2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මහ සයුරේ රත්තරන්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 1694

ලක්ෂ ගණන් වස්තු ලැබෙන රන් මිණි මුතු තරම් වටින මහ මුහුදේ අම්බර ගැන කතාව අපි සොයා ගියෙමු. වෙරළකරයේ දිවිගෙවන දළ රළ මතින් සත් සමුදුරේ අස්වනු සොයා යන ධීවර ප්‍රජාව ඇතරින් මේ කතාව මතුව ආවේය. වෙරළකරයේ අම්බර පිළිබඳව අපූරු කතා තිබේ. අප ඒ සියල්ල කැටිකොට මේ ලිපිය ඔබ වෙනුවෙන් ලියා තබමු.

අම්බර කියන්නේ මොනවාද? අප මේ පැනයට පළමුව පිළිතුර සොයා යමු. ඒ පිළිබඳව අපූරැ ප්‍රවාදයන් අතීතයේ වෙරළකරයේ ගම් ගොඩැලිවල ජීවත් වූ ධීවර ජනයා තුළ තිබිණි. ඉන් සමහරක් අදද ශේෂව තිබේ. ඉන් අපූරුතම කතාවක් මෙසේ පළමුකොට ගලපා ගතිමු.

ඉන්දියාවේ ඈත හිමාලයේ ඇත්කඳ ලිහිණියෝ වෙසෙති. විසල් සිරුරක් ඇති ඇත්කඳ ලිහිණින්ට ඇතුන් පවා ඔසවාගෙන යා හැකි යැයි කියති. හිමාල වනයේ ගස් මත සිට ඔවුන් හෙළන වසුරු මහා වැසිවලට හසුවී ගංඟාවලට එක්වෙයි. ඈත හිමාලයේ සිට ගං දිය සමඟ මේවා මහසයුර වෙත ගසාගෙන එයි. ඒවා ගොඩ ගැනීමට භාරත දේශයේ ගංඟාවල දැල්ද දමා තිබේ. එහෙත් කෙසේ හෝ මහසයුරට එක්වන මේ අම්බර ධීවරයන් අතරින් වාසනාවන්තයන්හට හමුවෙයි.

මේ වැනි ජනප්‍රවාද විවිධ වෙනස්කම් සහිතව ධීවරයන් අතර අදද  කියවේ. මෙම ජනප්‍රවාදවලට පාදක වී ඇත්තේ අම්බරවල ඇති විරල බවයි. මෙහි සත්‍යතාව පිළිබඳ පදනම් වේදැයි සොයා බැලූ නමුත් අපට එවැන්නක් හමු නොවීය.

එහෙත් අද වනවිට අම්බර ඇත්තේ තල්මසුන්ගේ සිරැරේ බව ධීවර ප්‍රජාව දැන සිටී. අම්බර විද්‍යාත්මකව ඇම්බර්ග්‍රීස් යනුවෙන් හඳුන්වයි. ඇම්බර්ග්‍රීස් යනු තල්මස් වමන වෙයි. සප්ත මහා සාගරයේ දැවැන්ත‍යන් වන තල්මසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇම්බර්ග්‍රීස් නිෂ්පාදනය වෙයි. මේවා ඝන ඉටි වැනිය. දැවෙන සුළුය. අඳුරු පැහැ අළු කළු වැනි වර්ණවලින් දක්නට ලැබේ. ඇම්බර්ග්‍රීස්වලින් වහනය වන්නේ අධික දුර්ගන්ධයකි. එයින් අසූචි මෙන් දුගඳක් පිට වන බව ධීවරයෝ කියති.

තල්මසුන් ආහාරට ගන්නා ඉස්සන් කකුළුවන් දැල්ලන් වැනි සතුන්ගේ පිට කවච සහ නොදිරවන කොටස් තල්මසාගේ කුසේ හෝ තල්ලේ තැන්පත් වෙයි. පසුව වමනය ලෙස පිටවන්නේ මේවාය. ඒ අනුව තල්මසුන් වමනය දමන්නේ උගුරේ හෝ උදරයේ ආබාධයක් හටගත් විටදීය. වතුර යටදී වමනය කිරීම සිදුකළද ජලයට නිරාවරණ වීමේදී මේවා ඝන බවට පත්වේ. අම්බර පිළිබඳ ඇති විද්‍යාත්මක සත්‍යතාව මෙයයි.

දිවයිනේ බටහිර සහ දකුණු වෙරළේ අම්බර හමුවී ජීවිතය ජයගත් ධීවරන් පිළිබඳ පුවත් තිබේ. අම්බර මුදලාලිලා පිළිබඳ කියැවෙන එවන් කතාවක් අපට අසන්නට ලැබුණි.

මෙය මීට දශක හතර පහකට ඉහත සිදුවූ සිදුවීමකි. එහෙත් ඒ පිළිබඳ පුවත තවමත් පැරැණි ධීවරයන්ගේ මතක අතර තිබේ. අතීතයේදී ධීවරයන් පස් හයදෙනා යන විසල් ඔරු දකුණු වෙරළේ තිබිණි. ඒවා රැගෙන මඩකලපුව යෑම දකුණේ ධීවරයන්ගේ පුරුද්දක් විය. මෙලෙස මඩකලපු ඔරුවේ ගිය බලපිටිය ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් වූහ. ඔවුන් ඔරුවේ යනවිට පොල් මුලක් පමණ ප්‍රමාණයේ අම්බර තලියක් හමුවිය.

එකල අම්බර පිළිබඳව දැන සිටියේ ස්වල්ප දෙනෙකි. දන්නා අය ඒ පිළිබඳ තතු හොඳ හැටි දැන සිටියෝය. මෙම ඔරුවේද අම්බර පිළිබඳ දන්නා අයෙක් සිටියේය. ඔහු ඔරුවේ තණ්ඩලේට මෙය රැගෙන යායුතු බව කීවේය. එහෙත් සෙස්සෝ එය කනට ගත්තේ නැත. මෙය රැගෙන නොයන්නේ නම් තමන් දියට පැන මැරෙන බව ඔහු පවසා තිබේ. අවසානයේ කෙසේ හෝ ඔහු එය ගොඩට ගෙන ඒමට ඔහුට හැකි වී තිබේ. අම්බර පිළිබඳ දැන සිටි මේ මිනිසා එය විකුණා පෝසතෙක් විය. පසු කලෙක අම්බර මුදලාලි නමින් හැඳින්වූ හෙතෙම බෝට්ටු ලොරි ආදිය තිබුණු දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත්විය.

මෙම කතාව කලක පටන් ධීවර ප්‍රජාව අතරේ තිබෙන කතාවකි. එවන් කතාවල මෙන් අදද අම්බර හමුවී ධනවත් වූ ධීවර වෙළඳ ව්‍යාපාරිකයන් සොයාගත හැකිය. නමුත් ඔවුන්ට තමන්ගේ කතාව රටට නොකියන්නටද හේතු තිබේ. මුහුදේ පාවෙන සෑම දෙයකම අයිතිය ඇත්තේ රජයටය. එම නිසා යම් විටෙක අම්බර හසුවුවහොත් ඒවා රාජසන්තක වෙයි. මීට කදිම උදාහරණයක් තිබේ. 2016 වසරේදී රුපියල් කෝටි 37ක් පමණ වටිනා අම්බර කිලෝ 33ක් “පොඩි පුතා” නම් ධීවර යාත්‍රාවකට හමුවී තිබේ. එය පසුව නාවික හමුදාව භාරයට ගැනුණු අතර ධීවරයන් අයිතිය ඉල්ලා නඩු දැමූ නමුත් අවසානයේ අම්බර රාජසන්තක විය.

අම්බර පිළිබඳ කතාවට සමවැදී උන් ඔබට දැන් නියත වශයෙන්ම කුහුලක් ඇතිවිය යුතුය. තල්මස් වමනය හෙවත් අම්බර මෙතරම් වටින්නේ ඇයි? ලොව මිල අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනවලට අම්බර භාවිතා කරයි. එහිදී සිදුකරන්නේ තවත් රසායන ද්‍රව්‍ය හා මුසුකර ස්ථාවර ගන්ධය ඇතිකර ගැනීමය. මේ සඳහා වන පදම් කිරීම කාලයක් සිදුකළ යුතු බව කියැවේ. මෙම විලවුන් පිළිබඳ ඉතිහාසය පුරාතන ඊජිප්තුව දක්වා දිවයන බව කියැවේ. රජුන් රාජිණියන් පවා මේවා භාවිත කර තිබේ. අතීතයේ අම්බර පිළිබඳ පුරාවෘත ද තිබේ. තල්මසුන් පිළිබඳ වන මොබිඩික් වැනි පුරාවෘත ඇතැම්විට ඔබ ආසා තිබිය හැකිය.

දකුණේ ධීවරයන් පවසන අන්දමට අම්බරවලින් සාදන සුවඳ විලවුන්වල සුගන්ධය එම රෙදිපිළි සේදුවද නොයයි. එමෙන්ම අරාබි ජාතිකයන් මීට විශේෂ කැමැත්තක් දක්වන බව ඔවුහු කියති. ධීවර ප්‍රජාව තුළ වන තවත් මතයක් නම් අරාබි ජාතිකයන් අම්බර ආහාරයට ගන්නා බවයි. කෙසෙල් ගෙඩියක දමා අම්බර ආහාරයට ගන්නා බවත් ඒ හරහා භාර්යාවන් රාශියක් තබාගෙන සිටින අරාබි ජාතිකයන්ට ශක්තිය හා දීර්ඝායුෂ ලැබෙන බවත් විශ්වාස කෙරේ.

මහ සයුරේ අම්බර පාවී එන්නේ දිය මතුපිටට හොඳින් පෙනෙන සේ නොවේ. එය රළට සමාන්තරව පාවෙයි. ඒ නිසා එය දකින්නට නම් නියත වශයෙන් වාසනාව තිබිය යුතුය. ධීවරයන් පවසන අන්දමට වාසනාව ඇත්තේ නම් අම්බර පාවී එන්නේ තමන්ගේ ඉදිරියටමය. තවත් අම්බර ලැබෙන ක්‍රමයක් වෙයි. ඒ පිළිබඳවද අප සඳහන් කළ යුතුය.

මහ මුහදේ යත්‍රාකරන ධීවරයන්ට මැරුණු තල්මසුන්ගේ සිරුරු හමුවෙයි. එක එල්ලේ දක්නට නොලැබුණහොත් තල්මස් සිරුරෙන් හමන දුර්ගන්ධය පසුපස ගොස් ඔවුහු ඒවා සොයා ගනිති. පසුව දියට බැස මෙම මෙම සිරුර කපනු ලබයි. අඩි තිහ හතළිහේ තල්මසුන් හමුවන අවස්ථාද තිබේ. එසේ සිරුර පළන විට බඩේ යට කොටසේ ඇතැම්විට අම්බර තැන්පත් වී තිබේ. එවිට ධීවරයන්ගේ වාසනාව පෑදේ. කෙසේ නමුත් මෙසේ අම්බර හමුවීම ඉතා විරල සංසිද්ධියකි.

පසුගිය කාලයේ අම්බර හමුවීම පිළිබඳ ලොව ප්‍රකට සිදුවීම් දෙකකි. බ්‍රිතාන්‍ය ජාතික කෙන් වයිල්මන් නම් තැනැත්තෙකුට ඔහුගේ සුරතලා වූ බොක්සර් වර්ගයේ සුනඛයකු විසින් වාසනාව සොයා දී තිබේ. ඒ ප්‍රකට ලැන්කෂයර් මුහුදු වෙරළේ දීය. වෙරළකරයට ගොඩගසා වැළලී තිබුණු අම්බර සුනඛයා විසින් වළක් හාරා සොයාගෙන ඇති අතර පසුව මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා කළ සොයා බැලීමේදී ඒ ඇම්බග්‍රීස් බව ඔහු දැනගෙන ඇත. අවසානයේ එය ඔහු විසින් යූරෝ පනස්දහසකට පමණ කිලෝ තුනක් පමණ බරුති මෙම අම්බර විකුණා තිබේ. ඒ ප්‍රංශ ජාතික ගැනුම්කරුවකුටය. ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි යුවළකටද කිලෝ 13ක පමණ අම්බර කුට්ටියක් හමුව තිබේ. එහි වටිනාකම ඩොලර් ලක්ෂ තුනක් පමණ වී තිබේ. මේ සියල්ල විදෙස් මාධ්‍ය වාර්තා අතර වෙයි.

මේ අනුව කියැවෙන්නේ හොඳ වර්ගයේ අම්බර කිලෝවක් රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා බවය. හොඳ අම්බරවල දැල්ලාගේ හොට වැනි කොටස් තිබෙන බව අම්බර දෑසින් දුටු ධීවරයෝ කියති. අද වනවිට බෝට්ටුවලට අම්බර හමුවූ විට ඇතැම් ධීවරයෝ හොර රහසේම ඒවා අලෙවි කරති. සමහරු ඉන් කොටසක් බෝට්ටු අයිතිකරුට දෙති. එහිදී තුනෙන් එකක් අයිතිකරුටත් ඉතිරි තුනෙන් දෙක ධීවරයන් අතරත් බෙදී යයි. කෙසේ නමුත් සියලු ගනුදෙනු සිදුවන්නේ හොර රහසේය. කොළඹ මේ සඳහා බයර්ස්ලා සිටින බවද ධීවරයෝ කියති.

අම්බර පිළිබඳ කතාව හා බැඳෙන තවත් තතු විත්ති බොහෝමය. රහස් කතාද තිබේ. ඒ සියල්ල මෙහි සටහන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. අම්බර නම් සප්ත මහා සාගරයේ පාවෙන රත්රන්ය. ඒවායේ උරුමය වාසනාව මත රැඳෙන බව දැන් ඔබට පැහැදිලිය. ඇතැම් විට මැණික් ගලේ පය හැපුණද කනා නොදකින පරිද්දෙන් වෙරළේදී මහ මුහුදේදී අම්බර දැක එය හඳුනා නොගත් අවාසනාවන්තයන් අතර අපද සිටිය හැක.

I චමිඳු නිසල් ද සිල්වා
 විශේෂ ස්තූතිය: ජයමුණි ලැම්බට් සිල්වා මහතා

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00