සැතපෙන කඳුයායන්ට ඉහළින් විහිදී ඇති බැසයන හිරුගේ කාන්තිය දිහා බලාගෙන මීවිතක් තොල ගාමින්, ගිටාරයක සිහින් හඬට නිසංසලේ කටහඬ මුසු කරමින් ජීවිතයක් පරිසරයක් රසවිඳි ගතහැකි තැන් අපට තවමත් ඉතිරිව ඇත.
නිල් පාට මුහුදු දියේ හිමිහිට පිම්බී එන නොබිඳුණු රැල්ලක් උඩින් පිහිනා ගොස් සතුටත් ජීවිතයත් ඉතිරි කරගත හැකි මනරම් මුහුදු වෙරළ අපට තවමත් ඉතිරිව තිබේ.
නිල්වන් රෑ අහසේ නිවී දිළෙන තරුකැට දිහා බලාගෙන දිවියේ කලබල ඉවත හෙලා අතීතය මතකයට නගා ගනිමින් ප්‍රියයන් හා පිළිසඳරේ යෙදිය හැකි තැන් වියළි කලාපයේ තවමත් අපට හිමිව තිබේ.
අඩියෙන් අඩිය මුදුනට නැග හරිත වර්ණයෙන් යුතු කුඩා කඳුගැටත්, වෙල් යායත්, නෙතට දැකගත හැකි කඳු මුදුන් අපට තවමත් ඉතිරිව ඇත. ඒවායේ සොඳුරු බවද එසේමය. ඉස්සරට වඩා ඒවායේ සංචාරය කරන්නට ඇති පහසුකම් බොහෝය. අපේ වගකීම වන්නේ එම පරිසරය ඉදිරි පරම්පරාවටත් ඉතිරිකොට අපේ පියසටහන් පමණක් ඒවායේ ඉතිරිකොට තබා ඒවා රසවිඳගෙන නැවත පැමිණීමයි. අපට පෙර විසූ පැරැන්නෝ ඒවා අපට ඉතිරිකොට තබා ඇත්තාහ. ඒ අයගේ අතීත සංචාර මතකයට එන්නේ ඉබේමය.
එහෙත් අපට මතක ඇති හැටහැත්තෑ දශකවල මෙරට ජනයාගෙන් බහුතරයක් විනෝද සංචාර කියා වෙනම ගමන් වර්ගයක් යන්නට පුරුදුව සිටියේ නැත. එකල තිබූ පෞද්ගලික සංචාරක බස් රථවලට ද සාමාන්‍ය ජනයා ව්‍යවහාර කළේ “වන්දනා බස් එක” යන නමයි. පොදු ජනයා වැඩිපුරම ගියේ වන්දනා ගමන්ය. ඔවුහු සිරීපාද කාලෙට සිරීපාදේ ගියහ. කතරගම කාලෙට කතරගම ගියහ. පොසොන් කාලෙට අටමස්ථාන වන්දනාවේ ගියහ. ඒ කාලයේ මූලික අරමුණ වූයේ වන්දනාවේ යෑමයි. විනෝදය ලැබුවේ ඊට අමතරවය. මැද පන්තියේ ජනයාටත් වඩා නාගරික පැල්පත්වල ජනයාත්, ගැමි ජනයාත් ඒ ඒ කාලවල අදාළ වන්දනා ගමන් යන්නට පුරුදුව සිටියහ. පොල්මල් ගසාගත් බස් රථයේ ගමන ඇරඹුවේ සැවොම සාධු කාරයක් දීලාය. කෑම පිස ගන්නට අවශ්‍ය දර සහ හැළිවළං වියළි ආහාර බස් රථයේම රැගෙන යනු ලැබුවේය. සාධුකාර දීමෙන් අනතුරුව සාන්ත දාන්තව පළමු ගීය ගයන්නට පටත්ගත් විට ඉදිරි ආසනවල ගමන් ගත් අත්තම්මලා, ආච්චිලා ඇතුළු සැඳෑහැවත්හු ගී හඬ අසා උන්නෝය.
“වන්දනාවේ යමු පේ වීලා තිසරණ සීලේ
වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ...”
වන්දනා ගමන විනෝද ගමනක් කරගන්නට හෙමිහිට වගබලාගත් පසුපස ආසනවල සිටි මාමාලා ලොකු අයියලා ඒ ගීයටම අමුණා තමන්ගේ ප්‍රබන්ධය ඉදිරිපත් කළෝය.
“නුවර වැවට ගෙනයන්නම්
වැවේ ඉබ්බෝ පෙන්වන්නම්
මගේ සුන්දරීට ලේ වඩන්න ඉබ්බෝ කවන්නම්...”
බස් රථයේ පිටුපස පේළියේ සිටි ගුණදාස මාමාලා, සිරිපාල අයියලා රුපියල් අටට ගත් අරක්කු බෝතලයත්, සත පනහට ගත් සෝඩා බෝතලයත් එකට මිශ්‍රකොට ඉදිරි ආසනවල සැදෑහැවතුන්ට නොපෙනෙන්නට පාවිච්චි කළද වන්දනා ගීයට සවන් දී සිටි වැඩිහිටියෝ ගීයට එක්වන අලුත් පදවැල්වලින්ම ඒ බව දැනගනිති. මුලින් මුලින් එවැනි ගී පද ඇසෙද්දී රවාබලන වැඩිහිටියෝ පසුව අතින් මුව වසාගෙන සිනාසෙන්නෝය. ඔවුහු ඊටත් පසුව එවැනි ගීවලට අත්පුඩි ගසන්නේ ගීයෙන් විඩාව වියැකී යන බැවිනි. සිද්ධස්ථාන ළංවෙන්නට පෙර වැඩිහිටියන්ටත්, සිද්ධස්ථානවලටත් ගරු බුහුමන් දක්වමින් පසුපෙළ ඉන්නා අය සුරාමේරයෙන් වැළකී සංසුන්ව හිඳිති.
තිස් හතළිස් දෙනකු සමූහ චාරිකාවේ ගිය පරණ වන්දනා බස්එක බොහෝවිට රාත්‍රිය ගතකළේ පන්සලකය. නැතිනම් විශ්‍රාම ශාලාවකය. දැන් කාලයේ මෙන් Online නිවාඩු නිකේතන වෙන්කර ගැනීමේ කලාවක් එකල නොතිබිණි ඇතැම් විනෝද/ වන්දනා ගමන් ඇරඹියේ රාත්‍රී නවතින තැනද හරිහැටි සැලසුම් කරගෙන නොවේ. වන්දනා නඩ මඟදී හමුවන පන්සලක හවස් වනවිට නැවතී පසුදා ගමන් ගත්හ. උයා පිහා ගැනීමද ලබන විනෝදයේම අංගයක් වූයේය. ඒ සඳහා අවශ්‍ය භාජනත්, දරත් කරවල හාලුත් බස් රථයේම තිබිණි.
දුම්රියෙන් විනෝද චාරිකා ගියේ නිදහස් ගමන් ප්‍රවේශපත්‍ර (වොරන්ට්) පහසුකම් ලැබූ රජයේ සේවකයන්ය. සෑම රජයේ සේවකයකුටම එම පහසුකම් තිබුණද ඒවා භාවිතකොට සංචාරය කළේ අල්පදෙනෙකි. බොහෝ අය කළේ පෙරහර කාලයට ඒවා භාවිතාකොට දුම්රියෙන් නුවර යෑමයි. අවුරුද්දට හිමි ප්‍රවේශපත්‍ර තුනම භාවිතාකොට රට තුළ ගුවන් ගමනක් යෑමේ වරප්‍රසාද ද රජයේ සේවකයන්ට හිමිව තිබුණේය. ඒ අනුව සමහර රජයේ සේවකයෝ කණ්ඩායම් වශයෙන් ගොනුවී නිදහස් ගමන් වාර ප්‍රවේශපත්‍ර භාවිතාකොට රත්මලාන ගුවන්තොටුපළේ සිට එකල (හැත්තෑ ගණන්වල මුල් කාලයේ) යාපනය බලා ගුවනින් සංචාරය කළහ.
ලොකු වන්දනා බස්වල චාරිකා සහ දුම්රියෙන් සමූහ චාරිකා යෑම වෙනස් වූයේ වෑන් සංස්කෘතියේ ආගමනයත් සමඟයි. විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු දහදොළොස් දෙනකුට එක්ව යාහැකි වෑන් වර්ග බහුලව භාවිතයට ආයේය. මේ රටේ ජනයා බොහෝ සෙයින් චාරිකා යන්නට පෙළඹුණේ එම වෑන් භාවිතය බහුල වීමත් සමඟය. වෑන් එකකින් යන විනෝද චාරිකාව සංවිධානය කරන්නට ලොකු පිරිසක් ඕනෑ වූයේ නැත. පවුල් දෙක තුනක් එක්වී පහසුවෙන් තීරණගෙන වෑන්වලින් සංචාරය කළහැකි විය. අසූගණන්වල පටන් නිවාඩු නිකේතනද වැඩිවෙන්නට ගත්තේය. මෙරට ජනයාට ඉසිලිය හැකි මිලකට නිවාඩු නිකේතනයක දින දෙක තුනක් රැඳීසිටීමේ හැකියාව ලැබුණේය.
කතරගමට හෝ අටමස්ථානය වඳින්නට කරත්තවලින් ගිය පෙර කාලයේ, ආපසු එන ගමන සහතික නැති නිසා තමන් සතු ඉඩකඩම් ඊළඟ පරම්පරාවට ලියා තබා ගමන ගිය බව කතාවට කියති. එකල ඈත වන්දනා ගමන් යෑම ඒ තරමට අවදානම් බව කියවේ. එහෙත් හැටගණන්වල අගභාගයේ පවා මාතර සිට කතරගමට කරත්තවලින් යන අය ඉතිරිව සිටියහ.
බයිසිකලයෙන් විනෝද චාරිකා යන උදවිය ද ඒ කාලයේ ඉඳහිට දක්නට ලැබිණි. මගතොට හමුවන වැවකින් නා ගන්නා ඒ අය යන ගමන් තුවාය වේලා ගන්නේ බයිසිකලයේ මැද බාර්එකේ ගැටගසලාය. යන ගමන් සුළඟට ලෙල දෙන තුවාය ඉබේම වේලුණේය. ඉන්ධන වියදමකින් තොරව ගමන් ගිය ඒ උදවිය රම්බොඩ පල්ලමේ හෝ ඇල්ල වැල්ලවාය පාරේ ඉන්ධනවලින් දුවන වාහනවලට වඩා වේගයෙන් ගියෝය.
සොබා සෞන්දර්ය නැරඹීම සඳහා එකල ගමන් යෑමේ වැඩි අවශ්‍යතාවක් දැනුණේ නැත්තේ බොහෝ ප්‍රදේශවල ගහකොළ ඇතුළු සොබා සොඳුරු බව ඉතිරිව තිබුණු නිසාවන්නට ඇත. ජනයා වැඩකරන පරිසරයද මෙතරම් කලබලකාරී නොවූ නිසා එකල ඔවුනට වැඩකරන පරිසරයෙන් හා ඒකාකාරීත්වයෙන් මිදීමේ අවශ්‍යතාවක් නොදැනිණි. බොහෝ අය වැඩ කළේ මානසික ආතතියකින් තොරවයි. ඒකාකාරීත්වයෙනුත්, කෘතීම පරිසරයෙන් හා කලබලකාරී මානසිකත්වයෙනුත්, මානසික ආතතියෙනුත් මිදීම සඳහා සොබා සොඳුරු රුව ඉතිරිව ඇති පරිසරයක දිනයක් දෙකක් ඉඳිමේ අවශ්‍යතාව දැනෙන්නේ දැන්ය. රට තුළ චාරිකා දැන් වැඩිවන්නට එක් හේතුවක් වන්නේ එයයි.
සුන්දර ස්ථාන රසවිඳගැනීමට එන පිරිස් වැඩිවෙන්නට එක් හේතුවක් වූයේ වෑන් ගමන් බහුලවීමයි. හෝටන්තැන්න වැනි බස්රථ පිවිසෙන්නට අපහසුව පැවති ස්ථාන වෑන් රථවල එන දේශීය සංචාරකයන්ගෙන් පිරීගියේය. තවත් හේතුවක් වූයේ එතෙක් ජනයාගෙන් වසන්ව පැවති ඇතැම් සුන්දර ස්ථාන රූපවාහිනී වැඩසටහන්වලින් පෙන්වන්නට ගැනීමයි. රූපවාහිනී වැඩසටහන්වලින් දැනගත් තමන් යළිත් නුදුටු දිය ඇලි, වෙරළ ආදී සුන්දර ස්ථානවලට දේශීය ජනයා ආශා කළෝය. අලුතෙන් ජනප්‍රිය වූ සුන්දර ස්ථාන බොහෝමයක් තිබුණේ ප්‍රධාන මාර්ගවලින් ඈතය. හුම්මානය මීට උදාහරණයකි. හුම්මානය රූපවාහිනියේ පෙන්වූ පසු මුහුදින් එන රළ ගල්කුළ අතරින් ගොස් අහසට විදෙනු බලන්නට පිරිස වැලනොකැඩී ආහ. ඊට ළඟාවෙන පාරේ තේ කඩ, බැඳපු මාළු අලෙවිකරන කඩ වැඩිවෙන්නට ගත්තේය.
රූපවාහිනියෙන් ජනයාට සමීප වූ හුම්මානය නරඹන්නන්ගේ අවිනීත ගති නිසා ප්ලාස්ටික්, පොලිතින් ආදියෙන් වැසී ගියේය. එහි ජීවීගතිය සිඳීගොස් ඇති බව පසුගිය දිනවල ඡායාරූපයකින් දැකගන්නට හැකිවිය. සුන්දර හුම්මානයේ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් නිසා ගල් ඇතුළත කුහර වැසී ගොස් උඩට විදි රළ පහර නැවතී තිබිණි.
“ඔබේ පිය සටහන් පමණක් තබා යන්න...” යන වදන ඇතැම් සුන්දර ස්ථානවල ප්‍රදර්ශනය වූයේය. එම ඉල්ලීම කරඇත්තේ පමණට වඩා කාව්‍යමය බසින් දැයි පියසටහන්වලට අමතර සමහර දේශීය සංචාරකයන් ඉවතලා ගියදෑ දුටු විට සිතේ.
හෝර්ටන්තැන්න, රිවර්ස්ටන් කඳු ආදියේ ඇවිදින විට “මේකද මේ බලන්න ආවේ?” කියා අසන පුද්ගලයන්ද අපට මුණගැසී තිබේ. “බලන්න විතරක් නෙවෙයි විඳින්නත් පුරුදු වෙයන්.” කියා ඒ වෙලාවට ඔවුනට කියන්නට සිතේ.
උතුරු නැගෙනහිර යුද්ධයට පෙර කාලයේදී දකුණේ සිට සංචාරයේ එන සහෝදර ජනයාට සංග්‍රහ කිරීම ඒ ප්‍රදේශවල ද්‍රවිඩ ජනයා නොඅඩුව කළහ. දකුණේ කාර්යාලවල එකට වැඩ කළ සුමනසිරි මල්ලිලාට ඒ ප්‍රදේශවල නඩරාජා අයියලා සුමිහිරි තල්රා, යාපනේ කෑම බීම ගෙනැවිත් දුන්නෝය. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඒ සුහදතාව බොහෝ සෙයින් වියැකී ගියේ දීර්ඝ කාලයක් මේ පෙදෙස්වලට යෑම ඇනහිටි නිසාය.
උතුරු නැගෙනහිර සංචාරවලට දැන් නව පණක් ලැබී තිබේ. දැන් Online සංචාරක නිවාඩු නිකේතන වෙන්කර ගැනීමේ හැකියාව ඇත. කාමරවල, ආහාරවල මිල ගණන්ද දැන් අතැති ජංගම දුරකතනයෙන් දැනගත හැකිය. යාපනේ ගමන දැන් ඉස්සර මෙන් දීර්ඝ කාලයක් ගතවෙන අසීරු ගමනක් නොවේ. උදේ 5.40ට පමණ කොළඹ කොටුවෙන් නික්මෙන සුවපහසු දුම්රිය දහවල් 12.15ට යාපනයට ළංවේ.
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දූපත් දැන් පවතින්නේ නාවික හමුදාව භාරයේය. නාවික හමුදාවේ සුහදශීලී සත්කාරය විඳගනිමින් උතුරේ ඩෙල්ෆ්ට් දූපතටත්, ත්‍රිකුණාමලයේ සෝබර් දූපතටත් සංචාරය කිරීමේ වරම දැන් අපට ලැබී තිබේ.
ඩෙල්ෆ්ට් දූපතට යාපනයේ සිට ගමන් කරන්නට පැය එකහමාරක් පමණ ගතවේ. ඒ සඳහා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ බහුජන යාත්‍රා යොදවා ඇත. ඩෙල්ෆ්ට් දූපතේ ජනයාට ඇත්තේ තරමක් ඔවුන්ටම අවේනික ජන ජීවිතයකි. ඔවුහු නොනිත් ආශාවලින් පෙළෙන මුදල් හම්බකිරීමට ලැදි අය නොවෙති. ලද දෙයින් සතුටු වන්නෝය. යාපනේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම සරසවි වරම් ලබාඇත්තේ ඩෙල්ෆ්ට් දූපත්වල ශිෂ්‍යයන්ය. ඩෙල්ෆ්ට් දූපත්වල පැරණි ඕලන්ද ගොඩනැගිලිවල නටඹුන්, ලංකාවේ ලොකුම පරිධිය ඇති කඳ සහිත ගස සහ දූපතේ නිදැල්ලේ වෙසෙන පෝනියෝ දැකගත හැකිය.
ත්‍රිකුණාමලයේ සෝබර් දූපතේ නිවාඩු නිකේතනයක්ද නාවික හමුදාව මගින් පවත්වා ගෙන යන්නකි. දූපතේ වැදගත් ස්ථාන ගැන අධ්‍යාපනය ලබාදෙමින්, ඔරු පැදීම සහ දූපතේ සංචාරයට ඔබ හා එක්වෙමින් එහිදී සුහදශීලී ආගන්තුක සත්කාරය පිරිනමන්නට නාවිකා හමුදා නිලධාරීහු සැදී පැහැදී සිටිති. එක් දහස් හයසිය හැත්තෑ දෙකේ ප්‍රංශ නාවික හමුදාව විසින් අල්ලාගත් මෙම දූපත 1784දී පැරිස් ගිවිසුම යටතේ බ්‍රිතාන්‍යයට පැවරී ඇත.
මුහුණු පොතේ මිතුරු සමාජ විසින් එකිනෙකා හඳුනාගෙන සංචාරක කර්මාන්තයට බලපාන අතිශ්‍ය ප්‍රශංසනීය වූ කාර්යභාරයක් දැන් ඉටුකරමින් සිටී. ඔවුහු ස්වෙච්ඡාවෙන් එක්වී මුහුදු වෙරළ, ආදී සුන්දර ස්ථානවල පොලිතින්, ප්ලාටික් ආදිය ඉවත් කරමින් ඒවා පිරිසිදු කරති.
එක්තරා අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීමකින් 2018 අගභාගයේ සංචාරක සමයේ පළමු රට බවට පත්ව තිබුණේ අපේ ශ්‍රී ලංකාවයි. මෑතදී එළිදැක්වූ ශ්‍රේණිගත කිරීමකින් වඩාත් “ෆොටෝජෙනික්” නගරය වූයේ කොළඹ නගරයයි.
තවමත් සිතනවාට වඩා සොඳුරු සුන්දර දේශයක එදා මෙන්ම අදත් අප ජීවත් වන බව රට පුරා සංචාරය කිරීමේදී පසක් වෙයි. සී.ටී. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීයක පදයට අනුව “සිතනවාට වඩා සොඳුරු ලෝකෙක අපි ජීවත් වන්නෝ වෙමු...”
♦ සමන් පුෂ්ප ලියනගේ