2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

Jetwing හෝටල් ජාලයේ පළමු City hotel කොළඹදී

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

 

ලංකාවේ ගොඩක් ජනප්‍රිය හෝටල් සන්නාමයක් වන Jetwing පසුගියදා තමන්ගේ පළමුවැනි City hotel එක කොළඹ දී විවෘත කළා. Jetwing Colombo Seven විදිහටයි එය නම් කරලා තියෙන්නෙ. විචිත්‍රවත් පෙනුමකින් යුත් හෝටලයට තමන්ගේ සුපුරුදු ආගන්තුක සත්කාරයේ රිද්මය එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම resort පන්නයේ අත්දැකීමක් කොළඹ නගරය තුළට එක් කිරීම වටිනවා. 

කොළඹ කියන්නේ සංචාරකයන් වගේම ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ස්වභාවයේ පිරිස් ගැවසෙන කාර්යබහුල නගරයක්. කොළඹ 7 වෝඩ් පෙදෙසේ පිහිටලා තියෙන තරු පහේ හෝටලයක් වන Jetwing Colombo Seven හෝටලය මේ සියලු කාණ්ඩයන්ට සේවා සැලසීමේ හැකියාවෙන් යුක්තයි. නගරයේ සුන්දරම ස්ථානයක පිහිටලා තියෙන නිසා අලංකාර දර්ශන පෙළක්ම එහි උඩුමහලයන්හිදී දැකගන්න පුළුවන්.

හෝටලයේ කාමර 98ක් තිබෙනවා. ඊට Deluxe පන්නයේ කාමර 70ක් හා සියලු සේවා සහිත නිවාස ඒකක 28ක් ඇතුළත්. මේ සියලු කාමර හා නිවාස ඒකක අති නවීන පහසුකම්වලින් සමන්විතයි.

හෝටලයේ ප්‍රධාන අවන්හල තමයි Fifty7. විවිධ ආහාර රටාවලට අයත් කෑමබීම රැසක් එහිදී පිරිනැමෙනවා. Rooftop අවන්හල නම් කරලා තියෙන්නේ Ward7 විදිහටයි. ඉන්දියන් සාගරයේ සොඳුරු දර්ශනයක් වගේම ඉහළ අහසේ තරු අතරේත් හිඳ ගෙන ආහාර රස විඳින්න එතැනදී පුළුවන්. 

ඒ වගේම 50 දෙනකුගේ සිට 150 දෙනකු දක්වා ප්‍රමාණයකට සේවා සැපයිය හැකි කමිටු ශාලා සහ සම්මන්ත්‍රණ ශාලාත් මෙහි තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික කටයුතුවලටත් මෙතැන හොඳින් ගැළපෙනවා. 

♦  සනත් වීරසූරිය