද

 2017 පෙබරවාරි 16 වන බ්‍රහස්පතින්දා, ප.ව. 07:29 2073

අනාදිමත් කාලයක සිට ලෙඩරෝගවලින් මිදීම සහ වෙනත් ග්‍රහ අපලවලින් මිදීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පැතීමට මිනිසා පුරුදුවී සිටී. මෙය ගෝත්‍රික යුගයේ පටන් අද දක්වාම පවති. පුදුමයට කරුණනම් අද දියුණු යයි සැලකෙන බටහිර සමාජයේද මෙම තත්ත්වය බෙහෙවින් ප්‍රචලිත වී තිබීමය. විශේෂයෙන් ගුප්ත ලෙඩ රෝගවලට කරන ශාන්තිකර්ම ඇමරිකාවේ රූගත කළ “ඉන්ඩිඩියස්” “එක්සොසිස්ට්” වැනි චිත්‍රපට කිහිපයක් හා අද ඉන්ටනෙට් හි ජනප්‍රිය “ඉන්ඩිඩියස්” වැනි චිත්‍රපටවලිනුත් ලෝ වැසියන්ට ඒත්තු ගන්වන්ට හදන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙන් මෙවැනි දොස්වලින් පෙළෙන අය බේරාගත හැකි බවත්ය.

ද එක්සෝසිස්ට් (කට්ටඩියෝ) යන චිත්‍රපටයෙන් ක්‍රිස්තියානි නිකායක වුවත් අද්භූත ලෙඩක් සුව කිරීමට තොවිලයට සමාන ප්‍රතිකර්මයක් කරන අයුරු පෙන්වයි. තවත් චිත්‍රපටයකදී පූජකයෙකු යාතිකා කරමින් ආතුරයා ළඟ සිටියදී භූතයා නිවස දෙවනත් කර යයි.

පුරාණ ගෝත්‍රිකයන් අතරද මෙවැනි බලිතොවිල් තිබුණි. වර්තමානයේද හින්දු, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි යන සෑම ආගමකම මේවා සාධාරණකරණීය කිරීම සඳහා සුළු වශයෙන් එකිනෙකට වෙනස්වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාන්ති කර්ම ආදිය ඇත.

බුද්ධාගමට අනුව භාවනා ආදියෙන් හිත දියුණු කරගත් තැනැත්තාට මෙම ප්‍රතිකර්ම අවශ්‍ය නොවන බව ඇත්තකි. එහෙත් බෞද්ධයන් අන්සැමටම වඩා යන්ත්‍ර මන්ත්‍රවලට නැඹුරුව සිටින බවක් දක්නට ඇත.

එක් කලක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් නීච කුල බන්ධනයකට හසුව තිබූ අතර එය නිශ්ක්‍රීය කිරීම සඳහා ජලනන්දන පිරිත උපයෝගී කරගත් බවද කියැවේ.

බලය ඇත්තේ මෙම යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්වලද නැතහොත් බුද්ධ මන්ත්‍රයේද යන්න ගැන විවාදයක්ද පවතී.
යථාර්ථවාදිව බලනවා නම් යන්ත්‍ර, තෙල් බෙහෙත් යෝජිත නියමිත වාර ගණන විශේෂයෙන් ලක්ෂවාර ගණන් ජීවන්කර පළඳිනවානම් එහි ප්‍රතිඵල ගෙනදෙයි. බොහෝ විට මේවායේ යෙදෙන අය යෝජිත වාර ගණන් මෙය ජීවන් නොකරති. ප්‍රශ්නය ඇත්තේ එතැනයි.

වෙහෙස වීමට ඇති අකමැත්ත නිසා හෝ “පේවී” සිටීම අතින් අඩුකම නිසා මෙසේ වනබව මගේ හැඟීමය. මන්ත්‍ර ජපකිරීම බොහෝ විට ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. එය හරිහැටි වචන ශබ්ද කිරීමත් නිවැරදි නොවන අතර ජීවන් කරන වාර ගණනද ඉතා අඩුවෙයි. ඇත්ත වශයෙන් ජීවන් කරන වාර ගණනේ මනා බලගතුකමක් ඇත. එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු මීට වර්ෂ 12කට පමණ ඉහත ශිෂ්‍යයන් සීයයක් පමණ කැඳවා ඔවුන්ට පිත්තල හැඳි සියයක් අතට දී මෙම හැන්ද “කැඩියන්... කැඩියන්” කියා ලක්ෂයක් පමණ වාර ගණනක් එකදිගට ජපකරන ලෙස කියා සිටියේය. මෙසේ ලක්ෂවාර ගණනක් ජප කර පුරුදුව වූ පසු කෙනෙකුට සුළුවාර ගණනක් ජප කිරීමෙන් වුවද හැන්ද හෝ එවැනි දෙයක් දෙකට කැඩිය හැකි බව සනාථ විය.

ගාථා හෝ යාඥාවල බලය පවතින්නේද ඒ ආකාරයටය. බෞද්ධයයෝ බුදු පහන තබා දිනපතා ගාථා කියති. ගාථා කියන ගමන් අඩුගණනේ පිරිත් සූත්‍ර දෙක තුනක්වත් දිනපතා නොකඩවාම සඡ්ඡායනා කරනවා නම් බලගතු පිහිටක් ලැබේ. ක්‍රිස්තු භක්තිකයන්ද දිනපතා එසේ නොකඩවා විශේෂයෙන් නින්දට යාමට පෙර යාඥා කරනවානම් කලකදී තමා නොදැනුවත්ම පිහිට ලැබෙයි. මෙය විද්‍යාවට අනුකූලය. පිරිත් සූත්‍රවලද නියමිත බලය එන්නේ පන්සල් ගොස් පිරිත් කීමෙන් පමණක් නොව දිනපතා විශේෂයෙන් රෑට නින්දට පෙර එකවරක්වත් කීමෙනි.

අපි එක් සරල උදාහරණයක් ගනිමු. නින්දට යෑමට ප්‍රථම බුදුන් වැඳ පිරිත් සූත්‍ර කිහිපයක් කියවා සිටින අයට නරක භයානක හීන පෙනෙන්නේ නැත. එසේම ක්‍රිස්තු භක්තිකයන්ද නිසියාකර නින්දට පෙර යාඥා කර නින්දට යන්නේ නම් නරක හීන නොපෙනේ.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ බුද්ධ මන්තරය, යාඥා ආදිය නිසැකයෙන්ම යහපත් ඵලදෙයි. නමුත් නිසියාකාරව එය කළයුතු අතර යම් දහම් පැවැත්මකද සිටිය යුතුය.

ජ්‍යෙතීර්වේදී
පානදුරේ රොහන් වීරරත්න
දුම්රියපල පාර සිතුමිණ