සිනමා හා නාට්‍ය කලා ක්ෂේත්‍රයේ ඉතා කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියූ මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාව වසර අටක් පමණ දීර්ඝ කාලයක් තිබුණේ වසා දමාය. අනතුරුව නැවතත් නවීකරණය කරන ලද රංග ශාලාව පසුගිය ජනවාරි මස විසි හතරවැනිදා විවෘත කරන ලදී.
1925 වර්ෂයේදී ඔක්තෝබර් මස දහනවවැනි දින මුල්ගල තැබූ එල්ෆින්ස්ටන් රංග ශාලාව එවකට හඳුන්වන ලද්දේ “පැවිලියන්” යන නමිනි. ඉංග්‍රීසි ජාතික එච්.ඊ. නිවුන්හැම් මහතා විසින් මෙම රංග ශාලාවට මුල්ගල තැබිණි. ටයිම්ස් ඔෆ් සිලෝන් නම් පුවත්පතේ නිවුන්හැම් හඳුන්වන ලද්දේ කොළඹ නගරාධිපති යනුවෙනි. මෙම රංග ශාලාවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙසින් කටයුතු කරන ලද්දේ එම්.එෆ්. බිල්ටෝරියා මහතාය.
මුල් කාලයේදි “පැවිලියන්” රංග ශාලාව ලෙසින් හැඳින්වූ මෙය පසුකාලයේදී “පැලස්” නමින්ද හඳුන්වනු ලැබීය. ඊටත් පසුකාලයේදී එවකට ඉන්දියාවේ සිටි කලාවට ලැදි එල්ෆින්ස්ටන් නම් ආණ්ඩුකාරවරයාට කරනු ලබන ගෞරවයක් ලෙසින් මෙම රංග ශාලාව “එල්ෆින්ස්ටන්” යනුවෙන් නම් තබනු ලැබීය.
සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වූ “රේඛාව” චිත්‍රපටය ප්‍රථමවරට තිරගත කරන ලද්දේද මෙම එල්ෆින්ස්ටන් රඟහලේදීය. 1999 ජනවාරි මස හතරවෙනිදා ටවර්හෝල් පදනම මඟින් මෙම රඟහල පවරා ගන්නා ලදී. එයට පුරෝගාමීව කටයුතු කරන ලද්දේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාය.
වසර සියයකට ඉතාමත් ආසන්නව ගතකරන එල්ෆින්ස්ටන් රඟහල නැවත අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා වසර කිහිපයක්ම ගතවිය. ඒ සඳහා බොහෝ හේතු බලපෑවේය.
2011 වසරේදී ප්‍රසංග පැවැත්වූ අවදියේදී පළමුව එල්ෆින්ස්ටන් රඟහලේ බිත්තිවල ඉරිතැලීම් මතුවිය. එමෙන්ම ඉහළ සිවිලිමේ තැනින් තැන නොසිතූ මොහොතක කැබලි කැඩී වැටුණේය. බිත්ති මතින් පිපිරීම් සහ ජල කාන්දුවීම්ද ඇතිවුණි. මෙවැනි වාතාවරණයක් යටතේ එල්ෆින්ස්ටන් රඟහලේ යම් අලුත්වැඩියා කටයුතු කිහිපයක් කිරීමට පාලන කමිටුවට අවශ්‍ය විය.
මේ පිළිබඳව ඔවුහු මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියාන් ඩයස් මහතාගෙන් උපදෙස් ලබාගත්හ. පාලන කමිටුවට අවශ්‍ය වූයේ ප්‍රසංග පවත්වන අතරතුරේදී රඟහල තුළ පැවැති අඩුලුහුඩුකම්, අලුත්වැඩියාවන් සිදුකිරීමටය. නමුත් මහාචාර්ය ප්‍රියාන් ඩයස්ගේ තීරණය වූයේ වහාම මෙහි කටයුතු නවතා අලුත්වැඩියා කටයුතු සිදුකරන ලෙසය. ඒ තරමටම එල්ෆින්ස්ටන් රඟහල අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබුණි. ඉන්පසුව එම අවදානම නොතකා එල්ෆින්ස්ටන් රඟහල පවත්වාගෙන යාමට පාලන කමිටුවද අකමැති විය. මේ නිසාම එවකට වෙන්වුණු බොහෝ ප්‍රසංග නතර කර දමා අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් යොමුවීමට සිදුවිය. සාමාන්‍ය ඇසට නොපෙනෙන තරමට එල්ෆින්ස්ටන් රඟහල දැඩි අවදානමකට මුහුණ පා තිබුණි. ඒ අතර මරදානට යාබදව තිබූ එක් බිත්තියක් ඇලවී තිබුණි. මෙයට මරදානේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් යම් බලපෑමක් ඇතිවන්නට ඇතැයි ඔවුන් නිගමනය කර තිබේ. මේ නිසා වහාම එල්ෆින්ස්ටන් රඟහල වසා දමන ලදී. ඒ 2011 වසරේදීය.
ඉන්පසුව අවශ්‍ය සැසුම් නිර්මාණය කිරීමේ මූලික කටයුතු සඳහා මාස හත අටක් පමණ කාලයක් වැය විය. මෙම කාර්ය සඳහා බාරවූයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවටයි. එල්ෆින්ස්ටන් රඟහලේ සියලු අලුත්වැඩියාවන් වසර තුනකින් සිදුකර අවසන් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඒ වෙනුවෙන් විශාල ශ්‍රම බලකායක් දායක විය. විශේෂයෙන් මෙම කටයුත්තේ ප්‍රධාන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරිණි. එල්ෆින්ස්ටන් රඟහලේ මුල් පැලැස්තරය ඉවත් කරන විට සිදුවී ඇති අවදානමේ තරම ඔවුන්ට දැකගත හැකි විය. බිත්ති බොහෝමයක් සිතා ගැනීමට නොහැකි අන්දමේ විශාල පිපිරීම්වලට ලක්ව තිබුණි. මේ නිසා ඔවුහු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මේ බව දැනුම් දුන්හ. ඔවුන් සිදුකළ පරීක්ෂණවලට අනුව ඉතා සියුම් ලෙස, ඉතා පරෙස්සමෙන් මෙම අලුත්වැඩියාවන් සිදුකළ යුතු බව දැනුම් දෙනු ලැබීය.
“ඔවුන් ලබාදුන් උපදෙස් මාලාවට අනුව ඉන්පසුව අපි එල්ෆින්ස්ටන් රඟහල අලුත්වැඩියා කළේ හරියට සංරක්ෂණය කරන්නත් වගේයි. ඉතාමත් සෙමින් සියුම් ලෙස පරිස්සමින් ඒ කටයුතු සිද්ධ වුණා. එක් කොටසක් අලුත්වැඩියා සිදුකරද්දී වෙනත් තැනක අලුත්වැඩියාවක් සිදුකරන්න බැහැ. මේ නිසා තමයි බාරදීමට ඉලක්ක කරගත් දින වකවානුවලට එල්ෆින්ස්ටන් රඟහල අලුත්වැඩියා කරල ඉවර කරන්න බැරිවුණේ.”
අධ්‍යක්ෂ පාලන හා සංවර්ධන නිපුණ දිසානායක මහතා දේශයට එසේ පැවසීය. කඩාවැටීමට ආසන්නයේම පැවැති ගොඩනැගිල්ලක්, රංග ශාලාවක් වසර අටකට පසුව නැවත ජනතා අයිතියට පත්වූයේ එම දුෂ්කර ක්‍රියාදාමයෙන් පසුවය. ඔවුන්ගේ අදහස වන්නේ නැවත ප්‍රතිසංස්කරණ කළ මෙම එල්ෆින්ස්ටන් රඟහලට තව වසර සිය ගණනාවකට වඩා කාලයක් ආයුෂ පවතින බවය.
එල්ෆින්ස්ටන් රඟහල යනු මෙරට කලාකරැවන් කලාකාරියන් නිතර ගැවසුණු රංග ශාලාවකි. වේදිකා නාට්‍යවලින් බිහිවූ බොහෝ කලාකරුවන් වැඩිපුරම කාලය ගත කළේ එල්ෆින්ස්ටන් වේදිකාවේය. එසේත් නැත්නම් එහි කැන්ටිමේය. වේදිකා නාට්‍යයක් පෙන්වීමට ඉතා සාධාරණ මුදලක් අයකළ හෙයින්ම වේදිකා කලාකරුවෝ එල්ෆින්ස්ටන් ඇසුරේ කල් ගෙවන්නට ප්‍රිය කළහ. මරදාන නගරයේම පිහිටා තිබූ රඟහලට බස්රථයෙන් හෝ දුම්රියෙන් හෝ පැමිණීමට පවා පහසු විය. බොහෝ කලාකරුවන්ට අද මෙන් පෞද්ගලික රථවාහන තිබුණේ නැත. බොහෝ කලාකරුවන් කලාකාරියන් ගමන් ගත්තේ මාර්ගයේ ගමන්ගත් පොදු බස්රථවලිනි. එසේත් නොමැති නම් දුම්රියෙනි. මේ නිසාම වේදිකා නාට්‍යයක පුහුණුවීම් හෝ වේදිකාගත කිරීමකින් අනතුරුව මහ රෑක හෝ බස්රථයක, දුම්රියක යාමට පහසුකම තිබිණි.
නමුත් එල්ෆින්ස්ටන් රඟහල වසා දැමීමත් සමඟ සිදුකරනු ලබන නවීකරණ කටයුතු සමඟත් මේ පිළිබඳව කලාකරුවන් අතර කුකුසක් ඇතිවිය. සමහරු මෙය පෞද්ගලික ආයතනයකට විකුණා ඇති බවට පොඩි රාවයක් ගෙන ගියහ. පසුගිය කාලයේදී ඉතා විශාල මහ පරිමාණයේ රංග ශාලා විවෘත කළද, නවීකරණය වූ රංග ශාලාවන් විවෘත කළද බොහෝ කලාකරුවන්ට තමන්ගේ ප්‍රසංගයන් එහි පෙන්වීම සැබැවින්ම හීනයකි. ජාත්‍යන්තර රංග ශාලාවක් තරමටම එම රංග ශාලාව දියුණු වුවද අපේ රටේ දුප්පත් කලාකරුවන්, කලාකාරියන්ට එහි ප්‍රසංගයක් පැවැත්විය නොහැක. ඒ තරමටම එහි මිල ඉහළය. මේ නිසාම නවීකරණය වූ එල්ෆින්ස්ටන් රඟහලද මේ රටේ කලාකරුවන්ගෙන් කලාකාරියන්ගෙන් ඈත්ව යාවි යැයි සැකයක් ඇතැමුන් තුළ පැන නැගුණි.
“නවීකරණය වුණ එල්ෆින්ස්ටන් රඟහලේත් එහෙම ලොකු මුදලක් අය කරන්නේ නැහැ. කලාකරුවන්ට නාට්‍යයක් පෙන්වීමට පුළුවන් මට්ටමේ මිලක් තමයි තීරණය කරන්නේ. මේ දිනවල ඒ මිල ගණන් පිළිබඳව අපි සාකච්ඡා කරමිනුයි පවතින්නේ. විශේෂයෙන් නාට්‍ය වෙනුවෙන් එල්ෆින්ස්ටන් රඟහල මිල විශාල විදිහට අඩුකිරීමක් කරනවා. අපේ ආයතනයේ අරමුණ වන්නේ නාට්‍ය ප්‍රවර්ධනය කිරීමයි. ඒ නිසා නාට්‍යවලට අපි විශාල මුදලක් අඩු කරනවා. නාට්‍ය පුහුණුවීම් සඳහා වුණත් අපි ලොකු මුදලක් ගන්නේ නැහැ.” යැයි නිපුන දිසානායක මහතා පවසයි.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්නට තීරණය කර ඇත්තේද නවීකරණය වූ එල්ෆින්ස්ටන් රඟහලේය. පැරණි එල්ෆින්ස්ටන් රඟහලේ එතරම් වැසිකිළි පහසුකම් නොතිබුණි. එකල ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ වහාම වම් අත පැත්තට වැසිකිළි දෙකක් පිහිටා තිබුණි. නාට්‍ය හෝ ප්‍රසංග අතරවාරයේ ලැබෙන සුළු විවේක කාලයේදීත්, නාට්‍ය අවසානයේදීත් බොහෝ දෙනෙක් තම අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා වැසිකිළිය අසල එකල පොරකෑහ. තම අවස්ථාව එනතුරු දිගු වේලාවක් බලා සිටීමට සිදුවිය. ඒ අවට ඉතා දුගඳක්ද වහනය විය. නමුත් අද වෙද්දී වැසිකිළි පද්ධතියක් වෙනමම කොටසක ඉදිකර ඇත.
වර්තමානයේදී නවීකරණය වූ ආසන හයසිය හතළිස් හතරකින් සමන්විත, නවීකරණ වූ අලෝකකරණයකින්, වායු සමීකරණ කරන ලද, ජෙනරේටර් සහිත ඉතා අංග සම්පූර්ණ රංග ශාලාවක් බවට එල්ෆින්ස්ටන් රඟහල පත්ව ඇත.
විශේෂ ස්තූතිය
නිපුණ දිසානායක - අධ්‍යක්ෂ (වැඩබලන) පාලන හා සංවර්ධන
උදය වන්නිආරච්චි - කළමනාකරු
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ