2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

යෞවන සාහිත්‍යෙයන් මතුවන්නේ කාඩ්බෝඩ් වීරයෝ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 284

- මහින්ද කුමාර දලුපොත

අප රටේ ප්‍රකට ජනශ්‍රැතිවේදියෙක් වන මහින්ද කුමාර දළුපොත ජනශ්‍රැති පර්යේෂණ පමණක් නොව නිර්මාණ සාහිත්‍යය කෙරෙහිද උනන්දුවක් දක්වන්නෙකි. ඔහු ලියූ එළාර රජ්ජුරැවන්ගේ මුව දඩයම යොවුන් නවකතාව පසුගිය වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ප්‍රශස්ත නවකතාවක් ලෙස ඇගැයීමට ලක්විය. ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන අලි ඩෝලේ වයඹ පළාතේ අලි මිනිස් ගැටුමට විසඳුමක් සොයන යොවුන් පිරිසක් තේමා කරගත් නිර්මාණයකි.

අලි මිනිස් ගැටුම වගේ දේශපාලන ප්‍රශ්නයක් යොවුන් කතාවට පදනම් කර ගැනීමට සිතුණේ ඇයි?

මෙය අපේ රටේ ප‍්‍රමුඛතම පරිසර ගැටුමයි. ඒක දේශපාලන ප්‍රශ්නයක් වුණත් දේශපාලකයන්ට ඒකට උත්තර නෑ. පරිසර හිතවාදීන් සතුව උත්තරයක් තිබුණත් එය යථාර්ථයක් වෙන්න දෙන්නේ නෑ. මා මෙයට උත්තර සොයමින් සිටින්නේ ජනශ‍්‍රැතියෙන්. සාම්ප‍්‍රදායික දැනුම යළි භාවිතයට ගන්නේ නම් ගැටුම අහෝසියි. එහෙම තොරතුරැ රුස්කරන අතර පරිසර හිතවාදී, මිනිස්-අලි ගැටුමට මැදි වී සිටින යෞවනයන් මේ දෙස බලන්නේ කොහොමද කියලා හිතුණා. ඒ සිතුවිල්ල නිමාවුණේ ‘අලිඩෝලේ’ යොවුන් නවකතාව ලියවිලා.

මට හිතෙන්නේ මෙය යොවුන් කතාවකට වඩා වෘතාන්ත නවකතාවකට සුදුසු තේමාවක් බවයි.

මිනිස් අලි ගැටුම සපුරාම දේශපාලනිකයි. ඒ යථාවන් ලියනවා නම් වෘතාන්ත නවකතාවක් වෙනවා තමයි. නමුත් මා කළේ යෞවන පරපුර අලින්ට වගේම වනපෙතට සතා සිව්පාවාට ඇලුම් කරන බව කීමයි. ඒ ඔස්සේ කතාව ඉදිරිපත් කිරීමයි. වෘතාන්ත තේමාව තාමත් මගේ හිතේ හොල්මන් කරනවා. ඒ තරමට මේ ගැටලුවේ පැතිමාන තියෙනවා අපට ලියන්න. අලිඩෝලේ කතාව ඇතුළේ ඔබට තවත් මෙහි විවිධ පැති වෙනස් ලෙස පෙනේවි.

ඇහැටුවැව පිහිටි වයඹ පළාතේ සම්ප්‍රදායික ජනවහර මුසු බසක් ඔබ භාවිත කර තිබෙනවා. ඒ ගැන කිව්වොත්?

අලිඩෝලේ කතාව ගෙතී තිබෙන්නේ ඇහැටුවැව සාම්ප‍්‍රදායික වැව් ගම්මානයක යෞවනයින් දොළොස් දෙනෙකු වටා. ඒ හින්දා ඔවුන්ගේ සිතිවිලි අවදිවන්නේ තමා දිවිගෙවන පරිසරයට අනුවයි. ඇහැටුවැවට අනන්‍ය වූ ජනවහරක් මෙහිදී යොදාගෙන තිබෙනවා.  ඒත් ඒ වහර කාටත් වටහාගන්න පහසු වේවි කියලා මා හිතනවා.

බොහෝ ලේඛකයන්ට විෂය නොවන තේමා ඔබ අල්ලා ගන්නා බවයි අපට පේන්නේ..?

හේතුව, ජනශ‍්‍රැතිය මගේ විෂය වීමයි. ජනශ‍්‍රැති ඇසුරැ කළොත් ඔබ මවිත වන තේමාවන් ඕනෑතරම් නිකම්ම මුණගැසෙයි. එවිට ඒකාකාරී සාම්ප‍්‍රදායික වට්ටෝරුවක හිරවී සිටිය යුතු නැහැ‍නේ.

ජී. බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, ජයසේන ජයකොඩි, ටි. බී. ඉලංගරත්න වැනි ලේඛකයන් පවා යොවුන් නවකතා රචනා කළා. අද බොහෝ ප්‍රවීණ නවකතාකරුවන් යොවුන් සාහිත්‍ය අමතක කර ඇති බව තමයි පේන්නේ. එය යොවුන් සාහිත්‍යය පුළුල් වීමට බාධාවක්ද?

සැබැවින්ම ඔව්, අත්දැකීම් මුහුකුරා යනවිට යෞවනයෙකුගේ ඇසින් ලෝකය දැකිය හැකිනම් සරැ යෞවන සාහිත්‍යයක් බිහිකරගත හැකියි. අත්දැකීම් වෘද්ධ ලේඛකයන් යෞවන සාහිත්‍ය අමතක කිරීම මෙරට යොවුන් සාහිත්‍ය යම් ප‍්‍රමාණයකට දුර්වල වීමක් ලෙසයි මට හැඟෙන්නේ.

සමහර ලේඛකයන් යොවුන් කෘති ලෙස ලියන්නේ යෞවනයන්ට හිතන්නවත් බැරි තේමා. ඒවාට සම්මානත් ලැබී තිබෙනවා. එය වැරදි පූර්වාදර්ශ සපයනවා නේද?

මෙයට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් මා දකිනවා. එකක් තවමත් අපේ ලේඛකයන් යෞවන සාහිත්‍යය දකින්නේ මඩොල්දූව ආකෘතියේ හිරවෙලා. ඒ කියන්නේ පොලීසියට, හමුදාවට තියා රටකටවත් පාලනය කළ නොහැකි තක්කඩීන් මෙල්ල කරන හුදු පපඩම් වීර චරිත මැවීමෙන්. අනෙක යථාර්ථය පසෙකට ලා වීරයා මතුවීම. ඒක අද දවසට ගැළපෙන්නේ නෑ. දෙවැන්න මේ පොත්වලට සම්මාන දෙන පොත් තෝරන කමිටුවල ඉන්නා සාමාජික පිරිස. ඔවුන් ඉන්නේ තාමත් අතීත යෞවන සාහිත්‍ය වීරයන්ගේ ලෝකයේ. අලුත් ප‍්‍රවණතා හඳුනන්නේ නෑ. මේ නිසා අපේ රටේ යෞවන සාහිත්‍යය එකම තැන පල්වෙන කුණුවළක් බවට පත් කරලයි තියෙන්නේ. 

අද ලෝකයේ යොවුන් සාහිත්‍යය බොහෝ ඉදිරියට ගිහින්. නමුත් අපේ බොහෝ යොවුන් කතාවල තවමත් වැඩිපුර ඉන්නේ කාඩ්බෝඩ් වීරයන් නේද?

හේතුව යෞවන සාහිත්‍යය යනු මේ යැයි කියා අප රට තුළ ගොඩනගා තිබෙන සාම්ප‍්‍රදායානුකූල වට්ටෝරැවක ලේඛකයන් හිරවී සිටීම. එයින් මිදෙන විට අහෝ සම්මාන හම්බවෙන්නේ නෑනෙ කියන සිතිවිල්ල. ලෝකයේ යෞවන සාහිත්‍යය පොත්වල  කතා කරන ලිංගිකත්වය වගේ තේමාවක් ලිව්වොත් හෙම කැති පොලු ඇන්න ඒවි. ඔන්න අපේ රටේ ඇත්ත. 

අපේ යොවුන් සාහිත්‍ය වර්ධනය සඳහා ඔබ සිතන්නේ කුමක් විය යුතු බවද?

බොරැ කාඩ්බෝඩ් වීරයන් වටා ලියැවෙන වට්ටෝරු අච්චු කතා වහා ඉවත් කළ යුතුයි. විස්තරාත්මක චින්තනයකින් අභියෝග හඹායන හා ඒවා යථාර්ථයක් ලෙස පොළොවේ පැළකරගත හැකි කතා පමණක් පාසැල් කියවීමේ පොත් ලෙස යෞවනයාට සමීප කරවිය යුතුයි.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00