මේ දිනවල අපේ රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙණුයේ සහල් මිල ගණන්ය. ඒ සමඟ හිඟයක් පිළිබඳ බියක්ද පවතී.
ඉදිරි කාලයේ රටේ ඇතිවිය හැකියැයි කියන බරපතළ නියඟයක් පිළිබඳව ආරංචියත් සමඟ සහල් අර්බුදය මුලින්ම පැන නැගුණේය. ඒ සමඟම කිසිදු අවහිරයකින් තොරව දිනෙන් දින සහල් මිල ඉහළ ගියේය. වෙළෙඳපොළේ අන් කවරදාකටත් වඩා සහල් ගිනි ගාණට අලෙවි කෙරෙන බවට නැඟුණු පාරිභෝගික මැසිවිල්ලට පිළියම් ලෙස රජය විසඳුම් ක්‍රියාමාර්ග දෙකකට යොමු විය. ඉන් එකක් නම් වෙළෙඳපොළේ සහල් සුලබ කිරීම සඳහා දේශීය පාරිභෝජනයට අවශ්‍ය පරිදි සහල් පිටරටින් ආනයනය කිරීමයි. අනෙක සහල් සඳහා රජය පාලන මිලක් පැනවීමයි. එහෙත් එමගින් රජය අපේක්ෂා කළ අරමුණු ඉටුවීද යන්න විමසා බැලිය යුත්තකි.
එතෙක් වෙළෙඳපොළේ හිතූ ගණන්වලට අලෙවි කළ දේශීය සහල් තොග හිටි අඩියේම අතුරුදන්ව ගියේය. නැතොත් සැඟවුණේය. ආනයනික සහල්වලින්ද පාරිභෝගිකයාගේ ඇස්වලට වැලි ගසා කෙරෙන හොර මගඩි පිළිබඳව කරළියට ආවේය. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තම සුප්‍රකට දේශීය සහල් ඇසුරුම්වලින් සිය වෙළෙඳ නාමය සහිතව රට සහල් වැඩි මිලට අලෙවි කිරීමට පෙළඹීමේ කූඨ ජාවාරමක් ගැනද කියැවිණි. මෙය ගමේ කඩේ පිලේ සාකච්ඡාවට බඳුන් වූ ඕපාදූපයක් නොව, පොළොන්නරුවේ ප්රමුඛ පෙළේ සහල් මෝල් හිමියකු මෙන්ම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයාද වන ගාමිණී කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් රටටම කීවේය.
නියඟය ගැන හිතලා වී තොග හංගලා?
එහෙත් ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයක් හෝ සොයා බැලීමක් පිළිබඳව මෙතෙක් දැනගන්නට නැත. මෙකල ඉතා සුලබ සහල් මෝල් හිමියන්ගේ රංගනයේ ප්‍රබල නිරූපණ අවස්ථාවක් ලෙස සහල් පාලන මිල ප්‍රතික්ෂේප කිරීම හැඳින්විය හැක.
මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ඇතුළුව රට පුරා සිටින සහල් මෝල් හිමියන් 120 දෙනකු පමණ ඒකමතිකව තීරණය කර ඇත්තේ සහල් මිල සංශෝධනය සඳහා රජයට යෝජනා කිරීමටය.
ඒ අනුව නාඩු සහල් කිලෝවක රුපියල් 72 පාලන මිල වෙනුවට රුපියල් 80ක්ද, රුපියල් 80ක පාලන මිලක් නියමව තිබූ සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 90ක් දක්වා පාලන මිල ඉහළ තබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා මේසයකට යොමුවීමටද එහිදී තීරණය වී තිබේ.
පසුගිය අඟහරුවාදා (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සහල් මෝල් හිමියන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කෙරුණු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින පාලන මිල සංශෝධනය කොට ඉහළ මිලක් පැනවීමට තීරණය වූ බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා දේශයට පැවැසීය.
මේ අනුව ඔවුන් අපේක්ෂා කළ පරිදි නාඩු සහල් කිලෝවක් රුපියල් 80ක් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 90ක් වනු ඇත.
රජය සහල්වලට පාලන මිලක් නියම කරනු ලැබූයේ පසුගිය 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. එතැන් පටන් දින 06ක් ගතවන විට එම පාලන මිල නැවත සංශෝධනය කර වැඩි මිලක් නියම කරවන තැනට ජනාධිපතිවරයා පොළඹවා ගැනීමට ක්‍රියා කිරීම තුළින් මේ රටේ සහල් මෝල් හිමියන් අතළොස්සකගේ බලවත් භාවය කෙබඳුද යන්න මනාව පෙන්නුම් කරයි. එමෙන්ම බත කන ලක්ෂ සංඛ්‍යාත ජනයාට රටේ හිමි තැනද කදිමට නිරූපිතය.
මේ අන්දමට සහල්වල රජයේ පාලන මිල වෙනස් කර ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මෙරට ප්රමුඛ පෙළේ සහල් නිෂ්පාදකයකු මෙන්ම දකුණු ආසියාවේ විශාලතම සහල් නිෂ්පාදන ආයතනය වන නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර මහතා ප්‍රකාශ කළේ වී කිලෝවක ගැණුම් මිල සහ සහල් කිලෝවක නිෂ්පාදන වියදම අනුව රජය පනවා තිබූ පාලන මිලට සහල් කිලෝවක් අලෙවි කළ නොහැකි බවයි. පසුගිය වසරේ (2016) දෙසැම්බර් මාසයේ තම ආයතනය සහල් නිපදවීම සඳහා වී මිලදී ගෙන ඇත්තේ කිලෝවත් රුපියල් 47 – 50කට යැයිද ඒ අනුව වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 85ක් පමණ වයවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ගොවියාගේ වී කිලෝවක් සඳහා රුපියල් 40ක් ලබාදීමට නම් නාඩු සහල් කිලෝවක මිල රුපියල් 80ක පැවැතිය යුතු බව ඔහු කියා සිටී. මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනකු විසින් රජය මිලදී ගත් වී තොග ලබාගත් බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳව පැහැදිලි කළ මිත්‍රපාල ලංකේශ්වර මහතා මෙවර රජයේ වී තොගයෙන් තමන් මිලදී ගත්තේ මෙට්‍රික් ටොන් 500ක් පමණක් බව කීය. ඒ කිලෝවක් රුපියල් 44.50 බැගිනි. ඊට අමතරව එම මුදලට වී අලෙවි මණ්ඩලයෙන් වී තොග මිලදී ගත් වෙනත් අයගෙන් තමන් රුපියල් 55 බැගින් වී ලබාගත් බවද කීවේය.
මේ අතර අනයනික සහල් දේශීය සහල් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමේ ජාවාරමක් ගැන තමන්ගේ නමද ඈඳාගෙන ඇතැමුන් මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් ඔවුනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.
වී කිලෝවට ගෙවන ගාණ පාරිභෝගිකයාට වැඩක් නෑ
සහල් සඳහා රජය පනවා තිබූ පාලන මිල සංශෝධනය කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ කරවා ගැනීමට හැකිවීම සහල් මෝල් හිමියන් පමණක් ගොවි ජනතාවද ලැබූ ජයග්‍රහණයක් යැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.
“අපි ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළා මේ පවතින සහල් පාලන මිල යටතේ ගොවියාගේ වී කිලෝ එකට ලැබෙන මිල පිළිබඳව. ඇත්ත වශයෙන්ම මෙහිදී වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ ගොවියාට. පැහැදිලිවම වී කිලෝ එකක මිල රුපියල් 28ට, 30ට අඩුවෙනවා, රුපියල් 72ට නාඩු සහල් කිලෝ එක වික්කොත්. එම නිසා රුපියල් 80ට නාඩු කිලෝ එකක පාලන මිල නියම කරන්න ජනාධිපතිතුමා එකඟ වුණා, සම්බා හාල් කිලෝ එකක රුපියල් 90ක පාලන මිලටත්. ඒ වගේම ජනාධිපතිතුමා සමඟ මේ සාකච්ඡාව කරලා මිල සංශෝධනයක් කරගන්නා තෙක් වෙළෙඳපොළට නිකුත් නොකර තිබුණු දේශීය සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමත් අපි මෙතැන් සිට ආරම්භ කරනවා. මේක මෝල් හිමියන්ගේ පමණක් නොවෙයි ගොවි ජනතාවගේත් විශාල ජයග්‍රහණයක්” යැයි ද ගාමිණී කුමාරසිංහ මහතා කීවේය.
රටේ වී අස්වනු බහුලව වෙළෙඳපොළට පැමිණෙන කාලයට නැතහොත් වී අස්වැන්න නෙළන සමයේ ගොවියාගේ වී ටික කුණු කොල්ලයට මිලදී ගැනීම කරනු ලබන්නේ මෝල් හිමියන් බව ප්‍රකට කරුණකි.
මෙදා ගොවීන් පිළිබඳව අනුකම්පා ඉපිද උණුවූ සිත් ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු කියන්නට ඉදිරිපත් වී ඇත්තේද එම මෝල් හිමියන්මය.
තමන්ද ගොවි දුක දන්නා ගොවි පරපුරේ එකෙකැයි නිතරම පාහේ ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර සහල් කිලෝවේ පාලන මිල වෙනස් කොට ඉහළ ලංසුවකට යන්නට තීරණයකට එළඹ සිටීම එක් පැත්තකින් මෝල් හිමියන්ගේ බහට අවනතව නොව ගොවියා ගැන සිතාගනු ලැබුවක් යැයි ඇතැමකුට සැනසෙන්නටද පිළිවන. මක්නිසාද යත් තමන් ගොවියකුයැයි පවසන ජනපති මෛත්‍රී කලකට පෙර ගොවීන්ගේ අයිතින් වෙනුවෙන් අරගලකොට ඒවාට නායකත්වය දී මතුව ආ දේශපාලන චරිතයක් නිසාය.
පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ (1994ට පෙර) ණය ගෙවා ගත නොහැකිව ගොවීන් වස පානය කොට සියදිවි නසා ගනිද්දී මිනිපෙට්ටි කර පින්නාගෙන එදා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවූ වීදි සටන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කළ අරගල වැඩි දෙනාට අමතක වන්නට තරම් කාලය දීර්ඝ නැතැයි සිතේ.
එසේ වුවද එම ගොවීන් වෙනුවෙන් සටන් වැදුණු සටන්කාමී නායකයා මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිවරයා වී දින සියයේ ආණ්ඩුව යටතේ ගොවියාගේ වී කිලෝවට රුපියල් 50ක් දෙන බවට පොරොන්දු වී එය ලබා දුන්නේ එකම එක කන්නයක් බව ගොවි ජනතාව සිහිපත් කරති.
සොබා දහමේ අපල උපද්‍රවයක් නමුදු වැසිජල හීනවී බිම් පුරන්ව ගොස් ඇති ගොවියාගේ අටුකොටු ද හිස්ව ගොස් තිබේ. එහෙයින් රටකට බත් දුන් ගොවි ජනයාද හාල් කිලෝව ගෙදරට රැගෙන යන්නේ වෙළෙඳපළෙනි. එහෙයින් දැන් තකහනියක් හාල් කිලෝවේ පාලන මිල ඉහළ දැමීමෙන් එහි වාසිය අත්වන්නේ ගොවියාට නොව හාල් මෝල් කරුවන්ට බව ගොවීහු පෙන්වා දෙති. මෙය ජනාධිපතිවරයාද නොදන්නා කරුණක් නොවන හෙයින් මේ මොහොතේ ගොවි ජනතාව ඇතුළු සමස්ත රට වැසියන් බත් කන ජනයා හෙවත් වෙළෙඳපොළෙන් සහල් මිලදී ගෙන බත් බුදින පාරිභෝගිකයන් පිරිසක් ලෙස සැලකීම කාලෝචිත බවද කියති.
ගොවියාගේ වී අස්වනු බහුලම වෙළෙඳපොළට පැමිණෙන අවස්ථාවේ ඊට සරිලන ඉහළ මිලක් ලබා දෙන්නට නම් සහල් සඳහා පනවා තිබෙන පාලන මිල ඉවත් කිරීමට බාධාවක් ඇති නොවේ.
කෙසේ නමුදු අප මෙම සටහන ලියන මොහොත වනවිටත් සහල් සඳහා රජයේ නව පාලන මිලක් නියමවී නොතිබූ නමුත් නොනිල පාලන මිලක් වෙළෙඳපොළේ ක්‍රියාත්මක වෙමින් තිබූ බව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය.
පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරින් දිස්ත්‍රික්කයක් පාසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව රාජකාරීයේ යොදවා සිටියදී. වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් නීතියේ රුහැනට හසුකර ගැන්මට නොහැකිවීම විමතිය දනවන කරුණකි.
♦ කරුණාරත්න ගමගේ