2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ලංකාවේ මුල්ම ස්මාර්ට් පන්තිය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2189

පමා නොවී එමි අකුරට මෙයින් මතු... 
ඒ එදා දිවුරුමය. සොඳින් අකුරු කර, බැතින් ශිල්ප දැන ඇඳුරන් ඇසුරේ පෙළහරපාලූ දිසාපාමොක් යුගය අතීතයෙන් අනාගතයට කැන්දන්නට වෙහෙසෙනු කුමටද? ඒ එදාය. මේ මෙදාය.

වැලිපිල්ලේ අකුරු ලියූ ඈත යුගයෙන් මෑත යුගයට අනන්ත විශ්වය අතැඹුලක් කොට විශ්ව ගම්මානයේ සීමාව තුළට ලඝු කරන්නට තරම් තාක්ෂණය ජගතෙක් විය. විශ්වයේ ඈත මෑත කොන් යා කළ තාක්ෂණයේ අති සූක්ෂම හා සියුම් බලපුළුවන්කාර පෙරළිය අබිමුව වැලිපිල්ලත්, කළු ලෑල්ලත්, රටහුණු කෑල්ලත් පසුකර අපි තාක්ෂණයේ පොළොවකට පා තබා ඇත්තෙමු. 
තර්කයක් නැත. 

එහෙත් කොන්දේසියක් ඇත. 
තාක්ෂණය යනු විශ්වීය යාන්ත්‍රණයේ හුදු මෙවලමක් පමණි. තාක්ෂණය විසින් ඔබ මෙහෙයවීම වෙනුවට ඔබ තාක්ෂණය මෙහෙයවන්නා විය යුතුය. දැනුමින් සන්නද්ධව බුද්ධිය රජවන විට හදවත මරා දැමිය යුතු නැත. මනුෂ්‍යත්වයට පයින් ගැසිය යුතු නැත. නිසැකයෙන්ම තාක්ෂණීකරණය විය යුත්තේ ඔබ, ඔබේ විඥානය නොව ඔබේ දැනුමේ පරාසය පමණකි. ඒ එකී කොන්දේසියයි. ඔබ නොහඳුනන සාමලා අමරලා ඔබට නොදැනුණ සල් මල් සුවඳ වින්ඳ මතකය තවමත් මගේ හිතේ අහුමුල්ලකය.

මේ සියල්ලක් මෙලෙස සටහන් කර තබන්නට සිත්වුණේ සුහුරු පන්ති කාමරයකට ගොඩවැදුණු ඇසිල්ලේදීය. සුහුරු පන්ති කාමරයැයි කියූ පමණින් ඔබට නුහුරක් දැනෙන්නට ඇත. ස්මාර්ට් ක්ලාස් රෑම්, එය ඔබට ආගන්තුක වෙන්නට හැටියක් නැත. එය ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට නවමු සංකල්පයක් වුවත් තාක්ෂණය සමඟ අධිවේගී ගමනකට මුලපුරා ඇති ලෝකයේ බොහෝ රටවලට එය අද සාමාන්‍යකරණය වූ සංකල්පයකි. ස්මාර්ට් ක්ලාස් රූම් සංකල්පය හුදෙක් සංකල්පයට පමණක් සීමා නොකර එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීමට කෝට්ටේ ජයවර්ධනපුර පිරිමි මහා විද්‍යාලය ඇරඹුම් පිවර තබා ඇත.

යාවත්කාලීන වන සියල්ලක් සමඟ දේශයක අධ්‍යාපනයද යාවත්කාලීන විය යුතුය. අභිනව විශ්වයේ ප්‍රගමනයට අවැසි නැණ මහිමයෙන් පරිපූර්ණ අනාගත පරම්පරාවක ශීර්ෂ හැඩගැස්ම පිණිස එය අවැසිමය.

ලෝකෙට හුරුපුරුදු අපිට නුපුරැදු ලංකාවේ පළමු සුහුරු පන්ති කාමරය සොයා අපි කෝට්ටේ පිරිමි ජාතික පාසලට ගිය ගමනේදී විද්‍යාලාධිපති ඩී.එස්.ඩී. වානගුරු මහතා සුහුරැ පන්ති කාමර ගැන අපට කියන්නට සැදී පැහැදුණේ මහත් වූ උද්යෝගයකිනි. එහෙත් එසැණෙහිම විවේකය හමාර බව දන්වන සීනුව නාද විය. ඒ සමඟම ඇසුණේ නිබ්බුත පද ගායනයකි. මධ්‍යහ්න මොහොතක නිබ්බුත පද ගායනයේ අරැත් වටහා ගැනීම අපට දුෂ්කර බව විදුහල්පතිතුමාට වැටහෙන්නට ඇත.

“විවේක කාලයේදී ළමයින්ගේ මනස අධ්‍යාපනය පැත්තෙන් ඈත්වෙලා කෙළි සෙල්ලමට යොමුවෙනවා. නැවත විවේකයෙන් අනතුරැව ළමුන්ගේ මනස එක්තැන් කරන්න තමයි අපි මේ නිබ්බුත පද ඇසීමට සලස්වන්නේ.* යනුවෙන් එම අරමුණ සිනා මුහුණින් අපට විදුහල්පතිවරයා වටහා දුන්නේ අපේ හැඟීම වටහාගත් කලෙක මෙනි.
කතාබහෙන් අනතුරැව අප ගියේ ලංකාවේ පළමු සුහුරැ පන්ති නැරඹීමටය. එහෙත් එහි දොර අඟුළුලා තිබිණි. ඒ වනවිට එහි සිටි සිසුන් වෛද්‍ය සායනයක් සඳහා සහභාගි වෙමින් සිටින බව අපට දැන්වූයේ හනි හනිකට එහි පැමිණි කාර්යාල සහයිකාව විසිනි.

“දැන් මේ සුහුරැ පන්ති කාමරයක් එහෙම නැත්නම් ස්මාර්ට් පාසලක් කියලා කියන්නේ අන්තර්ජාලය භාවිත කරමින් මුද්‍රිත පොත්වල කිසිදු සම්බන්ධතාවයක් නැතුව ටැබ් පරිගණක මගින් ඉගැන්වීම් කටයුතු සිදුකිරීමයි. සෞන්දර්ය විෂයන් හැර අපි අනෙකුත් සියලුම විෂයන් ටැබ් පරිගණකයකට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම තමයි මේ ළමුන්ගේ සියලු පැවරැම් කරන්නෙත් මේ ටැබ් පරිගණක හරහා. නමුත් අපි සියලුම විභාග කටයුතු කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන්. අද වනවිට ලංකාවේ ඕනෑම කටයුත්තකදී අන්තර්ජාල, එහෙම නැත්නම් ඔන් ලයින් භාවිත කෙරෙනවා. අපි මේ දැන් කරන්නේ ළමයි ඒකට පන්ති කාමරයේ සිටම හුරු කිරීමක්. ඒ පැහැදිලි කිරීම කළේ විදුහල්පතිවරයාමය.
මෙලෙස විදුහල්පතිවරයා සමඟ අප කතාබහ කරමින් සිටිනා අතරතුර මෙම සුහුරු පන්ති කාමරය භාර ආචාරිනී රත්නායක මහත්මිය පැමිණ සුහුරු පන්ති කාමරය විවෘත කර දුන්නේ එම පන්ති කාමරයට අප කැඳවමිනි.“කොහොමද මේ පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු? පෙළපොත් භාවිත කරමින් ඉගැන්වීම් කටයුතු කරනවාට වඩා පහසුවක් තියනවද ඒ අපේ පළමු පැනයයි “මේ මඟින් ඉගැන්වීම් කටයුතු කරන්න ඉතාම පහසුයි. මේ දරුවන් වුණත් මනා උනන්දුවකින් යුතුව මෙහි ඉගෙනීම් කටයුතු සිදුකරනවා. ඒ වගේම තමයි අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේ පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු කරන්නේ. ළමුන්ට තේරුම් ගැනීමට අපහසු තැන ඉඳලම අපි මෙම ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ ඇගේ පැහැදිලි කිරීමය.

“මේ පන්ති කාමරය වෙනත් පන්ති කාමර වගේම නිහඬද?
කියන්න සතුටුයි. මේ දරුවෝ ඉගැන්වීම් කටයුතු සිදුකරන විට ඇල්පෙනෙත්තක් බිම වැටෙන්නේ නැතිවෙන තරම් ශබ්දයක්වත් ඇති නොවන ආකාරයට තමයි හැසිරෙන්නේ.

කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සංකල්පයකට අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ මැදිහත් වීමෙන් ඇරුඹුණු මෙම සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේ කෝජ්න් ආයතනයයි. ඒ බව සියලු කතා අතරතුර විදුහල්පතිවරයා සඳහන් කළේ ප්‍රශංසනීය ස්තූතියකිනි.

වෛද්‍ය සායනයට ගිය සුහුරු පන්තියේ සිසු දරැවෝ එකිනෙකා වෛද්‍ය සායනය නිමාකොට පන්ති කාමරය වෙතට පැමිණෙන්නට වූහ. එලෙස පන්ති කාමරයට පැමිණි ඔවුන් සිය අසුන්වල හිඳගත්තේ අසුනක ශබ්දයක්වත් නොනැගෙන අයුරිනි. අනතුරුව චානිකා රත්නායක මහත්මිය සිසු දරුවන්ට ගණිතය විෂය පිළිබඳ පැවරුමක් ආරම්භ කරන ලද්දේ අපහටද එම ඉගැන්වීම දැක ගැනීමට හැකිවන ආකාරයටය.

එම සිසු දරුවෝ මනාලෙස ටැබ් පරිගණකය හසුරවමින් එම පැවරුමෙහි වැඩ ඇරැඹූහ. ඔවුන් පරිගණක හැසිරවූයේ හුරු පුරුදුකරුවන් ලෙසිනි. අංගසම්පූර්ණ පහසුකම් රැසකින් සමන්විත මෙම පන්ති කාමරයේ සිසු දරුවන් ගුරුතුමිය අසනා ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබාදෙමින් එකිනෙකාට නොදෙවෙනි ආකාරයට කටයුතු කරනා ආකාරය අපට දැකගත හැකිවිය. 
ක‍ශේරුකාවට දරන්නට බැරි තරමට පාසල් පොත් බෑග් උස්සන ලාංකික දරැ පරම්පරාවට ඒ පොත් කන්දේ බර වෙනුවට සුහුරු ටැබ් උපකරණයක සැහැල්ලුව අගනා බැව් නොකිව මනාය. පුංචි උපකරණයක් - විසල් දැනුමක් දෝතට තිළිණ වන්නේනම් එයද අගනේය. 

එහෙත් යුගයක් පුබුදු කළ අනගාරික ධර්මපාල, ටවර් හෝල් නිර්මාතෘ ජෝන් ද සිල්වා, ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකොන් වැනි වියත් විචක්ෂණශීලී උත්තුංග මිනිසුන් තැනූ කෝට්ටේ ධර්මපාලය රැකගත් නමක් වේනම් එය හෙටටත් එලෙසින්ම රුකගත යුතුය. ලෝකයේ අහුමුළු සියල්ල දෝතට ගෙනෙන තාක්ෂණය පිරි මෙවලම් කුතුහලය සපිරි දරු පරම්පරාව අතට පත්කරද්දී වඳුරාට දැලි පිහිය හමුවීමේ න්‍යාය මඟහැරගත් ක්‍රමවේද හා සීමාවන් ළකුණු කරලීමද වියත් ගුරු පරපුරේ වගකීම බැව් අපි අවසන සටහන් කර තබමු.

 හසිත් අංජන
සේයාරූ | සුමුදු හේවාපතිරණ 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00