2019 මාර්තු 09 වන සෙනසුරාදා

ලංකාවේ මුල්ම සුහුරු ධීවර වරාය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 198

මේ දිවයිනේ හැම අතින්ම විවිධ ජාතීන්ට අයත් ජනකොටස් ජීවත් වෙති. ඔවුන්ට ඇති ප්‍රශ්න, ජාති ආගම් බේද නොසලකා පොදුවේ පවතී. එහෙත් එම ගැටලු අතරේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක්ව නියැලී සිටින රැකියාවක් ඇත. ගැටලු, අභියෝග මධ්‍යයේ කෙරෙන එම රැකියාව නම් කරදිය මත්ස්‍ය කර්මාන්තයයි. ලංකාව සතර කොණින්ම කරදියෙන් වටවූ ගොඩබිමක් නිසා මෙම කර්මාන්තය සිදුකිරීමේ වපසරිය වැඩිය. එමෙන්ම රටෙන් 17%ක් දෙනා මෙම කර්මාන්තය ජීවිකාව කර ගනිමින් ජීවත් වෙති.

දශක දෙකකට පමණ පෙර ධීවර කර්මාන්තය ස්වර්ණමය යුගය සටහන් කර තිබේ. එම නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල විශාල ජනතාවකගේ අතමිට සරැවිය. නමුත් එකල තාක්ෂණය දියුණු නැති නිසා සති ගණන් මුහුදු යන බෝට්ටු නැවත ගොඩබිමට පැමිණෙන තුරු විශ්වාසයක් නොතිබිණි. නමුත් අද වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. තාක්ෂණය දියුණුය. GPS සහ රේඩියෝ තරංග ඔස්සේ ඔවුන්ට අනෙක් බෝට්ටු සමඟ සබඳතා පවත්වා ගැනීමට හැකියාවක් පවතී.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකයේ අනෙක් රටවල මෙන් ලංකාවද මේ වනවිට කටයුතු කිරීමට පටන්ගෙන තිබේ. තාක්ෂණය යනු විශ්වීය යාන්ත්‍රණයේ හුදු මෙවලමකි. තාක්ෂණය උපයෝගී කර ගනිමින් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ පළමු සුහුරු පන්ති කාමරය අරඹන ලද්දේ කෝට්ටේ පිරිමි ජාතික පාසලෙනි. එම තාක්ෂණය අනුව යමින් ලංකාවේ පළමු සුහුරැ ධීවර වරාය (Smart fishery harbor) ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනය කිරීමට මේ වනවිට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර එමගින් ලැබෙන විදුලියෙන් කලමැටිය ධීවර වරායේ උත්පාදනය කෙරෙන සියලු විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාවක් පවතින බවත්, එමගින් ජාතික විදුලි අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමටද සුහුරැ ධීවර වරාය (Smart fishery harbour) සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සඳහන්ය.

එමෙන්ම ධීවර වරාය ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර, එමගින් ධීවර වරාය හරහා සිදුකෙරෙන විවිධ ජාවාරම් මැඩපැවැත්වීමට මෙන්ම ධීවර වරායේ සියලු කටයුතු, ධීවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය, බෝට්ටුවේ ගමන් ගන්නා අය, බෝට්ටුවට පටවන දෑ ඇතුළු සියලු කටයුතු අධීක්ෂණය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.  

ආර්. ඇන්තනී

අපේ ධීවර වරාය මේ විදියට සංවර්ධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ධීවරයෝ ලෙස විශාල වශයෙන් සතුටට පත් වෙනවා. අපි මීට පෙර බොහෝ අවස්ථාවල මේ රස්සාව කළේ බොහොම අමාරැවෙන්. දැන් ධීවර වරාය සංවර්ධනය වන ආකාරය පිළිබඳව අපි සතුට පත්වන්නේ ඒ නිසයි. ඒ වගේම තමයි, අපේ ගම්මානවලට පානීය ජල ගැටලුව බෙහෙවින්ම බලපාල තියෙන ප්‍රශ්නයක්. මෙම සුහුරැ ධීවර වරාය සංකල්පය යටතේ පානීය ජලය ලබාගැනීමේ හැකියාවක් පවතින බව අපට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි ධීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් සෑහීමකට පත්වෙන්න පුළුවන්. ධීවරයන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලීම තමයි මෙහිදී අපිට වැදගත්ම කාරණය වෙන්නෙ. මේ ආකාරයට ධීවර වරාය සංවර්ධනය කිරීමට පියවර ගැනීම පිළිබඳව රජයටත් ඇමැතිතුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි

ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනය කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. කොරියානු ආධාර යටතේ Smart fishery harbor හැටියට මෙම සංකල්පය ක්‍රියාත්මක කරනවා. මෙම වැඩපිළිවෙළ යටතේ ජලය සහ විදුලිය ලබාගැනීම පිළිබඳවත් අපි අවධානය යොමුකරලා තියෙන්නේ. ඒ වගේම ධීවර වරායේ ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පූර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීමට විශේෂ අධ්‍යනයක නිරත වුණා. ඒ අවස්ථාවේ තමයි මෙහි නිරීක්ෂණයට එක්වී සිටි කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුවේ පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150ට වඩා යට සිට පිරිසුදු පානීය ජලය ලබාගැනීම මගින් ධීවර වරායේ කටයුතු සඳහා පමණක් නොව, අවට ගම්මාන සඳහා ද පානීය ජලය ලබාදීමේ හැකියාවක් පවතින බව. ඇත්තටම මෙය මේ කලමැටිය ප්‍රදේශය අවට පවතින උග්‍ර පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එසේම ධීවර යාත්‍රා යොදාගනිමින් සිදුවන නීති විරෝධී කටයුතු පාලනය කිරීමට මෙම නව වැඩපිළිවෙළ යටතේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ධීවර වරායේ සාර්ථකත්වය අනුව මෙම ව්‍යාපෘතිය අනෙකුත් ධීවර වරාය 22 සඳහාද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මගින් ධීවර කර්මාන්තයේ විශාල දියුණුවක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

මහා පරිමාණයේ අතරමග ඇනහිටින ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට පෙර ධීවර කර්මාන්තය වඩාත් නගාසිටුවීමේ අරමුණින් හඳුන්වාදෙන මෙවැනි අලුත් සංකල්ප කෙරෙහි සැලකිලිමත් වීම ධීවර ජනතාවට වඩාත් වාසිදායක වනු ඇත.

  හසිත් අංජන
  

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00