කෝකටත් ජයසේන අප කාර්යාලයේ සේවය කරන නිර්පාක්ෂික සැම්සන්ගේ ඥාතියෙකි. ගත වූ නිදහස් දිනයේ ජයසේන සැම්සන් මුණගැසීමට ඔහු නිවසට ගියේ අඩියක් පුඩියක් ගසා විනෝදයෙන් කාලය ගෙවීමේ අදහසිනි. නිවසට ගොඩවන විටම, සැම්සන් ගීයක් ගයමින් සිටිනු ඇසුණි.
“සසර වසන තුරු, නිවන් දකින තුරු - පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට හේතු වාසනා වේවා.... හේතු වාසනා....”
ජයසේනට තද විය. “මොකද්ද සෑම් අයියා ඔය කියන සින්දු... මම නම් කියන්නේ සිංගප්පූරුවේ නැවත උපදින්නට හේතු වාසනා වේවා කියලා”
ඒ කතාවට සැම්සන්ට ද තද විය.
“ඇයි ජයසේන එහෙම කියන්නේ. සිංගප්පූරුව කියන්නේ රටක්ද? හුණ්ඩුවක්නේ. හයියෙන් කිඹුහුමක් ඇරියොත් රටේ අනිත් පැත්තට ඇහෙනවා.”
“හුණ්ඩුවක් ද බුසලක් ද මට වැඩක් නෑ. මම ඊළඟ ආත්මේ සිංගප්පූරුවේ ලේබර් කෙනෙක් වෙලා හරි උපදිනවා. පුරවැසිකම දෙනවනම් මේ ආත්මෙම වුණත් එහෙ යනවා.”
“මොකද ජයසේනට හිටි ගමන් සිංගප්පූරුව ගැන ඔය තරම් ආශාවක් ඇති වුණේ?”
“සිංගප්පූරුවේ පුරවැසියන්ට ආණ්ඩුවෙන් ප්‍රතිලාභ බෙදන්ට යනවලු. බෝනස් එකක්”
“ඒ මොකටද? නත්තලටද?”
“නත්තලට නෙවෙයි. රටේ ආදායමෙන් සීයට ගාණක්! ලාභයෙන් කොටසක් ජනතාවට! සිංගප්පූරු ගුවන් සේවාවේ ලාභය වුණත් ඇතිලු මුළු රටටම බෝනස් දෙන්න.”
ඒ කතාව ඇසූ සැම්සන් ද තිගැස්සුණේය.
“අප්පට සිරි! රටක් තමන්ගේ ලාභය පුරවැසියන්ට බෙදනවා කියලා මම ඔය ඇහුවමයි. ඒ විතරක්යැ, වෙන රටක හරි ගුවන් සේවයක් ලාභ ලබනවා කියලා අහන්ඩ ලැබෙන එකත් අපි වගේ ශ්‍රී ලාංකිකයන්ට ලොකු සතුටක්නේ.”
සැම්සන් සිනාසීමට උත්සාහ දැරුවේය.
“අන්න ඒකනෙ මම කිව්වේ. තව සැරයක් මේ සිරි ලංකාවේ ඉපදිලා වැඩක් නෑ කියලා”
ජයසේන ජයග්‍රාහී සිනාවක් පෑවේය.
“මහලොකු ඉතිහාසයක්, සංස්කෘතියක් නැති වුණාට ඒවා තමයි රටවල්! දැන් බලන්න සෑම් අයියේ අමෙරිකාවට මොකද්ද තියෙන ඉතිහාසේ. උන්ට තියෙනවද අපිට වගේ මහා වංශයක්.. ඒ වුණාට ලෝකෙට ලොක්කා.”
“ඒ වුණත් ජයේ.. මම නම් ලංකාවට ආදරෙයි. දැන් බලන්ඩ අපිට ගහක් යට හරි නිදාගන්ඩ පුළුවන්. මේ දවස්වල අමෙරිකාවයි, යුරෝපයයි දෙකම හිමෙන් වැහිලා.. එළිපහළියකට යන්ඩ බෑ. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද?”
“ඔන්න ඔතන තමයි වැරැද්ද සෑම් අයියේ.. අපි චින්තනයෙන් දුප්පත්. ආකල්ප අප්සෙට්. අපි මොකටද ගස් යට නිදාගන්නේ? ලෝකෙ මිනිස්සු අඟහරු ලෝකේ ගෙවල් හදන්ඩ හිතනවා. අඩුම ගාණේ අපිත් ඒසී රූම් එකක් ඇතුළේ ඩබල් මෙට්‍රස් එකක නිදාගන්ඩ හිතන්ඩ එපායැ. ගස් යට නිදා ගන්නේ සත්තුනෙ”
සැම්සන් මඳක් කල්පනා කළේය. ජයසේනගේ තර්කය ද හරිය. එහෙත් ඔහුට දිනුම දිය නොහැකිය. පාසල් වියේ සිටම සැම්සන් උගෙන සිටියේ ලෝකෙන් උතුම් රට සිරි ලංකාව බවය. සිංගප්පූරුකාරයා උත්සාහ කළේ ලංකාවක් වීමටය. කෙසේ වෙතත් සිදුවී ඇත්තේ සිංගප්පූරුව තම ජනතාවට ලාභය බෙදන අතරේ සිරි ලංකාව ජනතාවට පාඩු බෙදා දීමය. මේ වෙනසට පිළියම් කළහොත් ලංකාවට ද සිංගප්පූරුවක් වීමට හැකිය.
“ජයසේන අපිටත් ලාභ ලබන රටක් වෙන්ඩ බැරිද? දැන් නිදහස ලබලත් අවුරුදු 71ක් වුණානේ.”
“ඔය අවුරුදු 71 තිස්සෙම බජට් එක ඉවර කරන්නේ අයවැය පරතරය තියාගෙනනේ. බිලියන, ට්‍රිලියන ගණන් ණය. පියවෙන්නේ කොහොමද කියලා ඇහුවම අනේ අපිනම් නෙවෙයි ගත්තේ කියලා හිටපු එවුන්ට බෝලේ පාස් කරනවා. ඉතින් කොහෙද ලාභ? සදා පාඩු! සදා ණය!”
“සිංගප්පූරුව හැදුවේ ලී ක්වාන් යූ කියන නායකයා. පසුගිය අවුරුදු හැත්තෑවකට අපිට නායකයෝ කී දෙනෙක් හිටියද? ඒත් බැරි වුණානේ රට ගොඩදාගන්න.”
“ඒ වුණාට නායකයෝ ටිකනම් ගොඩ! යුද්දෙ ජයගත්තට පස්සේ කිව්වේ කොහොමද, දැන් ඉතින් රට හදමු කියලා. හැදුණේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනයෑ”
“අපිට බැරිද සිරි ලංකාව ටික කාලෙකට සිංගප්පූරුවට බාර දෙන්ඩ... එතකොටවත් මේක ගොඩයන්නෙ නැතෑ”
“අදහස නම් හොඳයි. ඒත් මං හිතන්නේ නෑ ඒගොල්ලො ඒ වගේ පාඩු ප්‍රොජෙක්ට්ස්වලට අත ගහයි කියලා. අනික, ලංකාවම හැදුවත් අපේ ගුවන් සේවය නම් ගොඩදාන්න සිංගප්පූරුවටවත් බැරි වෙයි. ඒකත් සදා පාඩු ගුවන් සේවයක්.”
“ඔන්න මට තව අදහසක් ආවා. අපි රටේ කෑල්ලෙන් කෑල්ල දියුණු කරන්න සිංගප්පූරුවට බාරදෙමු.”
“අපොයි එතකොට චීනා තරහා වෙනවා. දැනටමත් අපි චීනෙට කෑලි කෑලි දීලනෙ තියෙන්නේ. ඉතිරි ටිකත් චීනෙම කොරයි”
“එහෙමනම් මෙහෙම කරමුද? ලංකාව සිංගප්පූරුවෙ කොටසක් කරනවා. ප්‍රාන්තයක්. එතකොට දියුණු කළත් නැතත් අපිටත් ප්‍රතිලාභ බෙදන්ඩ එපායැ”
කතාව මොහොතකට නතර විය. ජයසේන නිකටේ රවුලද, සැම්සන් උඩු රැවුල ද පිරිමදිමින් කල්පනා කරන්නට ගත්හ. ඔවුන්ගේ මුවඟ මද සිනාවක් නැගුණේ සිංගප්පූරුව සිරි ලංකාවාසීන්ට ප්‍රතිලාභ බෙදන බව ප්‍රකාශයට පත් කළ කලෙක මෙනි. ඉන් පසු මී කුණ විකුණා ධන කුවේරයකු බවට පත් සිටුතුමා මෙන් සිහින මවමින් නිවෙස් බලා යන්නට වූහ.
(මෙතැන් සිට මටද මේ කතාවට සහභාගී වන්නට සිදුවෙයි)
ජයසේන මා හමුවීමට පැමිණ සිංගප්පූරු බෝනස් සිහිනය ගැන කීවේය.
“ඔයා අඳුරන සිංගප්පූරු මාධ්‍යවේදියො ඉන්නවනේ. කතා කරලා බලන්ඩකො අපිටත් එහෙ පුරවැසිකමක් ගන්ඩ පුළුවන්ද කියලා”
ජයසේන බැගෑපත් වූයේ 71 වැනි ජාතික නිදහස ගැනවත් නොතකමිනි.
මම මගේ විසිටින් කාඩ් එකතුවෙන් මීට කලකට ඉහත සමුළුවකදී හමුවූ වෑං පාං චූන් නමැති පත්‍ර කලාවේදියාගේ දුරකථන අංකය සොයාගෙන ඔහු ඇමතුවෙමි. ජයසේනගේ අවශ්‍යතාව පැහැදිලි කළෙමි.
“ඇයි මේ රටට එන්න හදන්නේ? අපි හිතුවෙ තමුසෙලා මාලදිවයින අනුගමනය කරන්න තීරණය කරලා කියලා”
පාං චූන්ගේ කතාවෙන් මම තිගැස්සුණෙමි.
“ඇයි එහෙම කියන්නේ?”
“71 වැනි නිදහස් උත්සවේ අමුත්තට ආවෙත් මාලදිවයින් ජනාධිපතිනේ. ඉතින් එහෙන්ම පුරවැසිකමුයි, බෝනසුයි ඉල්ලගත්තොත් නරකද?”
මම කලාපීය සහයෝගීතාවය ගැන කීමට උත්සාහ කරද්දී, පාං චූන් දුරකථනය විසන්ධි කළේය.
► කපිල කුමාර කාලංග