2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

කළුබොක්ක වරායේ වාරකන් ඔරුව

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 484

රළ ගෙඩි පරයා සුළඟින් සවිගෙන දියඹට ඇදෙනා රුවල් ඔරුවේ කතාව ගලපාගන්නට සිත්විය. අතීත මාවත ඔස්සේ අපි පියමැන ගියෙමු. එකදහස් නවසිය පනස් ගණන්වල බටහිර වෙරළකරයේ ගම්මානයක අපි නතර වීමු. පෙර අප ලිවූ බොහෝ කතාවන්ට පාදක වූයේද මේ ගම්මානයේ අතීත පුවත්ය. සුප්‍රකට බේරුවලත් දකුණුලක බෙන්තොටත් අතරමැද මෙම ගම පිහිටියේය. මේ ඒ ගමෙහි වෙරළ ඇසුරේ වූ රුවල් දැමූ වාරකන් ඔරු පිළිබඳ කතාවයි.

අද මොරගල්ල ගම්මානයේ  “බාබේරියන් රීප්” හෝටලය පිහිටා තිබෙන තැන එදවස හැඳින්වූයේ ‘කළුව බොක්ක වරාය’ නමිනි. අද නම් එහි ශේෂයක් හෝ නොවන තරම්ය. එදවස මෙහිවූයේ විසල් වාරකන් ඔරුය. ගම්මානයේ අති හැකි අයටත්, යමක් කමක් ඇති ධීරයෝත් මේ ඔරුවල හිමිකරුවන් වූහ. එම අතීත කතාව සොයායන්නට අපව සවියක් වූයේ ගම්මානයේ ධීවර කර්මාන්තයේ අතීත පිළිබඳ තතුදත් ලැම්බට් සිල්වා මහතාය.

රුවල් බැඳි වාරකන් ඔරු තැනූ සැටි  කියවෙන අතීත පුවතට අප පළමුව ඉඩකඩ වෙන් කළෙමු. මෙකල ඔරු තැනීම සිදුකළේ ඔරු හිමියන්ගේ නිවසේ හෝ ඔරු බාසුන්නැහේගේ නිවසේය. මේ වකවානුවේ ගම්මානයේ ඔරු තැනීම සම්බන්ධ ප්‍රකටව සිටියේ බණ්ඩරවත්තේ පීතර බාස්ය. හේ ඇතැම්විට ඔරු හිමි ධීවරයන්ගේ නිවසටම පැමිණ ඔරු තැනීම සිදුකළේය. මෙය සුළුපටු කාර්යයක් නොවූ බව මේ කතාව අවසානයේ ඔබට වැටහෙනු ඇත.

වාරකන් ඔරුවක් දිගින් රියන් දහඅටක් විස්සක් පමණ විය. ඒ අනුව අඩි විසිහතක් තිහක් පමණ විසල් වූ මෙම ඔරු තැනීමට භාවිතා කළේ දෙල් සහ කිරළ ගස්වල කඳන්ය. දෑත බැදීමට නොහැකි තරම් විසල් වටඅඩි පහ හයක දෙල්, කිරළ කඳන් ඔරු තැනීම වෙනුවෙන් ඉතා සුළු මුදලකට මිලදී ගැනීමට එකල හැකිවූයේය. පස් හය දෙනෙක් ගමන් කරන වාරකන් ඔරු සමබර ලෙස මනා නිමාවක් සහිතව තැනිය යුතු විය.
කොල්ලෑව තැනීමට භාවිතා කළේ ලුණුමිදෙල්ලා ලීය ය. වියල් සෑදුවේ දොඹ ලීයෙනි. වියල් යනු ඔරුව සමබර කරන කොල්ලෑව හා ඔරු කඳ යා කෙරෙන වක් අත්ත මෙන් නැමුණු ලීය. වියල්වල සවි ශක්තිය ඔරු ගමනේදී අතිශය වැදගත් විය. එම නිසාම වියල් කැඩී ගියද ශක්තිය රඳා පැවතීම වෙනුවෙන් වැරණිය කෝටු තබා වෙලීම සිදු කළේය. පීතර බාස් තැනූ ඔරු පිළිබඳ මතකය තවමත් ගම්මානයේ පැරුන්නන් සතුව තිබේ. අප මේ ඇවිද යන්නේ ඒ මතක අතරිණි.

ඔරු කඳ  හෑරීම සිදුකළේ බොකු හැඩයේ වෑයකිනි. පසුව ඔරුවට පත්තාර බැඳීම සිදුකළ යුතු විය. ඒ සඳහා භාවිත කළේ අඟල් බාගේ දෙල් ලීයකි. ඔරු කඳේ දෙපසට පත්තාර බඳින්නේ එහි උස වැඩිවෙන පරිදිය. එය ඉතා පරිස්සමට සිදුකළ යුතු රාජකාරියකි. පත්තාර බැඳීමෙන් අනතුරුව වියල් බැඳ කොල්ලෑවද සවිකිරීම සිදුවිය. රුවල් බැඳීමට අවශ්‍යවන පරිදි ලී දෙකක් සවිකළ යුතු විය. එය රැඳවීමට වංගෙඩියක් වැනි කො‍ටසක්ද ඔරුවේ තැනීම සිදුවිය.

ඔරු කඳ සාදා නිමවුවද තව බොහෝ රාජකාරි ඉටුකළ යුතු විය. වාරකන් ඔරුවේ රුවල් සෑදීමද අපූරු කටයුත්තකි. රුවල් මැසීම සිදුකරනු ලැබුවේ අමු රෙදිවලින්ය. එහෙත් මෙම අමු රෙද්ද සුළං දරා සිටීමට තරම් සවිමත් විය යුතුමය. ඊට අතීත ධීවරයෝ උපායක් දැන සිටියහ. ඒ අනුව ඔවුහු කඩොල් පොතු, සූරිය පොතු, මූණමල් පොතු එකට දමා හොඳින් තැම්බීම සිදුකළෝය. පසුව රුවල් තනන අමු රෙද්ද මෙහි පොඟවා ගත්හ. එවිට අමු රෙද්ද බදාමයක් ගෑ පරිද්දෙන් ශක්තිමත් විය. කලක් යනතුරු රුවල සියලු සැඩසුළං දරාගෙන ඉරෙන්නේ දිරන්නේ නැතිව පැවතීමේ රහස මෙය විය.

රුවල පමණක් නොව මසුන් අස්වනු නෙළීම සඳහා අවැසි වූ යොත් ආදියද බිලී කොකුද මෙම වකවානුවේ ධීවර ජනයා නිර්මාණය කරගත්තෝය. හණ නූලෙන් යොත් ඇඹරීම සිදුකළ අතර ඒවායේ සවි ශක්තිය වැඩිකිරීමට රුවල් සඳහා භාවිත කෙරැණු තාක්ෂණයම භාවිත කළේය. ඒ අනුව කඩොල් පොතු, මූණමල් පොතු, සූරිය පොතු ඊටද යොදා ගැනුණි. ඕනෑම මාළුවෙක් ඇල්ලීමට තරම් මෙම යොත් ශක්තිමත් විය. වාරකන් ඔරුවේ මසුන් මැරූ හැටි කියවෙන කතාවේදී එය ඔබට පැහැදිලි වෙනු ඇත.

බිලී කටු සෑදීමට කළේ සුදු යකඩ කම්බිවලිනි. එක් පසකින් කණුකර හිටින සේ අනික් පසින් හිලක් තිබෙනසේත් ඉතා සූක්ෂමව බිලී කටු නිර්මාණය සිදුවිය. මාළුවෙක් රැවටීමට නම් විවිධ ඇමවල් භාවිත කළ යුතුවෙයි. අද වනවිට කෘත්‍රිම මාළුන්ගේ හැඩයේ ඇමවල් ධීවරයෝ භාවිත කරති. මෙකල ඒ වෙනුවෙන් අපූරු උපක්‍රමයක් භාවිත විය. පැරැන්නෝ ඇහැටු ගසේ පට්ට ගෙන වේලා ගත්හ. ඒවා වේලුණු පසු සුදු පැහැයෙන් යුක්ත වෙයි. පසුව එම පට්ට බිලී කටුවේ මාළුන් සේ පෙනෙන ලෙස රඳවා වලිගයක් ද කැපීම සිදුවේ. එම ඇම දියට දැමූ පසු ඕනෑම මාළුවෙක් මෙයට රැවටී පැරැණි ධීවරයන්ගේ මඩිය තර කළේය.

වාරකන් ඔරුවට දියත් කිරීම ඇවැසි කටයුතු සියල්ල කෙමෙන් කෙමෙන් නිමාවෙමින් තිබේ. පීතර බාස් තැනූ ඔරුව දැන් වෙරළට රැගෙන යායුතු වෙයි. එයද සුළුපටු කාර්යයක් නොවීය. අඩි විසි හතක තිහක මේ විසල් ඔරැව කර තබාන යා යුතුවෙයි. නැතිනම් කරත්තයකට තබා කෙළෙසක හෝ රැගෙන යා යුතුය. දිගින් පළලින් වාරකන් ඔරුව විසල් වී මුත් බරින් නම් එතරම් බරක් නොවීය. ඒ නිසාවෙන්ම වෙරළ සමීපයේ වූ ධීවර නිවසකින් ඔරුව වෙරළට රැගෙන ගියේ හරහාට පොලු දමා කර තබාගෙන ධීවරයන් විසින්මය.

අප කතාවට නිමිති වන අතීතයේ මොරගල්ල කළුව බොක්ක වෙරළේත් අවට වෙරළ තීරයේත් වාරකන් ඔරු සැලකිය යුතු සංඛ්‍යාවක් තිබිණි. ඔරුවක් දියත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. සත් සමුදුර ගැන මනාව දත් දක්ෂ තණ්ඩලේ කෙනෙක් හට ඔරුවේ වගකීම පැවරිය යුතු විය. මෙවන් ඔරුවක පස් හය දෙනෙක් ගමන් ගත් අතර ඔවුහුද කර්මාන්තයේ දක්ෂයෝ වූහ.

ඔරුව වෙරළට ගෙනා පසු එය දියත් කරන්න යම් සම්ප්‍රදායක් තිබේ. ඊට නැකතක් බැලීම සිදුවිය. කැවුම් කිරිබත් ඔරු හිමියාගේ නිවසේ ලක ලෑස්ති විය. ඒ සියල්ල වෙරළට රැගෙන එනු ලැබිණි. වෙරළේ වූ සෙසු ඔරැකරුවෝද ඔරු දියත් කිරීමේ සුභනැකත වෙනුවෙන් එකතු වූහ. සියල්ලෝ කැවුම් කිරිබත් කා නැකත් වෙනුවෙන් පෙළගැසෙති. ආගම දහමට ප්‍රමුඛත්වය දෙමින් අලුත් ඔරුව දියත් කරන්න දැන් සියලු කටයුතු සූදානම්ය.

►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: ජයමුණි ලැම්බට් සිල්වා මහතාට