2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

බස් හෝල්ට් එකේ සිනමා හලේ ඉස්තිර ආලේ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 266

ආදරය නැමැති හැඟීම මිනිස් සිතේ හටගන්නා ආකාරය කාලයෙන් කාලයට වෙනස් වේදෝයි හරියටම කිව නොහැකිය. පිරිමියා සහ ගැහැනිය අතර හටගන්නා ලිංගිකත්වය පදනම් කරගත් ආදරය ගැනද කිව හැක්කේ ඒ දේමය. එහෙත් එම ආදරයට පසුබිම්වන සමාජ වාතාවරණය හා විශේෂයෙන් සමාජ තහංචි ආදිය, ආර්ථික හා දේශපාලනමය සාධක ආදිය කලින් කලට වෙනස් වන නිසා ඊට අනුරූපව සිත්වල හටගන්නා ආදරය නිසා ගැහැනු පිරිමි හැසිරෙන ආකාරය ද කලින් කලට වෙනස් වෙයි. ඒ අනුව ආදරයට අදාළ සංසිද්ධි ඊට අදාළ කතා පුවත් ආදිය ද කාලයෙන් කාලයට වෙනස් වෙයි.

වර්තමානයේ සිට අප දන්නා අතීතයක පෙම් සබඳතා, පෙම් හබ ආදිය නැවත මතක් කර ගැනීමේදී විවිධ දේ සිතට නැගේ. එකල අප කෙතරම් මෝඩ දැයි වරෙක සිතේ. එකල ජනයා කෙතරම් අව්‍යාජදැයි විමසන්නට වරෙක සිතේ. ආදරය සම්බන්ධව ඒ ඒ කාලවල පැවති කතිකා, ගීත, කතා ආදිය ඒ ඒ කාලවල ආදර සම්බන්ධතාවලටත්, ඒවාට ආදාළ ආදරණීය සංවාදවලටත්, ආදරයේ නාමයෙන් හුවමාරු කරගත් තුටු පඬුරැවලටත් බලපෑ බව පෙනේ. 

නවසිය තිස් ගණන්වල බිහිවූ මිනර්වා නාටකවල ආභාෂය ලැබූ මුල්කාලීන සිංහල චිත්‍රපට ගීතවල කීවේ ''ඉස්තිර ආලය'' ගැනයි. ඇතැම් චිත්‍රපට සංවාදවලද එක් අයෙක් අනෙකාගෙන් ''ආලය ඉස්තිර'' දැයි විටෙක අසයි. මෑතකදී සරසවි ශිෂ්‍යයෙක් ආලය ඉස්තිර දැයි ශිෂ්‍යාවකගෙන් විහිලුවට විමසූ විට ඇය වරුවක් පමණ සිනාසුණාය. ඉස්තිර ආලය ගැන පැරණි ගීතවල ඒ තරමට කීවේ ඉස්තිර නොවන ආලයකුත් ඒ දවස්වල තිබුණු නිසාය. ඉස්තිරව ආලය නොකරන ''චපල'' අය ගැනද පැරැණි චිත්‍රපට දෙබස්වල කියැවේ. චපල නොවන ආදරයට ඒ කාලයේ පටන්ම රෝමියෝ - ජුලියට් ප්‍රේමය ආදර්ශයට ගැනුණි. ෂේක්ස්පියර්ගේ රෝමියෝ - ජුලියට් නාට්‍යයේ ජුලියට් හට වයස අවුරුදු 14කි. රෝමියෝට අවුරුදු 17කි. අද අපේ රටේ නම් අඩු තරමින් O/Lවත් පාස් නැති වයසය.

ඒ කාලයේ (ෂේක්ස්පියර්ගේ නාට්‍යයේ) ජුලියට් හා රෝමියෝට ආදරය තහනම් වූයේ ඔවුන් පැඟිරි වයසේ සිටි නිසා නොවේ. ජුලියට් කැපියුලට් වංශයටත්, රෝමියෝ මොන්ටේගු වංශයටත් අයත් වූ නිසාය. අතීත ඉතාලියේ උන් බව නාට්‍යයේ කියන එම වංශ දෙක එකිනෙකා ජම්මාන්තර වෛරයෙන් පසුවූහ. රොමියෝ - ජුලියට්ලාගේ වයස අපේ රටේ සාමාන්‍ය පෙළ පන්තියේ වයසවත් තරමේ නොවූ නිසා අපි පාසල් යන කාලයේත් ඒ වයසේ ආදරය තහනම් ආදරයක් වූයේය.

නැණ හිරු රැස් වැටෙන තුරු
සඳලතා එපා ආදර බඹරු

ලූෂන් බුලත්සිංහල එසේ අවවාද කිරීම කොහෙත්ම අසාධාරණ නැත.

අපේ කාලයේත් ඊට පෙරත් පාසල් ආදරයට සමාජ හා වැඩිහිටි තහංචි තිබුණත් පොදු ජනයා අතර ජනප්‍රිය ආදර කතාවලින් එකක් වූයේ ගොළු හදවත කතාවයි. එහි ඇත්තේද පාසල් ප්‍රේමයකි. හැට ගණන්වල ප්‍රේමවන්තයන්ගේ වින්දනීය නවකතාව වූයේ ගොළු හදවතයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කරුණාසේන ජයලත්ගේ එම නවකතාව ආශ්‍රයෙන් අධ්‍යක්ෂණය කළ ගොළු හදවත චිත්‍රපටය ද ජනප්‍රිය වූයේය. නවකතාව කෙතරම් ජනප්‍රියද කිවහොත් එම කතාව පාදක කරගෙන කරුණාසේන ජයලත්ම රචනා කළ “නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා.'' ගීතය ද අතිශ්‍ය ජනප්‍රිය වූයේය. එය චිත්‍රපටයේ ගීතයක් නොවේ. මේ සියල්ලටත් වඩා ප්‍රේමසිරි කේමදාසයන් ගොළු හදවතට නිර්මාණය කළ එම චිත්‍රපටයේ තේමා වාදනය ද ශ්‍රාවක සිත් සතන් පැහැර ගත්තේය.

පාසල් යන කාලයේ අප අතර ප්‍රේමවන්තයෝ දෙවර්ගයක් උන්නෝය. එක් වර්ගයකට SPBR (සත්‍ය ප්‍රේමෙ භෘංග රාජයා) යයි නම් තබා තිබුණේ අපේ පරම්පරාවටත් කලින් සිටි යෞව්වනයන්ය. අනෙක් වර්ගය ටෙම්ප්‍ රි භෘංග රාජයන්ය. පළමු වර්ගයේ උන් රොන් ගත්තේ එකම මලකිනි. ඔවුහු මුලින් කී ''ඉස්තිර ආලය'' කළ ප්‍රේමවන්තයෝය. දෙවැනි වර්ගය මලින් මලට පියාඹමින් රොන් ගත් උන්ය. මේ දෙවර්ගයේම බඹරුන්ට ලියුම් ලියා දෙන රසවෑහෙන පැණි වෑහෙන පෙම් වදන් ලියන්නට සමත් ලේඛකයෝ එකම පන්තියේ උන්හ.

අමිශ්‍ර පාසල්වල සිටි යෞව්වනයන්ට තම ප්‍රියාවියන් මුණගැසෙන්නට දහසකුත් බාධා තිබිණි. අද මෙන් එකල උපකාරක පන්ති නොතිබුණු නිසා කෙල්ලන් දකින්නට ලැබුණේ පාසල් අහවර වූ පසු බස් නැවතුම් පොළේය. ''සුදු පරවි රෑන සේ පියා සලා යොවුන් කුමරියන් පෙළින් පෙළට'' බස් නැවතුම් පොළට එද්දී තමන්ගේ පරවි ධේනුව දුර තියා හඳුනාගන්නට ප්‍රේමවන්තයාට හැකි වූයේ ප්‍රියාවියගේ ගමන් විලාසය ද දිවා රෑ සිහිකරගෙන මතක තබාගත් බැවිනි.

ප්‍රේමයෙන් පැරදුණු පාසල් ප්‍රේමවන්තයා තමාට ලියුම් ලියා දුන් එකාටත් වඩා නිර්මාණශීලී කවියෙක් වෙයි. නිරායාසයෙන් සිතට නැගෙන විරහ වේදනාවෙන් පිරිපුන් සිතුවිලි ප්‍රේමවන්තයා ලියන්නට ගන්නේ වෙන කරන්නට දෙයක් නොතිබූ නිසා වන්නට පිළිවන. පැරදුණු ප්‍රේමය නිසා ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ඒ කාලයේ ඔට්ටු නැත. එසේ කළහොත් ඔහු මිතුරන්ගේ අවමානයට ලක්වෙයි. ලැබුණු බූට්එක කාගෙන කවි හෝ ගීත කුරුටු ගෑම ඊට වඩා හොඳ විය. තමන්ගේ සිතැඟි ලියන්නට බොහෝ රචකයින් උනන්දු වූයේ විරහ වේදනාව නිසාය. පැරදුණු නිසාය. ජයග්‍රහණ තුළින් නිර්මාණ බිහිවූයේ කලාතුරකිනි.

පාසල් ප්‍රේමවන්තයන්ට කාන්තා පාසල්වල පැවති ප්‍රදර්ශන වැනි උත්සව මහත් සම්පතක් විය. එවිට ප්‍රියාවියගේ පාසලට ඇතුළුවන්නටත් පාසල තුළදීම ඇයව දැක ගන්නටත් හැකි වූයේය. පාසල් නිල ඇඳුමින් තොරව ලස්සන ඇඳුමකින් සැරසී ප්‍රදර්ශන භූමියට පැමිණෙන තම ප්‍රියාවියගේ සුන්දරත්වය ප්‍රේමවන්තයාට සති ගාණක් කතා කළහැකි මාතෘකාවක් විය. ඒ එක්කම තරමක් ළංවී අයිස්ක්‍රීම් එකක රස බැලිය හැකිවිය. අප දැනහැඳින සිටි බොහෝ ප්‍රේමවන්තයෝ කෙල්ලගේ පාසලේ උත්සව දින ළංවන තුරු ඇඟිලි ගැන්නෝය.

ඒ කාලයේ පාසල් ගිය පෙම්වතියෝ ගෙදරට අසුවූ විට බෙහෙවින් තරවටු ලැබූහ. ''කපලා ගඟේ මූදේ දාන'' බව ඇතැම් වැඩිහිටියෝ කීහ. අපටත් ඉස්සර කාලයේ පාසල් ගමන නවත්වන්නට ලියුමක් අසුවීමම සෑහේය. ගෙදරට ප්‍රේමය හසුවුණු ශිෂ්‍යාව ඇතැම් විට ටික දවසකට නෑ ගෙදරකට පිටත්කොට යවනු ලැබුවාය. ඒ කාලය තුළ ප්‍රේමවන්තයන්ට සිද්ධ වූයේ කාලිදාසලා මෙන් වළාකුළු අතේ, මඳ නළ අතේ ප්‍රේම පණිවිඩය යවන්නටය. එවැනි විටක ප්‍රේමවන්තියන් ඉන්නා තැන සොයා ගත්තේ අසීරුවෙනි. එහෙත් ඒ තරවටු වැඩිහිටියන්ට දැන් කරන්නට නොහැකිය. අත ඇති ජංගම දුරකතනයේ KOHEDA (කොහේද) කියන APPඑකෙන් ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සිටන තැන සොයාගත හැකිවේ. ජංගම දුරකතනය ගෙදරට අසුවෙන්නට කලින්ම එහි එහි ''සිම්පත'' ගලවා ගන්නට කෙල්ල දනී.

පාසල් යන වයසේ කොලු කෙල්ලන්ට ඒ කාලයේ තෑගි ගන්නට වැඩි වත්කමක් නොතිබුණු නිසා තෑගි ලෙස හුවමාරු වූයේ සුළු සුළු තුටු පඬුරුය. කාලයක් ලේසියටත්, පහසුවටත් දුන්නේ ලේන්සුය. ගෙදරට හොරෙන් ලේන්සු අරන්තියා ගැනීම ද පහසුය. එහෙත් ලේන්සු තෑගි දුන්විට ප්‍රේම සම්බන්ධය බිඳේ යයි, (හැම පාසල් ප්‍රේම සම්බන්ධයක්ම පාහේ බිඳී ගියත්) දුර්මතයක් පැතිර ගිය බැවින් ටික කලක් යනවිට ලේන්සු තෑගි ලෙස නොදී ඇරියේය. ලේන්සු තෑගි දුන්විට අඬන්නට සිදුවෙන බවත්, එවිට කඳුළු පිසින්නට වෙන්නේ තෑගි ලැබුණු ලේන්සුවෙන් බවත් බොළඳ ප්‍රේමවන්තයෝ විශ්වාස කළහ. (ලේන්සුවෙන් හොටු පිසදා ගන්නට සිද්ධ වීම ගැන වැඩි කතාවක් නොගියේ එයින් අවලස්සන චිත්ත රූපයක් මැවෙන නිසාය.) දැන් කාලයේ නම් එජන්තවරුන් අතේ මල් කළඹ යැවීම ද කරති. පෙම්වතියගේ උපන් දින, විභාග ජය ආදියට පමණක් නොව අසනීප වූ විට පවා මල් කළඹ යැවීම මෑතක වන තුරුම සිදුවිය. 

පාසල් සමය නිමාවීමෙන් පසු පෙම්වත්තු පෙරට වඩා යම් නිදහසක් ලැබුවෝය. පාසලෙන් අස්වූ ගමන්ම රැකියා සොයාගන්නට තිබුණේ නැත. චිත්‍රපටයක් බලන්නට ඒ වනවිට නිදහස තිබුණත් රැකියාවක් නැති නිසා පළමු පන්තියේ රුපියල් 2.50 සිනමා ප්‍රවේශපත්‍රය ගන්නට මුදල් සොයාගත්තේ අමාරුවෙනි. දෙවැනි පන්තියේ ටිකට්පත රුපියල් 1.25ක් වුවද කෙල්ලක සමඟ දෙවැනි පන්තියේ හිඳගෙන චිත්‍රපට බැලීම හිතට හරි නැත. ODC ප්‍රවේශපත්‍රය රු. 3.25කි. චිත්‍රපටයේ කතාවෙන් ප්‍රේමවන්තයන්සේ හමුවීමට වැඩි වැඩක් නැති නිසා ඇතැම් අය බාසාව නොතේරෙන දෙමළ චිත්‍රපට බැලූහ. දෙතුන් වතාව එකම චිත්‍රපටය බැලුවත් එහි කතාව නොදත් ප්‍රේමවන්තයෝ සිටියහ.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ සමීපයේ නිවාසවල බෝඩිං වී සිටි පෙම්වතුන්ට නම් තරමක නිදහසක් තිබුණේය. බෝඩිංකාරයන්ගේ ආදර සම්බන්ධතා පිළිබඳව ඒ කාලයේ නවකතාවලද විස්තර කෙරිණි. අක්කර පහ නවකතාව ඉන් එකකි. නිවසේ අය ගමනක් යන විටදී බෝඩිං ඇන්ටිගේ දියණිය බොරු හිසරුදාවක් ගෙන ගෙදර නවතී. එවිට බෝඩිංකාරයන්ටත් බෝඩිමේ ඇන්ටිගේ දියණියටත් ප්‍රේම කිරීමේ නිදහස හිමිවේ. යථාර්ථයේ පැවතියේ ද එයමය. එවැනි බෝඩිංකාර යෝ පසු කාලයේදී බෝඩිං ඇන්ටිලාගේ දූවරු කසාද බැන්දෝය. අවසර නොදෙන ගානට උල්පන්දම් දෙන්නටත් බෝඩිංකාරයාට මඟහරින්නට නොදෙන්නටත් ඇතැම් බෝඩිම් ඇන්ටිලාගේ සටකපට භාවය ප්‍රමාණවත් වූයේය.

අද දවසේ නම් තරුණ තරුණියන්ට නිදහසේ හමුවී කතාබහ කරන්නට අපේ කාලයේ තරම් සීමා බන්ධන නැති සෙයක් පෙනේ. අලුත් වැඩිහිටි පරම්පරාව සහ දූ දරුවන් අතර ඒ අතින් නම් ඉස්සරට වඩා යම් වටහා ගැනීමක් ඇති බවද පෙනේ. නව යොවුන් තරුණ තරුණියෝ MCඑකේ, ආකේඩ් එකේ (Arcade) නිදහසේ සතුට බුක්ති විඳිති. ඔවුන්ගේ සිනා හඬත්, සල්ලාපයේ හඬත් ඒ ඒ තැන්වලට ජීවි ගතියක් එක්කරයි. අපේ කාලයේ පෙම්වතුන්ට, මුහුදු වෙරළ ගානේ, උයන් ගානේ තුරුල්ව ඉන්නට සිදුවූයේ එම නිදහස නොතිබූ නිසාය ''කුඩ ලව්'' කියා හැඳින්වූ වර්ගයක් ඒ කාලයේ තිබිණි. වැල්ලවත්ත, බම්බලපිටිය පැත්තේ දුම්රියෙන් යන අයට රේල් පාර අයිනේ මුහුදු වෙරළ කිට්ටුව පාට පාට කුඩ රාශියක් පෙනෙන්නට තිබුණේය.

පෙම්වතුන් උන්නේ කුඩාවලට මුවාවෙලාය. පෙම්වතුන්ගේ නිදහස සීමාවී තිබීම ගැනත් ඔවුනට උයන්වල නිදහසේ රැඳී ඉන්නට ඉඩදිය යුතු බවටත් පසුකාලීනව පාර්ලිමේන්තුවේද කතාබහ ඇතිවිය. පෞද්ගලික නිදහසට බාධා කරමින් පෙම්වතුන් ජීප් රථවලට පටවාගත් බව පෙන්වන ඡායාරූප මෑත කාලයේ මුහුණු පොතේ පළකරන්නට තරුණ තරුණියන් එඩිතර වූයේ තම පෞද්ගලික නිදහස ගැන තරුණ - තරුණියන් දැනසිටි නිසාය.

තරුණ වයසේදී එකිනෙකා මුණගැසී දැන අඳුනාගන්නට දැන් අවකාශ තිබීම වඩා හොඳ සාධකයකි. බටහිර රටවල මෙන් සමාජශාලාවල එකිනෙකා හඳුනාගෙන කතාබහ කිරීමේ පිළිවෙතක් අප රටේ නැත. පාසලෙන් ඉවත් වී ගෙදර තනිවූ තරුණියන්ට නිදහසේ සම වයසේ පිරිමින් ඇසුරු කරන්නට අවකාශයක් පසුගිය දශකවල තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ දැඩි සීමා පැනවීම් යටතේ පාසල් වයසේ උන් තරුණියෝ විවාහ වයස ඉක්මවා ගෙවල්වල තනිවීමයි. රටේ විවාහ වන වයස ඉක්මවා තරුණියක් කෙතරම් ගෙදර තනිවී සිටින්නේ දැයි අයෙකුට පුවත්පතක මංගල යෝජනා පිටුවකින් දැනගත හැකිය.

නිදහසේ ඉන්නට තිබුණු බාධා උසුලාගත නොහැකිව රෝමියෝ - ජුලියට්ලා මෙන් දිවිනසා ගත් ජෝඩු ගැනත් ඒ කාලයේ අසන්නට ලැබුණේය. එක් යුවලක් හොර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පහළට (1973 පමණ) පැන සිය පණ නසා ගත්තෝය. කෙසේ වුවත් මහැදුරු සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයේ කීවේ අදටත් එදාටත් පොදු දහමකි.

ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කළ නීතියෙන්
නැත ලොවේ අන් රසඳුන
ආදරේ සේ සුව දෙනා 
ඒ ගැනද සිතට වැඩි බරක් නොගෙන ආදරය දෙස බැලූ ශිෂ්‍යයෝ වරක එම ගී පද තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගත්හ.
නැත ලොවේ අන් ඩ්‍රිස්ප්‍රිනා
පැනඩෝල් සේ සුවදෙනා 
ඒ හිතේ ඇම්මට නොව
හිසේ ඇම්මටයි.

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00