වර්තමානය වනවිට ඉතා බහුල වශයෙන් වැඩිවන සමාජ පීඩාවක් වී ඇත්තේ පාරිසරික ශබ්ද දූෂණයයි. එමෙන්ම වර්තමානයේ සිදුවන ශබ්ද දූෂණය කෙරෙහි වැඩි ලෙස සැලකිලිමත්ව බැලිය යුතු බව පරිසරවේදීන් පවා පෙන්වා දී ඇත.
මෙරට තුළ සීඝ්‍රයෙන් ඉහළ යන වාහනවලින් නැගෙන ඝෝෂා හඬ මෙන්ම නලා හඬ මෙරට ශබ්ද දූෂණයේ මූලික සාධකයක් වන අතර ආගමික ස්ථානවලින් නැගෙනා හඬ මෙන්ම විවිධ විද්‍යුත් මගින් නැගෙන ඝෝෂාකාරී හඬ හේතුවෙන් ද පෙර වසර දහයකට පමණ වඩා මෙරට ශබ්ද දූෂණය වැඩි වී තිබේ.
මේ වනවිට අප රටෙහි වසර දහයකට පමණ පෙර තිබූ ඩෙසිබල් 64ක්ව පැවති ශබ්ද දූෂණය මේ වනවිට ඩෙසිබල් 72 දක්වා වැඩි වී ඇත. ශබ්ද දූෂණයට මඟ පාදන්නන්ගෙන් සියයට 90ක්ම බස් රථ හා නලා සහිත බර වාහන බව හෙළි වී තිබේ.
මෙම ශබ්ද දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් පසුගිය කාලයේදී නලා හඬ නැංවීමෙන් වැළකී සිටීමේ දිනයක් ද හඳුන්වා දුන් අතර ශබ්ද දූෂණය ළදරැවන්ට හා වැඩිහිටියන්ට අධි රැධිර පීඩනය ඇතුළු රෝගාබාධ රාශියකට හේතු විය හැකි බවද අවස්ථා ගණනකදී සෞඛ්‍ය අංශ පවා පෙන්වා දී තිබිණි.
හික්කඩුව සිට වැලිගම දක්වා ප්‍රදේශය ලංකාවේ වැඩිම ශබ්ද දූෂණය සිදුවන ප්‍රදේශය ලෙස හඳුනාගෙන තිබේ. එය වැළැක්වීම සඳහා ලබන සතිය තුළදී පොලීසිය හා නගර සභා සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරන බවද දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධව අප කළ විමසීමකදී දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
අද තියන බස්වල හෝන් එක ගහන්නේ හෝන් එකක් විදිහට නෙවෙයි. ඒක හරියට සින්දුවක් වගේ එක දිගට යනවා. එකක් කියලා නැහැ. සෑම පෞද්ගලික බස් රථයකටම වගේ පොදු තත්ත්වය ඕක තමයි. මේකට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දුන්නේ නැත්නම් ඒක ඉදිරියේදී දකුණට වගේම රටටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි ප්‍රථම කාරණාව විදිහට ලබන සතියේ සිට නගර සභාව සහ පොලීසිය එක්ව සියලු බස් රථ ධාවනය කරමින් තිබියදී යම් තෝරා ගත් ස්ථාන කිහිපයක නවත්වා පරික්ෂා කරනවා. ලබන සතියේ සිට අපි මෙම වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම හෝන් එහෙම නැත්නම් නළා හඬ වැඩි බස් නැතිනම් නළා හඬ සංගීතයක් ලෙස සකස් කර තිබේනම් පළමුව ඔවුන් දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. ඒ විදිහට එය නිවැරදි කිරීමට ඔවුන් පියවර නොගත්තොත් ඒ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ලෝකයේ තියන වැඩිම හෝන් ගහන රට ලංකාවයි. ඒ වගේම හික්කඩුව සිට වැලිගම දක්වා ඇති ප්‍රදේශය විශාල සංචාරක ආකර්ෂණයක් තිබෙන ප්‍රදේශයක්. බොහෝ පාසල් තියෙනවා. ඒ දරැවන්ට ඉගෙනීමටත් ලොකු බාධාවක් වෙලා තියෙනවා වාහනවලින් පිට කරන අධික නලා ශබ්දය. ඒ වගේම වෛද්‍ය අංශ පෙන්වා දෙනවා මෙය බොහෝ රෝගාබාධවලට මුල පුරනවා කියලා. ඒ නිසා මේ සම්බන්ධව හැකි ඉක්මනින්ම මෙය අවම කිරීමට අපි පියවර ගන්නවා.
මේ සම්බන්ධව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.
පසුගිය වසර දහයට සාපේක්ෂව බැලුවම මෙරට ශබ්ද දූෂණය ඩෙසිබල් 08කින් පමණ වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මෙරට වාහනවලින් මෙන්ම විද්‍යුත් තරංග මාලා ඔස්සේ මෙරට වාතලයට මුදා හරින අධික ශබ්දය කර්මීකරණය නාගරීකරණය මෙන්ම මේ නවීන සමාජ ක්‍රමයක් ශබ්ද දූෂණයට බලපානවා. අනිත් කාරණාව තමයි ලංකාවේ අධිකරණවල පාරිසරික නඩු අතර වැඩිම නඩු ප්‍රමාණයක් තියෙන්නේ මේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන්. මොකද මහජනතාවට පහසුවෙන්ම නඩු දාන්න පුළුවන් අවස්ථාව තමයි ශබ්ද දූෂණය කියන්නේ. නමුත් ඒවට දඩ නියම කිරීමක් සිදු වෙන්නේ නැහැ. තහනම් නියෝගයක් නිකුත් කර ශබ්දය අවම කරන්න පියවර ගන්න කියලා අණ කිරීමක් කරනවා.
මාර්ග ඝෝෂාව සම්බන්ධයෙන් වන නීති පිළිබඳ සලකා බලන විට එම නීති සම්පාදනය වී ඇත්තේ වාහන නලා ශබ්දය පාලනය කිරීමට පමණක් වන බවද බොහෝ පරිසරවේදීහු පවසති. කෙසේ වෙතත් රට පුරා තිබෙන මෙම ශබ්ද දූෂණය අවම කොට පරිසර දූෂණයෙන් තොර කලාපයක් ලෙස මඳක් හෝ මෙරට ඉහළට ඔසවා තැබීම අප කාගෙත් වගකීමකි.
සටහන - හසිත් අංජන