එක්දහස් අටසිය හැත්තෑවේ පමණ පටන් කොළඹ නගරයේ ජනගහනය වේගයෙන් වර්ධනය වන්නට පටන්ගෙන තිබේ. අටසිය හැත්තෑවේ ජනගහනය අටසිය අනූව වනවිට දෙගුණවී ඇත. බොහෝ ජනයා වාසනාව සොයාගෙන එකල සිට ගම්වලින් කොළඹ නගරයට ඇදෙන්නට පටන්ගත්හ. ඔවුනට විනෝදාස්වාදය සපයන නාටක ශාලාවන්ගේ අවශ්‍යතාව කොළඹ නගරය තුළ මුලින්ම පැන නැගුණේ ඒ කාලයේය.
නාට්‍යශාලා ඉදිකිරීම ලාභදායී ව්‍යාපාරයක් වූ නිසා ව්‍යාපාරිකයෝ නොපැකිළිව ඒ සඳහා මුදල් යොදවන්නට ගත්තෝය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1868 සිට 1911 යන වසර 44ක කාල පරිච්ඡේදය තුළ කොළඹ නගරය තුළ නාට්‍ය ශාලා 23ක් ඉදිවූ බව මහාචාර්ය තිස්ස කාරියවසම් තම - සිංහල නාට්‍යයේ විකාෂණය 1867-1911 නම් පර්යේෂණ ග්‍රන්ථයෙන් පවසා තිබේ. නාට්‍යශාලා යනුවෙන් හැඳින්වූවද ඒවා බොහෝමයක් පොල්අතු මඩුය. දැඩි රස්නයට පිළියමක් ලෙස පොල් අතුවලින් ඒවා ඉදිකිරීම වඩා යෝග්‍ය වන්නට ඇතැයි අපට “ද සිලෝන් ටයිම්ස්” පුවත්පතේ 1884-8-9 දින කතුවැකිය කියවූ විට සිතේ. එම කතුවැකියේ මෙසේ සඳහන් වී ඇත.
“කොළඹ දැනට ඇති රංගශාලාවල රංගභූමි ඉතා කුඩාය. ගෑස් ලාම්පූ දැල්වූ විට පෝරණුවක් මෙන් රස්නය. වීදුරු ජනෙල් වැසීම නිසා ඇතුළත හුස්ම ගන්නටත් අමාරුය. “ෆ්ලෝරල්" ශාලාව තැනීමට 1883 සැප්තැම්බර්වල වියදම් කළේ රුපියල් 6000කි. දැන් එය රුපියල් 1600/-කට බදු දී තිබේ. ඒ ශාලාවට අල්ලා නැටුම් හලක් බුරුත ලීයෙන් කළත් ඒ තැන නටන්නට කවුරුවත් එන්නේ නැත. ඇතුළුවන්නට ඇත්තේ කුණු ගඳ ගහන වීදියකිනි. දොරවල් වැසීම නිසා මුහුදු සුළඟවත් එන්නේ නැත. ඒ නිසා කොළඹට අවශ්‍ය රංගශාලාවක් තැනිය යුත්තේ නගර සභාවයි."
වඩාත් ආවරණය කරන ලද නාට්‍ය ශාලාවලට වඩා පොල්අතු මඩු ඒ දිනවල වඩාත් හොඳ වන්නට ඇත. මෙකී පොල්අතු නාට්‍ය ශාලා බොහෝමයක් තිබී ඇත්තේ කොළඹ මල්වත්තේය. පරණ රැකට් කෝට් හෙවත් මල්වත්තේ මඩුව, මල්වත්තේ කුසුම ශාලාව, මල්වත්තේ සිංහල නෘත්‍ය සමාගම් මඩුව, මල්වත්තේ පැවිලියන් තියටර්, මල්වත්තේ පාර්සි නෘත්‍ය ශාලාව, මල්වත්තේ බයිස්කෝප් ශාලාව, මල්වත්තේ ඇම්පයර් පික්චර් පැලස් ඉන් කිහිපයකි. දැන් නානාවිධ ඝෝෂාවලින් පිරි පිටකොටුවේ මල්වත්ත එකල නාට්‍ය ලෝලීන් ඇඳ බැඳගත් “මහා රංග භූමියක්" බව මෙයින් පෙනේ. ඉහත කී මල් වත්තේ කුසුම් ශාලාවේ, ජෝන් ද සිල්වාගේ ප්‍රථම නාට්‍ය වූ රාමායණය, 1886 මැයි 31 දින වේදිකා ගතවෙද්දී සතුරකු විසින් එයට ගිනි තබා තිබිණි. ශාලාව (හෙවත් පොල්අතු මඩුව) ගින්නෙන් විනාශ විය. ඉන්පසු රාමායනය නාට්‍ය හැඳින්වූයේ ගිනිගත් රාමායණය නමිනි.
ජෝන් ද සිල්වා ශූරීන් කොළඹ නගරයට හොඳ රංගශාලාවක අවශ්‍යතාව පෙන්වාදීමෙන් පසු ගනේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්ද්‍රික් සෙනෙවිරත්න යන අය 1907-9-27 වැනිදා රුපියල් විසිදාහකට මරදානේ පංචිකාවත්ත පාරේ අංක 43 දරණ මෙරිඤ්ඤගේ වත්තේ පර්චස් 68ක් මිලදී ගත්තේය. ටවර් රංගශාලාව ඉදිවූයේ එතැනය. 1911 දෙසැම්බර් 16 වැනිදා එවකට කොළඹ නගරාධිපති කේ.වී.බී. මැක්ලියොඩ් විසින් ටවර් රංගශාලාව විවෘත කරන ලදී. ටවර් හෝල් යුගය පටන්ගත්තේ එදා සිටයි. තැන් තැන්වල නාට්‍ය ශාලා නමින් තිබුණු පොල් අතුමඩු වැසී යන්නට ගත්තේ ඉන් අනතුරුවයි.
ජෝන් ද සිල්වා ශූරීන්ගේ රාමායණය පෙන්වූ කුසුම ශාලාව එදා ගිනි තැබුවා සේම ජෝන් ද සිල්වා නාට්‍ය ශාලාව ද වසර කිහිපයකට පෙර කඩාදමා පොළොවට සමතලා කරනු ලැබිණි. ඒ වෙනුවට අංගසම්පූර්ණ රංගශාලාවක් ඉදිකර දෙන්නට වර්තමාන නාට්‍යකරුවන්ට පොරොන්දු දී ඇතත් මෙතෙක් එම පොරොන්දුව ඉටුවී නොමැත.
මේ වනවිට කොළඹ නගරය පුරා රංගශාලා රාශියක් ඉදිවී ඇතත්, නාට්‍යකරැවන් සහ නාට්‍ය ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගන්නට සමත් වූයේ ඉන් කිහිපයක් පමණකි. විවිධ හේතු ඊට බලපා තිබේ.
හැට, හැත්තෑ ගණන්වලදී නාට්‍යකරුවන්ගේ පමණක් නොව සංගීත ශිල්පීන්ගෙත්, ප්‍රේක්ෂකයන්ගේත් ආකර්ෂණය දිනාගෙන තිබූ නාට්‍යශාලාවකි හැව්ලොක් ටවුමේ පිහිටි ලුම්බිණි රඟහල. තම නිර්මාණයේ පළමු දර්ශණ ලුම්බිණි රඟහලේ පවත්වන්නට බොහෝ කලාකරුවෝ උනන්දු වූහ. තමන්ගේ නිර්මාණය ප්‍රේක්ෂකයා ඉදිරියේ මුලින්ම තබන්නට හොඳම තැන එම ශාලාවයැයි බොහෝ නිර්මාණකරුවෝ විශ්වාස කළහ. එතැන “සීදේවී තැන"යයි බොහෝ අය කීවෝය. එය බොරුවක් නොවේයයි සිතෙන්නේ එතැනින් ඇරඹුණු නාට්‍ය ඇතුළු බොහෝ ප්‍රසංග වසර ගණනාවක් යනතුරු ප්‍රේක්ෂකයා අතර රැඳී බොහෝවාරයක් ප්‍රදර්ශනය වූ බැවිනි.
1973 ජූලි 20 වැනිදා වික්ටර් රත්නායක කලාකරුවාණන්ගේ පළමු “ස" ප්‍රසංගය අසා දැකගැනීමේ වාසනාව මා හටද තිබිණි. ලුම්බිණි ශාලාවට ඔරොත්තු නොදෙන මහ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එතැනට ඇදී ඇතුළත ගේට්ටුව කඩාගෙන ශාලාවට ඇතුළු වුණා මට මතකය. එහෙත් ප්‍රසංගය ආරම්භ වූ විට ප්‍රේක්ෂකයෝ අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇසෙන තරමට නිශ්ශබ්ද වූහ. “ස" ප්‍රසංගය දහස් ගව්වද පසුකොට ප්‍රේක්ෂකයා ඉදිරියට ආයේය. ගිය වසරේදී “ස" ප්‍රසංගය බලෙන් නවතා දමන තුරුම එය ප්‍රේක්ෂක සිත් පැහැර ගත්තේය. නාට්‍ය වුවද එසේය. එකල ප්‍රවීණ නාට්‍යකරුවෝ සියලු දෙනාම පාහේ තම පළමු දර්ශනය පැවැත්වූයේ ලුම්බිණි රඟහලේය. නාට්‍යකරුවන් ඊට ආකර්ෂණය වන්නට එක් හේතුවක් වූයේ ශාලාව වෙන්කර ගැනීමේ ගාස්තුව බෙහෙවින් අඩු වීමයි. එකල ලුම්බිණි විද්‍යාලයේ කාර්යාලයේ සේවය නියුතුව සිටි “ජීන් මිස්" ශාලාව වෙන්කර දීම අගතියක් නොවෙන්නට ඉටුකළාය. ශාලාව භාරව සිටි “බාලසූරිය අයියා"ට ඊළඟ පරම්පරාව “බාලසූරිය අංකල්" කියන තුරුම ඔහු සේවයේ යෙදී සිටියේය. පසු කලෙක ඔහු ලවා තම පළමු දර්ශනයේ පොල්තෙල් පහන පත්තු කරගන්නට ද ඇතැම් නාට්‍යකරැවෝ උත්සුක වූහ.
වේදිකාවේ ඉන්නා නළුවකු රහස් හඬින් කොඳුරා කියන දෙබසක් පවා ප්‍රේක්ෂකාගාරයේ අන්තිම පේළියටත් ප්‍රක්ෂේපණය (Project) වන ලෙස වේදිකාවත්, රංගශාලාවත් නිර්මාණය කිරීම අතිශ්‍යය විද්‍යානුකූල කටයුත්තකි. එය ගෘහ නිර්මාණ ශිල්පයෙන් මඳක් ඔබ්බට ගිය කටයුත්තක් වේ. ශ්‍රී ලංකාවේ කොපමණ රංගශාලා තිබුණත් ඒ ගැන සිතා සාර්ථකව නිර්මාණයකොට ඇත්තේ “ලයනල් වෙන්ඩ්ට්" රංගශාලාව පමණකැයි කිවහොත් බහුතර නාට්‍ය ශිල්පීන් පිරිසක් මා සමඟ එකඟවනවා ඇති. 1953 දෙසැම්බර් 12 වැනිදා විවෘත වූ ලයනල් වෙන්ඩ්ට් රංගශාලාව අද පවා සියුම් රංග කාර්යයන්ට උචිත තැනක් ලෙස කල්තියාම නිර්මාණය වී ඇත්තේ ඉබේ නොවේ. ඡායාරෑප ශිල්පී කලකරු ලයනල් වෙන්ඩ්ට් සිහිවීම පිණිස රංගශාලාව ඇතුළු කලාගාරය ඉදිකිරීමට පුරෝගාමී වූ අයගේ විස්තරවලින් මේ බව සනාථ වේ. ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පළමු භාරකාර මණ්ඩලයේ සිටි එකම යාවජීව සාමාජිකයා වූ හැරල්ඩ් පීරිස් (1904 - 1988) අසහාය බුද්ධිමතෙකි. නීතිඥවරයෙකි, රචකයෙකි, ගුරුවරයෙකි, ජනහිතකාමියෙකි, කලාකරුවන්ට අනුග්‍රහය දක්වන්නෙකි. (චාල්ස් හෙන්රි ද සොයිසා ධානපතීන්ගේ පරපුරේ අයෙකි.)
මෙම රංගශාලාව ඉදිකරන්නට පුරෝගාමී වෙමින් එහි පළමු භාරකාර මණ්ඩලයේ සිටි තවත් බුද්ධිමතෙකි ආචාර්ය පෝල් ඊ පීරිස්. ඔහු ෆොසිල විද්‍යාඥයෙකි. සත්ව විද්‍යාඥයෙකි. අප ඔහු හඳුන්වන්නේ පුරා විද්‍යාඥයකු හා ඉතිහාසඥයකු ලෙසයි.
ලයනල් වෙන්ඩ්ට් රංගශාලාව අතිශය සාර්ථක රඟහලක් බවට පත්වීමේ පසුබිම එයයි. එහි පළමුවෙන්ම රඟ දැක්වූයේ ඊ.එෆ්.සී. ලඩොවික් නිෂ්පාදනය කළ මැක්සිම් ගෝර්කිගේ “The Lower Depth”නාට්‍යයයි. රංගශාලාව විවෘත කළ 1953 දෙසැම්බර් 12 දින රංග ගතවූ එහි අයිරාංගනී සේරසිංහ ද රඟපෑවාය. 1956 මනමේ නාට්‍යයත් 1961 දී කරදිය නාට්‍යයත් මුල්වරට එහි රංග ගත විය.
මෙතරම් අති සියුම් සංවේදී කලාගාරයක් වූ ලයනල් වෙන්ඩ්ට් රංගශාලාව පවා එතැනින් ඉවත් කරන්නට යම් යම් තර්ජන පසුගිය සමයේ එල්ලවුණු බවට ආරංචි විය. නාට්‍යයක් නරඹමින් ඉන්නා අතරතුර ප්‍රේක්ෂකයන් එක් දිනක් නාට්‍ය ශාලාවෙන් ඉවත් කර තිබිණි.
කඳු අතර එළිමහනේ, බුද්ධිමත් ප්‍රේක්ෂක ජනකායක් මැද, ඇතැම් විට හීතල හිරිපොද සිරි සිරි ගා වැටෙද්දී පේරාදෙණිය, සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ රඟපාන විට ශිල්පියකුට අත්විඳගත හැකි රංගාශ්වාදය සිරිලක වෙනකිසි තැනක රඟපෑමෙන් නොලද හැකි තරම්ය. එතැන තුන්දහසකට වඩා ඉන්නා ප්‍රේක්ෂකයාට කටහඬ ප්‍රක්ෂේපණය කිරීමේ ගැටලුවක් නළුවකුට මතුවන්නේ නැත. වළේ සොබාවික පිහිටීම කටහඬ පහසුවෙන් ප්‍රක්ෂේපණය වීමට ඉවහල් වී ඇත. මහාචාර්ය සරච්චන්ද්‍ර මෙතැන නාටක රඟදැක්වීම ආරම්භ කර ඇත්තේ ඒ පිළිබඳ දැනුම්වත්ව විය යුතුය.
පේරාදෙණිය “වළ කාලයට" එහි නාට්‍ය නරඹන්නට එන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සරසවි ඇඳුරන් පමණක් නොවේ. ඒ අවට පදිංචිව සිටින නාට්‍ය ලෝලී ජනතාවත් කාලයක් පුරා එතැන නාට්‍ය නරඹන්නට හුරුවී සිටිති. පසුගිය දශකවල වළේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා අතර (දිවංගත) මහාචාර්ය ඈෂ්ලි හල්පේ නොසිටියේ කලාතුරකිනි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ද එතැන වැරදුණේ කලාතුරකිනි. දැන් සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ උන්නතියට ඉවහල් වන සම්ප්‍රදායික විද්වත් දායකත්වය මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැන්නන්ගෙන් ලැබේ. මෑතකදී රඟමඬලේ හාදුවක් දැක එය ඉවසා දරාගන්නට බැරිවූ නාට්‍ය රසය පරයා සදාචාර රසය ඉහට ගත් පිරිසක් වළේ ප්‍රේක්ෂකයා දශක ගණනාවක් තිස්සේ රුකගත් හොඳ නමට කැලැල් කළහ. දැන් වළ සුපුරුදු තත්ත්වයට පත්ව ඇති බව සැලයි.
ඉස්සර වළේ ප්‍රේක්ෂකයාගෙන් ඉඳහිට ලැබෙන අසම්මත ප්‍රතිචාර නාට්‍යකරුවන් දිරිගන්වන සුළු නිර්මාණාත්මක සුන්දර ප්‍රතිචාරයන්ය. 1961 සැප්තැම්බර් මාසයේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකය පළමු වරට රඟදැක්වූයේ මෙහිය. කඩුගන්නාව ගල විදපු තැන පාර අලුත් කරන්නට පෙර නාට්‍යකරැවන් නාට්‍යයේ පසුතල නිර්මාණ (Setඑක) නිර්මාණය කළේ ඒවා බස්රථයේ උඩ පටවාගත් විට විදපු ගලෙන් රිංගා යා හැකි තරම් ලොකුවට පමණකැයි නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් කියා තිබිණි. මන්දයක් හොඳ නාට්‍යයකට පේරාදෙණිය වළේ දර්ශනයක් සඳහා ආරාධනා ලැබීම අනිවාර්ය නිසාය.
අංගසම්පූර්ණ රංගශාලාවක් උදෙසා ප්‍රෙක්ෂකයන්ගෙනුත්, නාට්‍යවේදීන්ගෙනුත් තිබූ ඉල්ලීමේ උපරිමය චීන ජනරජයේ සහාය ඇතිව නෙළුම් පොකුණ රඟහල ඉදිවීමයි. මෙය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල නමින් 2011 දෙසැම්බර් 15 දා විවෘත විය. ඒ සඳහා වියදම් වූ මුළු රුපියල් මිලියන 3080ක වියදමෙන් රුපියල් මිලියන 2430ක් දැරුවේ චීන ජනරජයයි. නෙළුම් පොකුණ රඟහලේ ප්‍රේක්ෂකයන් 1288ක් සඳහා ආසන පහසුකම් පවතී. වර්ග මීටර 14000ක් පුරා රඟහල පැතිර ඇත. වේදිකාවේ විශාලත්වය වර්ග මීටර් 690කි. එම දැවැන්ත වේදිකාව එහාමෙහා කළ හැකිය. සංගීත කණ්ඩායම ඉන්නා Orchestra Pit එක වේදිකාවේ මට්ටමෙන් ඉහළ පහළ විතැන් කළහැකිය. පොළොන්නරුවේ ඇති මහා පරාක්‍රමබාහු රජතුමාගේ නෙළුම් පොකුණේ අටපෙති හැඩයට මෙය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික සමාගමක් වන කහවිට ද සිල්වා ඇන්ඩ් ඇසෝසියේට්ස් සමාගමයි. ඉදිකිරීම් කළේ චීන Yanjian සමූහයයි. වාහන 500ක් ගාල් කිරීම සඳහා රඟහල භූමියේ ඉඩ පහසුකම් තිබේ.
එහෙත් කනගාටුවට කාරණය වන්නේ විවෘත කළදා පටන් මේ දක්වා නාට්‍ය දහයක්වත් මෙහි රංග ගත නොවීමයි. බොහෝ විට මෙම රංගශාලාව භාවිත වන්නේ දැවැන්ත සංගීත සංදර්ශන සඳහාය.
ප්‍රායෝගිකව මෙහි නාට්‍ය දර්ශනය නොවෙන්නට බලපාන මූලිකම කාරණය ශාලාව වෙන්කරවා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව ඉතා ඉහළ එකක් වීමයි. එය ශ්‍රී ලාංකීය නාට්‍ය ප්‍රේක්ෂකයාටත් නාට්‍යකරුවාටත් ඔරොත්තු නොදෙන තරම් ඉහළ එකකි.
එල්ෆින්ස්ටන් රඟහල සියලු පහසුකම් සහිතව නවීකරණයකොට ඇති බව දැනගන්නට ලැබීම සතුටට කරුණකි. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි 18 වැනිදා පටන් එහි පැවැත්වීමට නියමිත වීම ඊටත් වඩා සතුටට කරුණකි.
ශේක්ස්පියර් නාට්‍යයකින් කීවාක් මෙන් ලෝකය රඟහලකි. අපි එහි රඟන නළුවන් වෙමු. අප සැමදෙනාටම ලෝකය නම් එම රඟහලට ප්‍රවිශ්ඨවීම් සහ නික්මයාම ඇත. රඟන්නේ ඉන්න ටිකේය. ඉන්න ටිකේ නාට්‍ය නරඹා බුද්ධිය වර්ධනය කරගත යුතුය. එසේ නොකළහොත් මැක්බත් කීවා මෙන් හෙටින් හෙට... හෙටින් හෙට... හෙටින් හෙට... ජීවිතය ගෙවී යද්දී අපට අප ගැනත් කියන්නට වන්නේ “අසරණ රඟන්නා පෑ ගණන් කරළිය මත කා දමා නිහඬ වුණා. මුග්ධයකු උන්මාදයෙන් කී කතාන්තරයක් මිස එහි අරුත්බර කිසිත් නැත." යන්නය.
සමන් පුෂ්ප ලියනගේ