2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

සිංහරාජේ ලොකුම හොරකම කළ සුද්දෝ පස්දෙනා

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

සිංහරාජ ලෝක උරුම වනාන්තරය දක්වා පවතින මාර්ගය කොන්ක්‍රීට් ඉන්ටර්ලොක් යොදා කළ අලුත්වැඩියාවක් ගැන පසුගිය කාලයේ මාධ්‍යවල ලොකුවට කතා කළේය. එම උණුසුම මැකී යාමටත් පෙර සිංහරාජයෙන් තවත් කැළඹුණු පුවතක් වාර්තා විය. ඒ එහි ලෝක උරුම රක්ෂිත කොටසෙන් එකතු කර පිට කිරීමට තැත් කළ සතුන් සහ ශාක වර්ග රුසක් සමඟ ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනකු වන සංරක්ෂණ නිලධාරීන්ට හසුවීමයි. මෙය අප රටේ රක්ෂිත වනාන්තරයකින් වාර්තා වූ විශාලම ජාන හොරකම ලෙස සැලකේ.

නිවර්තන වර්ෂා වනාන්තරවල ජීවත් වන දුලබ කෘමි වර්ග 234ක්, විවිධ වර්ග 50ක සමනලුන් 1000ක් සමඟ තවත් ශාක විශේෂවල කොටස් රැසක් ද සතුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණ තොගයක් ද සමඟ කලවාන කුඩව සිංහරාජ ප්‍රවේශය අසලදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් සන්තකයේ තිබී හැකරැල්ලන්, කුහුඹු විශේෂ, පත්තෑයන්, ගෝනුස්සන් විශේෂ රුසක්, මකුලු විශේෂ, කුරැමිණි වර්ග, බත්කූරන්, සමනල බීජ සහිත ශාක පත්‍ර, සමනල කෝෂ, සතුන් ජීවත්වන කැදලි, ශාක බීජ වර්ග වැනි දෑද හමුවිය.

ස්ලෝවැකියානුවන් මෙම වනජ ද්‍රව්‍ය එකතු කිරීමට භාවිත කර ඇත්තේ අධි තාක්ෂණික උපකරණය. වන සංරක්ෂණ නිලධාරීන් ඔවුන් සතුව තිබී නයිට් විෂන් කැමරා, ඩ්‍රෝන කැමරා, සතුන් ඇල්ලීමට යොදා ගන්නා සියුම් උපකරණ, අධි බලැති විදුලි පන්දම්, කියත්, කෙටේරි, නියන්, සතුන් හා ශාක ප්‍රවාහනයට අවශ්‍ය බහාලුම්, රාත්‍රී කාලයේදී සතුන් වෙත සතුන්ට නොදැනෙන ලෙස ළඟා විය හැකි ඇඳුම් ආදිය ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ප්‍රවේශයේ අසල පිහිටි නවාතැන්පොළේ සිට වනාන්තරය තුළට ඩ්‍රෝන කැමරා කවා ඇති බවද පැවසේ.

මෙය කලක පටන් සිංහරාජය මුල් කරගෙන සිදුවන ජාත්‍යන්තර ජාන ජාවාරමක එක් අවස්ථාවක් පමණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමසිල්ලෙන් නොසිටින්නට මෙම සත්ව හා ශාක කොටස් රටින් පිට කිරීමට ද ඉඩ තිබුණි. මෙයට පෙර ද මෙම වනාන්තරයෙන් විවිධ අවස්ථාවලදී ශාක හා සත්ව කොටස් සමඟ විදේශිකයෝ අත්අඩංගුවට ගනු ලැබූහ. 2012දී ශාක විශේෂ 32කට අයත් පැළෑටි 345ක් සොරකම් කළ බවට අත්අඩංගුවට ගත්තේ රුසියානු ජාතික යුවළකි. බොහෝ විට සිදුවන්නේ දඩයක් නියම කිරීමෙන් පසු ඔවුන්ට රටින් පිටවීමට අවස්ථාව ලබාදීමයි. පසුගිය 12දා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වූ විදේශිකයන්ට ද එම ක්‍රමවේදයම අනුගමනය කරනු ඇත. මෙම පිරිස 6දා තෙක් රිමාන්ඩ් බාරයේ තබා එදින කලවාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය නියෝග කළාය.

මෙම කණ්ඩායම සංචාරකයන් ලෙස  ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 15දාය. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සංචාරය කරමින් සිට කලවාන සිංහරාජ ප්‍රදේශයට පැමිණ ඇත්තේ 28 වැනිදාය. ඊටපසු වනාන්තරයේ සුන්දරත්වය නරඹන බව අඟවමින් සිංහරාජය අවට සංචාරය කර තිබේ.

ඔවුන් පිරිස සිංහරාජ මාර්ග බාධකය අසල හෝටලයක නවාතැන් ගෙන සිටිමින් වනාන්තරයට ඇතුළු වෙලා තිබෙනවා. රාත්‍රී කාලයේදී අනවසරයෙන් කැලයට ඇතුළු වෙලා කෘමීන්, සලබයන්, සමනලයන්, බීජ වර්ග වගේ අපට ආවේණික ශාක හා සත්ව කොටස් එකතු කර තිබෙන බව හෙළි වුණා එලෙස අප සමඟ අදහස් දැක්වූයේ කලවාන අඩවි වන නිලධාරී ආර්. එම්. එල්. රත්නවීරය. ස්ලෝවැකියානු ජාතිකයන් වනාන්තරයට නිතර ඇතුළුවෙමින් පිටවෙමින් කරන හැසිරීම ගැන සිංහරාජ මාර්ග උපදේශකවරැ ද වන සංරක්ෂණ නිලධාරීන් තුළද සැකයක් ඇති විය.

මෙය රක්ෂිත වනාන්තරයක්. වන සංරක්ෂණ පනත යටතේ මේ පිරිස කර ඇත්තේ විශාල වැරැද්දක්. ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් සතුන්ගෙන් 99%ක්ම ආරක්ෂිත සතුන් හැටියට නම් කරලා තිබෙනවා. මෙම විදේශිකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පෞද්ගලික තොරතුරු සපයන්නන්ගෙන් සහ විවිධ අයගෙන් තොරතුරැ ලැබුණා. පසුගිය දින කිහිපයේදී වන නිලධාරීන් රාත්‍රී කාලයේදී වනය ආශ්‍රිතව රුඳී සිටිමින් ඔවුන් නිරීක්ෂණය කිරීමට උත්සාහ කළා. ප්‍රදේශයෙන් පිටවීමට යාමේදී පරීක්ෂා කර අත්අඩංගුවට ගත්තා. රත්නවීර වැඩිදුරටත් කීවේය.

අත්අඩංගුවට පත්වූයේ මිචාල් නචාර් (66), එඩ්වඩ් සෙකන්ස්කි (58), මිචාල් රෙච්ටර් (39), ඩවාන් රොච්ටර් (54), රුඩොෆ්ලැබ් කොයෙකි (44) යන පස්දෙනා වෙති. සැකකරැවන්ගෙන් ශාක හා සත්වයන් එකතු කළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය විමසූ විට එක් සැකකරැවකු විමසා තිබුණේ තමන් ලංකාවට පැමිණියේ සතුන් සහ ශාක එකතු කිරීමට බවයි. සැකකරැවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ බාරයට ගැනීමට ද නියෝග කෙරිණි.

මොවුන් පසුගිය 2දා වැද්දාගල කුඩව ගම්මානයේ ලැඟුම්හලක සිට ගම්මානයෙන් පිටව යාමට පැමිණීමේදී ඔවුන්ගේ ගමන් මලු සහ වෑන් රථය පරික්ෂා කිරීමේදී සත්වයන් සහ ශාක කොටස් හමු වී තිබේ. ඒවා ඉතා සුරක්ෂිත ලෙස ප්ලාස්ටික් අසුරණවල අසුරා තිබුණි. ඉන් සමහර සතුන් පණ පිටින් සිට ඇත.

සැකකරැවන් පිරිස පැමිණ ඇත්තේ රථවාහන කුලියට දෙන ආයතනයකින් ලබාගත් රියදුරු රහිත වෑන් රථයකිනි. එක් අයකු විසින් එය පදවාගෙන පැමිණ තිබේ. ඔවුන් පිටවී යාමට සැලසුම් කර තිබුණේ සිව් දෙනකු වෙනමත් එක් පුද්ගලයකු වෙනමත් වශයෙනි. ඒ ඔවුන් පිළිබඳ අවධානය යොමුවීම වැළැක්වීමටය. මුලින්ම වනාන්තරයේ ප්‍රවේශ පත් කාර්යාලයට පැමිණි ඔවුන් මඟපෙන්වන්නකුගේ සහය නොමැතිව වනාන්තරයට ඇතුළුවීමට අවශ්‍ය බව පවසා තිබේ. නමුත් එලෙස යාමට අවසර නොදෙන නිසා අකමැත්තෙන් වුවද මඟපෙන්වන්නකුගේ සහාය ලබාගෙන සංචාරය කර තිබේ. පසුව ලැඟුම්හලට පැමිණි ඔවුන් එදින රාත්‍රිය ලැඟුම්හලේ ගතකර පසුදින දිවා කාලයත් එහි ගතකරන බව වන සංරක්ෂණ නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. පසුදින එනම් 01දා සවස නවාතැන්ගෙන සිටි ලැඟුම්හලට දුරින් පිහිටි වෙනත් ලැඟුම්හලකට ගොස් සාදයක් පවත්වා තිබේ. ඊට පසු මත්පැන්වලින් වෙරි වූ බව අඟවා වෑන් රථය එහි නවත්වා පයින්ම නවාතැනට ගොස් ඇත. ඔවුන් රාත්‍රියේ පයින් ගියේ ඇයිද යන්න  ගැන බීට්ටු වන නිලධාරියකු සහ ප්‍රවේශ පත්‍ර අලෙවි නිලධාරියකු අවධානයෙන් සිට තිබේ. පසුදින විශාල ගමන් මල්ලක් රුගෙන කුඩව සිට බස් රථයෙන් යාමට පයින් පැමිණෙන  ඒ අතරින් එක් විදේශිකයකු පරික්ෂා කිරීමේදී සතුන් සහ ශාක හමු වී ඇත. අනෙක් සිව්දෙනා වෑන් රථයෙන් පිටත්වන්නට සූදානම්ව සිටි අතර එය පරික්ෂා කිරීමේදී තවත් සත්ව සහ ශාක කොටස් ද උපකරණ ද හමු වී තිබේ. පසුව සැකකාර විදේශිකයෝ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කලවාන අඩවි වන නිලධාරී ආර්. එම්. එල්. රත්නවීරට බාරදෙනු ලැබූහ.

වැටලීමට සහාය වූ සිංහරාජයේ මාර්ග උපදේශකවරයකු වන සුනිල් හඳුවල ඒ පිළිබඳව මෙසේ කීවේය.

සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය  සහ කලවාන අඩවි වන කාර්යාලය මෙවැනි ජාන සොරකම් ගැන නිතර විමසිල්ලෙන් සිටින්නේ. එවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා. මෙයට පෙරත් කිහිපවතාවක් විවිධ රටවලින් පැමිණි විදේශිකයන් සත්ව හා ශාක කොටස් එකතු කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ජර්මන් ජාතිකයෙකුටම ඒ කාලේ නඩු පවරලා රැ.60,000ක දඩයක් ගැහුවා. ඔහු සමනලුන් අල්ලලා තිබෙන්නෙ ඒ රටේ කෞතුකාගාරයකට ගෙනයාමටයි. ඊට පසු ජපන් ජාතිකයෙක් මීවන ශාක එකතුවක් සමඟ අත්අඩංගුවට ගත්තා.

හෙක්ටයාර් 11187ක විශාලත්වයෙන් යුතු සිංහරාජ වනාන්තරය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ බිම්කඩකි. 2007 රතු දත්ත ලේඛනය අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස ලක්වූ සත්ව විශේෂ 14ක් ඇතුළුව තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂ 101කට සිංහරාජ අඩවිය වාසස්ථාන ලබා දී තිබේ. සිංහරාජය තුළ දැවමය ශාක විශේෂ 340ක් පමණ හමුවන අතර ඉන් විශේෂ 192ක්ම ශ්‍රී ලංකාවට ආවේණිකය. සත්ව කාණ්ඩ 6කට අයත් සත්ව විශේෂ 448 ක් සිංහරාජයෙන් හමුවේ. ඉන් විශේෂ 137ක් ලංකාවට ආවේණික වේ.

ජාන හොරකම අද ජාත්‍යන්තර ජාවාරමකි. ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් ඉහළ රටවලට පැමිණෙන විදේශිකයෝ ජාන හොරකම් කරගෙන ගොස් වෙනත් ශාක හා සත්ව විශේෂ නිපදවති. ඒවා වාණිජ වශයෙන් අලෙවි කරති. පේටන්ට් අයිතිය ලබාගනිති. ඒ අතරම සිංහරාජයට අමතරව කිතුල්ගල, කන්නෙලිය, මොරපිටිය, කොට්ටව ඇතුළු තෙත් කලාපීය වනාන්තර ගැන ද දැඩි විමසිල්ලෙන් සිටිය යුතු කාලයක් එළඹ තිබේ. සිංහරාජයට මෙන් දැඩි ආරක්ෂාවක් ඒ වනාන්තරවල නැති බැවිනි.

ජෛව මංකොල්ල ඉතිහාසය

ලංකාවට ආවේණික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිෂ්පාදන සකස් කර ඊට පේටන්ට් බලපත්‍රය ගැනීමේ මංකොල්ලයක් ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පැවසීය.
නීත්‍යනුකූල නොවන ලෙස අවසරයකින් තොරව ජාන රුගෙන ගොස් ඒවායේ අයිතිය නීත්‍යනුකූලව තමන් සතුකර ගැනීම ජාන මංකොල්ලය ලෙස හැඳින්වෙන බවද ගුණසේකර මහතා  මාධ්‍ය හමුවකදී පැවසුවේය.

සිංහරාජයේ මාර්ගයක් කැපීමෙන් එවැනි ජාවාරම්වලට සහයෝගයක් ලැබෙන බවද ගුණසේකර මහතා සඳහන් කළේය. සිංහරාජ වන රක්ෂිතය තුළ සිදුවූ ජෛව කොල්ලය ඉතා සැලසුම් සහගත අපරාධයක් බවට කරැණු අනාවරණය වී ඇතැයි විමර්ශනවල යෙදෙන වන සංරක්ෂණ නිලධාරීහු ද පවසති.

සිංහරාජ වනාන්තරයේ ශාක හා සතුන් හොර රහසේ වෙනත් රටවලට රුගෙන යාමට උත්සාහ කළ අවස්ථා කිහිපයක්ම මෙයට පෙර වාර්තා විය. 

• සිංහරාජය තුළ ශාක හා සතුන් සතුන් එකතු කළ ජපන් ජාතික විද්‍යාඥයන් දෙදෙනෙක් 1998 වසරේදී අත්අඩංගුවට ගනු ලැබූහ. 
• 2012 වර්ෂයේදීද ඕලන්ද ජාතික විද්‍යාඥයෙක් එකතුකළ කෘමි සතුන්ද සමඟ අත්අඩංගුවට පත් විය.
• 2014 වසරේදී සමනලුන් එකතු කළ ජර්මන් ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
• සිංහරාජයේ ඕකිඩ් හා පර්ණාංග ශාක එකතු කළ ජර්මන් ජාතිකයෙක්ද 2016 වසරේදී අත්අඩංගුවට ගනු ලැබීය.

- කුසුම්සිරි විජයවර්ධන
පසුබිම් පුවත් සහ සේයාරෑ - කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00