2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ප්‍රකට කතකට අපලයි

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ග්‍රහලොව මනාලිය වූ සිකුරු උගත් බුද්ධිමතා වූ බ්‍රහස්පති සමඟ යුද සංග්‍රාමයක මෙම ජනවාරි 22 වැනි කුජ දින නිරතවනු ඇත. බ්‍රහස්පති වෘශ්චික රාශියෙහි බුධට අයත් දෙට නැකතේ දෙවැනි පාදයේ ගමන් කරමින් සිටියදී සිකුරුද වෘශ්චික රාශියෙහි දෙට නැකතේ දෙවැනි පාදයෙහි ගමන් කරමින් සිටින අතර මේ ග්‍රහයන් දෙදෙනා එකිනෙකා අභිබවා යාමක් සිදුවෙයි. ඒ හේතුවෙන් බ්‍රහස්පති හා සිකුරුගේ අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ලවනු ඇත. විශේෂයෙන් මෙහි බලපෑම දින 60ක් වැනි කාලයක් යනතුරැ බලපවතිනු ඇත.

මේ තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී ආරක්ෂක අංශයේ කටයුතුවල දියුණුවට වැඩි මුදලක් වෙන් කිරීමක්ද ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳව නවතාවයක් ඇතිකිරීමට රජය විසින් ක්‍රියාමාර්ග යොදවනු ලබනවා ඇත. වාතය තෙත ගතියෙන් යුක්ත වන අතර ව්‍යාපාරිකයන්ට අයහපත් වූ බලපෑම් ඇතිවී ව්‍යාපාර කඩා වැටීම්ද සිදුවන වකවානුවක් වෙයි. බැංකු හා මූල්‍ය ආයතනවලට අයහපත් බලපෑම් ඇතිවන අතර ජාතික ආර්ථිකයේ පසුබෑමක් සිදුවන වකවානුවක් වේ. පතල් ආශ්‍රිතව සිදුවන අනතුරක්ද වාර්තා වන අතර උසස් කාන්තාවකට හෝ රාජකීය කාන්තාවකට මාරකයක් හෝ අපලයක් යෙදෙනු ඇත. මහජන නියෝජිතයන්ගේ කීර්තිනාමයට හානිවන පුවත් වාර්තා වන අතර ප්‍රවීණ රංගන/ ගායන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකුට මාරකයක් යෙදෙනු ඇත.

මීළඟට විදේශීය වශයෙන් සලකා බලන විට භූ චලනයක් සිදුවීම හේතුවෙන් ජීවිත හා දේපල හානියට පත්වන කාලයකි. මහජන ආයතන, බැංකු හා මූල්‍ය ආයතන ආශ්‍රිතවද ත්‍රස්ත ප්‍රහාර එල්ලවන වකවානුවක් වන අතර දැනට සිටින හෝ සිටි ප්‍රසිද්ධ කාත්තාවක හෝ ජනනායිකාවකගේ අභාවයක් වාර්තා වෙයි. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයකුටද මාරකයක් බලපායි. ළමයින්ට සිදුවන අපරාධ ක්‍රියාවල වර්ධනයක් ද සිදුවනු ඇත.

මීළඟට ලග්න අනුව සලකා බලමු

මේෂ - උගුරේ අමාරුවක්

තම කාලත්‍රයාට හදිසි ශරීරපීඩා ඇතිවන අතර තමාගේ කටයුතුවලටද විවිධ බාධා මතුවේ. තම තැන්පත් ධනයද අනවශ්‍ය ලෙස වියදම් වී යන අතර උගුර ආශ්‍රිත ආබාධයක්ද ඇතිවේ.

වෘෂභ - ලාභ අඩු වේ

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අඩුවන අතර හදිසි තුවාල පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. මුදල් සම්බන්ධ විශාල පාඩුවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව ගනුදෙනු කරන්න.

මිථුන - අයහපත් බලපෑම්

පවුල් දිවියේ සමගිය දෙදරා යන වකවානුවක් වන අතර ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. තැන්පත් ධනයද හානියට පත්වනු ඇත. සේවා ස්ථානයේ අනෙකුත් සේවකයන්ගෙන් තමාට විවිධ අයහපත් බලපෑම් එල්ල කරන වකවානුවක් වේ.

කටක - කෙටි ගමන්

පෙම්වතුන්ට විවිධ පාර්ශ්වවලින් බාධා එල්ල කරනු ලබන වකවානුවක් වන අතර විශාල මුදල් පාඩුවක්ද ලබනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වන අතර කෙටි ගමන් අධික වනු ඇත.

සිංහ - සේවක මතභේද

භූමිය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. නෑදෑයන් සමඟ සිත් අමනාපකම් ඇතිකරගනී. සේවා ස්ථානයේද අනෙකුත් සේවකයන් සමඟ මතභේද ඇතිවනු ඇත. සතෙකුගෙන් පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

කන්‍යා - විදේශ ගමන්

හිතමිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් බලපෑම් ඇතිවනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. හවුල් කටයුතු අසාර්ථක බවට පත්වන කාලයක් වේ.

තුලා - වියදම් වැඩියි

පවුල් දිවියේ සමගිය දෙදරා යන අතර තම තැන්පත් ධනයද අනවශ්‍ය හේතු මත වියදම් වී යනු ඇත. තම කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා මතුවනු ඇත. උදරයේ පීඩාවක් ඇතිවනු ඇත.

වෘශ්චික - හදිසි කේන්ති

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආදරවන්තයන්ටද අයහපත් කාලසීමාවක් වේ. හදිසි කේන්ති ගති ඇතිවීම නිසා තම හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. 

ධනු - මුදල් හානි

විශාල මුදල් පාඩුවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ කටයුතුවලටද විවිධ පාර්ශවවලින් බාධා ඇතිකරනු ඇත. භූමිය ආශ්‍රිත ප්‍රශ්නද මතුවන අතර විදේශ ගමන් අපේක්ෂා කළ අයට බාධා ඇතිවනු ඇත.

මකර - විසිතුරු දේවල්

හිතමිතුරන්ගෙන් ගැටලු ඇතිවන අතර පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. විසිතුරු දේවල් මිලදී ගැනීම සඳහා අනවශ්‍ය ලෙස මුදල් යොදවන වකවානුවක් වේ.

කුම්භ - පදිංචියේ වෙනසක්

සේවා ස්ථානයෙහි අනෙකුත් සේවකයන් සමඟ මතභේද ඇතිකරගන්නා වකවානුවක් වේ. තමාගේ තීරණවලට අන් අය විරුද්ධ වනු ඇත. තැන්පත් ධනයද වියදම් වී යනු ඇත. පදිංචි ස්ථානයේ වෙනසක් කිරීමට සිත් ඇතිවනු ඇත.

මීන - පාදවල පීඩා

ඔබට එතරම් අයහපත් බලපෑමක් නැති නමුත් අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධා මතුවනු ඇත. කෙටි ගමන් අධික වන අතර නිර්මාණශීලී අදහස්වලට බාධා මතුවේ. කකුල්වල හදිසි පීඩා මතුවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00