සහල්වලටද ඉදිරියේදී මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශය පුවත්පත පසුගිය සතියේ මුල්වරට අනාවරණය කළේය. මෙම පුවත පළවීමෙන් පසු බොහෝ දෙනකු මේ පිළිබඳ උනන්දු වී ඇති අතර මිල සූත්‍රය කුමන එකක් වන්නේ ද සහ ඇත්තටම මෙවැනි මිල සූත්‍රයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ විවිධ සැක සංකා මතුවෙමින් තිබේ. ඇතැම් අය පවසන්නේ මෙම මිල සූත්‍ර කතාව ජනතාව රැවටීමට මවා පෑ තවත් අතේ රෝලක් බවය. එසේම මෙවැනි මිල සූත්‍රයක් මගින් පාරිභෝගිකයාට වඩා ව්‍යාපාරිකයන්ගේ කරල පැහෙනු ඇතැයි ඔවුහු සැක පහළ කරති.
අද බොහෝ දෙනෙක් මිල සූත්‍රයක් යැයි පැවසූ විට ඒ ගැන දක්වන්නේ බියකි. එයට හේතුව මෙයට පෙර මිල සූත්‍රවලින් ඔවුන් ඇති පදම් බැට කා ඇති බැවිනි. මේ පිළිබඳ ආසන්නතම උදාහරණය වන්නේ ඉන්ධන මිල සූත්‍රයයි. පසුගිය මාසය හැරුණු විට මේ ඉන්ධන මිල සූත්‍රය මගින් දිගටම සිදුවූයේ ඉන්ධන මිල ඉහළ ගොස් පාරිභෝගිකයා හිරිහැරයට පත්වීමය.
ඉන්ධන මිල සූත්‍රය මෙන් සහල් මිල සූත්‍රයෙන්ද තමන් අසාධාරණයට ලක්වෙතැයි ඔවුහු බිය පළ කරති. එහෙත් මෙම සූත්‍රය තැනීමට දායක වූවන් පවසන්නේ මේ මිල සූත්‍රය නිසා ගොවියා සහ පාරිභෝගිකයාට සහන සැලසෙන අතර, අතරමැදි ව්‍යාපාරිකයාගේ ලාභය සීමාවෙන බවය. මෙහිදී සිදුවන්නේ ඒ මිල අනුව සහල් මිල තීරණය කිරීමකි. ඒ අනුව වී මිල වැඩිවන විට සහල් මිල සාපේක්ෂව වැඩි වුවද ඒ මිල පහළ ගිය විට සහල් මිලද පහළ යනවා ඇත. කෙසේ නමුත් මෙම මිල සූත්‍රය අනුව සහල් මිල සැමදාම එකාකාරීව නොපවතින අතර එය අඩු වැඩි වීමට ඉඩ තිබේ. මෙහිදී මසකට වරක් හෝ කන්නයකට වරක් ඒ පිළිබඳ සමාලෝචනයක යෙදී මිල නිවේදනය කෙරේ. එම මිල අභිබවා සහල් විකිණීමට නොහැකි වේ. මෙය එක අතකින් සහල් මිල පාලනයකට සමාන වනු ඇත. එසේ වුවද එම පාලන මිල එලෙස ප්‍රායෝගිකව වෙළෙඳ පොළේ පවත්වාගෙන යා යුතුවේ. එම යාන්ත්‍රණය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
මිල සූත්‍රය නිර්මාණය කිරීමට රැස්වූ කොමිටිය මගින් ඒ සඳහා තැනූ මිල සූත්‍රය මෙසේය.
වී කිලෝ 1ක මිල X 1.6 + රුපියල් 8 = සහල් කිලෝවක තොග මිල
මෙය රුපියල් 8 බදු, සෙසු වියදම් සහ තොග වෙළෙන්දාගේ ලාභය වෙයි.
වී කිලෝ 1ක මිල X 1.6 + රැපියල් 12 = සහල් කිලෝවක සිල්ලර මිල
මෙම රුපියල් 12 තුළ තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සියලු වියදම් සහ ලාභය අන්තර්ගතය.
උදාහරණයක් වශයෙන් වී කිලෝව රුපියල් 20ක් වුවහොත් මේ අනුව සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 44ක් වෙයි.
මෙහිදී බැලූ බැල්මට පෙනෙන්නේ කිලෝවකට තොග වෙළෙන්දාට රුපියල් 8කට අඩු ලාභයක්ද සිල්ලර වෙළෙන්දාට රුපියල් 4කට අඩු ලාභයක්ද ලැබෙන බවය. සිල්ලර වෙළෙන්දා කෙසේ වෙතත් තොග වෙළෙන්දා මෙම රුපියල් 8ට අඩු ලාභයෙන් සැනසෙනවාද යන්න පිළිබඳ ඇතිවන්නේ සැකයකි. එයට හේතුව අද ඔවුන් ලබන රු.25-30 ලාභය මිල සූත්‍රය වෙනුවෙන් කැප කරන්නට සිදුවන බැවිනි.
මේ වෙලාවේ මිල සූත්‍රයක් ඕනෑ නැහැ
නිහාල් වන්නිආරච්චි - ජාතික ඒකාබද්ධ ගොවි සංගමයේ ලේකම් හා රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති
කිහිප දෙනෙක් එකතුවෙලා සාකච්ඡා කරලා මිල සූත්‍රයක් හදන්නට පටන් අරන් තියෙන බවට අපටත් ආරංචි වෙලා තියෙනවා. ඒත් අපිව නම් මේ සඳහා කැඳෙව්වේ නැහැ. මේ පිළිබඳ ගොවි සංවිධාන දැනුවත් කළ යුතුයි. එහෙම නැතුව එක එක අයට ඕනෑ හැටියට මිල සූත්‍ර තැනීම අනුමත කළ නොහැකියි. ගොවියා සහභාගි කර නොගෙන මේවා කරන්න බැහැ.
මෙම මිල සූත්‍රයට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟවෙලා තිබෙනවා. එහෙම එකඟවෙලා ඇත්තේ ඒ අයට දැනට වැඩිය යම් වාසියක් ලැබෙන නිසයි කියලා හිතන්න පුළුවන්.
සහල් පරිභෝජනය අඩුවෙලා තියෙන්නේ ජනතාව තිරිඟු පිටිවලට නැඹුරුවෙලා සිටින නිසයි. ආණ්ඩුවේ ඇතැමුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රටින් පිටි ගෙනත් ජනතාවට කවන්නයි. එම ජාවාරමෙන් ඒ අයට කොමිස් ගන්න පුළුවන්. එය විශාල ආදායම් මාර්ගයක්. මෙහෙම රාජ්‍ය අනුග්‍රහයෙන් තිරිඟු පිටි ආනයනය කළවිට සහල් පාරිභෝජනය අඩුවී මිල පහළයාම ගැන පුදුම විය යුතු නැහැ.
මා මේ දිනවල කිලිනොච්චියේ ඉන්නේ. දැන් මේ ප්‍රදේශයේ වී කිලෝව රුපියල් 22ට බැහැලා. සමස්තයක් ලෙසටම මේ කන්නයේ රටේ වී නිෂ්පාදනය ඉතාම ඉහළයි. 2016-17 අවුරුදුවල වී වගාව අඩාලවයි තිබුණේ. ඒ නිසා මෙවර ගොඩ මඩ දෙකේම වගා කළා. ඒ හින්දා වෙන කවරදාටත් වඩා අස්වැන්න ඉහළට යාවි. මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් 40 ඉක්මවා යනවා ඇතැයි ගණන් බලා තිබෙනවා. පසුගිය වසරවල ලක්ෂ 30ක් පමණයි අස්වැන්න ලැබුණේ. ආණ්ඩුවට කවදත් වී මිලට ගන්න බැහැ. සමස්ත අස්වැන්නෙන් සියයට 10ක් පමණයි සාමාන්‍යයෙන් ගන්නේ. මේ නිසා කුණු කොල්ලයට වී මිලට ගන්න මහාපාරිමාණ ජාවාරම්කාරයන්ට හැකිවෙනවා.
වී මිල පහළට යන මේ කන්නයේ සහල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළහොත් ගොවියාට මිල පහළ යාමෙන් විශාල හානියක් වෙනවා. මිල සූත්‍රයක් අවශ්‍ය වන්නේ වී මිල ඉහළ ගිය විටයි. ඒ නිසා මේ අවස්ථාවේ මිල සූත්‍රයක් අවශ්‍ය නොවන බවයි අපි කියන්නේ. මෙලෙස සූත්‍රයක් තනනවා නම් දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවි නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා එහෙම දෙයක් පුද්ගලයන් කිහිප දෙනකු එකතුවෙලා තනලා මුළු රටටම ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි.
අකමැති වන්නේ අධික ලාභ ලබන්න හදන අයයි
සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා
අපි මුල ඉඳලම ඉල්ලපු දෙයක් තමයි මෙය. යම් කෙනෙක් හෝ සංවිධානයක් මෙයට විරුද්ධ වෙනවා නම් ඒ අය සහල් කිලෝවකින් රුපියල් 25-30 වගේ අධික ලාභයක් අසාධාරණ ලෙස උපයන අය විය හැකියි. මේ මිල සූත්‍රය අනුව ගොවියාට සාධාරණ මිලක් වී වලට ලැබෙනවා. එම වී මිලට සාපේක්ෂව පාරිභෝගිකයාටද සහල්වලට සාධාරණ මිලක් හිමිවෙනවා. එසේම අතරමැද ව්‍යාපාර කරන මෝල් හිමියාට සහනයක් සැලසෙනවා. ඒ නිසා මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සහල් ව්‍යාපාරයට සම්බන්ධ මේ කොට්ඨාස තුනටම යහපතක් වෙනවා.
අද මෙම ව්‍යාපාරයෙන් වැඩිපුර ලාභ ලබන්නේ මහා පරිමාණ මෝල් හිමියන් බව රහසක් නොවෙයි. බොහෝ අවස්ථාවල ගොවියාට වී කිලෝවට ලැබෙන්නේ රුපියල් 20ක්. ඒත් පාරිභෝගිකයාට කිලෝවට රුපියල් 100කට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. එහි වෙනස උපයා ගන්නේ කිසිදු වෙහෙසක් නොගන්නා අතරමැදි ව්‍යාපාරිකයායි. අද වනවිටද සහල් කිලෝවකට රුපියල් 30-40 ලාභ ලබන ව්‍යාපාරිකයන් සිටිනවා. මෙහි ලාභය සාධාරණව සැමටම බෙදී යා යුතුයි. එහෙම නැතුව එක කොටසක් පමණක් ධනපතියන් කිරීම සාධාරණ නැහැ.
මේ පිළිබඳ පසුගියදා හර්ෂ ද සිල්වා සහ පී. හැරිසන් යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී තමයි මිල සූත්‍රයක් තැනීම පිළිබඳ තීරණයක් ගත්තේ. මෙම සාකච්ඡාවට ඒ ඇමැතිවරුන් දෙදෙනා සමග ආහාර කොමසාරිස්තුමිය, මුදල් අමාත්‍යංශ නියෝජිතයෙක්, මහා පරිමාණ වී මෝල් හිමියන්, සහල් නිෂ්පාදකයන් සහභාගී වුණා. මෙහිදී මිල සූත්‍රය සඳහා මහා පරිමාණ මෝල් හිමියන් එකඟකර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. හර්ෂ ඇමැතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව අවසානයේදී සියලුම ව්‍යාපාරිකයන් එයට කැමැත්ත පළකළා. අප්‍රේල් 1 දා සිට මෙම මිල සූත්‍රය අනුව සහල් මිල තීරණය වෙනවා ඇති. මෙහිදී දිගටම එකම මිලක් බලපවත්වන්නේ නැහැ. මිල අඩුවැඩි වේවි. වී මිලට සාපේක්ෂව නම් සහල් මිල තීරණය වන්නේ, මාස්පතා හෝ නියමිත කාල පරිච්ඡේදයක් තුළ දී මිල පිළිබඳ සමාලෝචනයක යෙදෙනවා.
මෙලෙස සහල් මිල පහළ යාම ආණ්ඩුවට දේශපාලන වශයෙන්ද යහපත් වෙනවා. ඉදිරියට එන මැතිවරණවලදී අපේ ප්‍රධානතම ආහාරය වන සහල් මිල පහළ යාම ආණ්ඩුවට වාසිදායකයි. ඒ නිසා මෙම මිල සූත්‍රය අනාගතයේදී ආණ්ඩුව උනන්දු වී ක්‍රියාත්මක කරාවි කියල අපි බලාපොරොත්තු වෙනවා.
වැඩේ හොඳයි: කරන්න පුළුවන්ද කියන එක සැකයි
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න
මෙවැනි මිල සූත්‍රයක් තැනීම හොඳයි. එයින් ගොවියාට සහ පාරිභෝගිකයාට සහන සැලසෙනවා. ඒත් මේ සූත්‍රය ඉදිරියේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද යන්න පිළිබඳ ගැටලු පැන නගිනවා. ඒ මොකද සහල් මාෆියාව නිසා අපේ රටේ සුවිශාල ව්‍යාපාරිකයන් කිහිප දෙනා අධික ලෙස ලාභ ලබනවා. පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයම සූරා කන්නේ ඒ ගොල්ලයි. අපේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් මැති ඇමැතිවරුන් මේ මාෆියාවට සම්බන්ධයි. ඒ අය විශාල ලෙස ආදායම් උපයනවා. ඒ නිසා මේ දෙගොල්ල කුමන හෝ උප්පරවැට්ටියක් දමලා මෙය කඩාකප්පල් කිරීමට ඉඩ තිබෙනවා. ඇතැම් දේශපාලන පක්ෂවලටද මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් උදව් තියෙනවා. ඉතින් මේ අය තරහකර ගන්න එම පක්ෂවල අය කැමැති වෙන එකක් නම් නැහැ.
අනික් අතට මෙම සාකච්ඡාවලට සම්බන්ධ වූයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදන සංගම් පමණයි. මහා පරිමාණ අය ආවාද කියලා මට කියන්න බැහැ. ආවත් ඒ අය කැමැති වුණාද යන්නද සැකයි. එසේම මෙය ඇමැති මණ්ඩලයෙන් අනුමත කර ගැනීම පිළිබඳවත් විශ්වාසයක් තබාගන්න බැහැ. එයට හේතුව දේශපාලනයත් සහල් ව්‍යාපාරයත් එකිනෙකට බොහෝදුරට සම්බන්ධ නිසයි.
පසුගිය සමයේ සහල් මිල කිලෝව රුපියල් 130ට ඉහළ ගිය සමයේදීද අපි මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. එහෙත් ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැහැ. මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා නම් කොච්චර අස්වැන්න අඩුවෙලා වී මිල ඉහළ ගියත් සහල් කිලෝව රුපියල් 90කට පමණ සිල්ලරට විකුණන්න හැකිවෙනවා. එය බත් කන ජනතාවට විශාල සහනයක් වෙනවා.
සහල් මිල ඉහළ නැංග විටද පිටරටින් සහල් ආනයනය කරන්න හැකිවෙනවා. ඒ අයථා මුදල් උපයන කුප්‍රකට ජාවාරමක්. එයට ප්‍රබල දේශපාලනඥයන් එදත් අදත් සම්බන්ධ බව පසුගිය දිනවල සිදුවූ සිද්ධිවලින් සනාථ වෙනවා. ඒ නිසා රටේ සහල් මිල පහළ දමන්න ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥයන් කැමැතිවේදැයි සිතන්න බැහැ.
මිල සූත්‍රය අසාර්ථක පියවරක්
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
අද මේ රටේ පවතින්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. මෙවැනි විවෘත ආර්ථික ක්‍රමයක් තිබෙන රටකට මිල සූත්‍රයක් වී වලට ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික වන්නේ නැහැ. මිල සූත්‍රය යනු අනියමින් කරන මිල පාලනයක්. මිල පාලනය යනු යල් පැනගිය ක්‍රමයක්. එය අදට ඔබින්නේ නැහැ. මෙවැනි පාලනයක් කළවිට අතුරු හානි හා ගැටලු ඇතිවෙනවා. රජය මිල පාලනයෙන් තොරව කටයුතු කළ යුතුයි. ඉන්ධනවලට පවා මේ වනවිට ක්‍රියාත්මක වන මිල සූත්‍රය සංවේදියි. එය අපේ රටට ඔබින්නේ නැහැ. ඉන්ධන මිල සූත්‍රය නිසා මේ වනවිට ගැටලු මතුවෙලා තියෙනවා. ඉන්ධන නිසා බොහෝ ද්‍රව්‍ය සහ සේවාවල මිල නිර්මාණය වෙනවා. එය හැම මාසෙම ඉහළ පහළ යන්න පටන් ගත්විට පාරිභෝගිකයා නිරපරාදේ හිරිහැරයට පාත්‍ර වෙනවා.
සහල්වලට වී ලැබෙන්නේ එක කන්නයකදියි. වර්ෂයකට වී නිෂ්පාදනය ඇතිවන්නේ දෙපාරයි. එක් කන්නයක වී නිපදවෙනවා නම් මාස හයක්ම වී එන්නේ නැහැ. එවිට වී හිඟයක් ඇතිවුණොත් මිල ඉහළ යනවා. ඒ නිසා වී අහේනි කාලෙට මිල සූත්‍රය ගැලපීම අපහසුයි. එයින් පාරිභෝගිකයාට සිදුවන්නේ අසාධාරණයක්.
අනිත් අතට අස්වැන්න අධික කාලයකට අඩු මිලට වී ගෙන සඟවා තබාගෙන නිෂ්පාදනය අඩු කාලයට වෙළෙඳපොළට දමා ලාභ ලැබීමට අතරමැදි ව්‍යාපාරිකයාට හැකිවෙනවා. මිල සූත්‍රයෙන් එය පාලනය කරන්න බැහැ.
සහල් මිල අඩු කිරීමට නම් කළ යුත්තේ මිල සූත්‍ර දැමීම නොව නිෂ්පාදන පිරිවැය අඩුකරලා ගොවියට සහන සැලසීමයි. බීජ මිල, පොහොර මිල, රසායනික මිල ආදිය අඩුකරලා ගොවියාට පහසු වියදමකින් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලබාදීම තමා වැදගත් වෙන්නේ. එසේම වී ටික සාධාරණ මිලට විකුණා ගැනීමට ගොවියාට ඉඩ සැලසිය යුතුයි. ඔහු අතරමැදි ව්‍යාපාරිකයාට කොටුවීම වැළැක්විය යුතු වෙනවා. එහෙත් වී අලෙවි මණ්ඩලයට එවැනි සැලසුමක් නැහැ.
එසේම කුඩා සහ මධ්‍ය පරිමාණ, මෝල් හිමියන්ට සහන සැලසිය යුතු වෙනවා. ඔවුන් මේ වනවිට මහා පරිමාණ අය නිසා විශාල අමාරුවක වැටිලයි ඉන්නේ. කුඩා මෝල් වැසීගෙන යනවා. ඒ නිසා එම ගැටලුවලට පිළියමක් යෙදුවොත් කෘත්‍රිම මිල සූත්‍ර යොදන්න වෙන්නේ නැහැ. වී ගැටලුවට දිගුකාලීන පිළියම් යෙදිය යුතු වෙනවා. මේ ප්‍රශ්න එහෙමම තිබිද්දී මිල සූත්‍රයක් දැම්මහොත් ගැටලු තවත් සංකීර්ණ වන බවයි කිවයුතු වන්නේ.
►යසවර්ධන රුද්රිගු