2019 මාර්තු 09 වන සෙනසුරාදා

වර්ජන රැල්ලකට රටේ හැඩගැස්ම

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

පසුගිය සති අන්තය සහ නුදුරු දිනවල රටේ වෘත්තීය සමිති රැසක් විවිධ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් රජයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටින බව වාර්තා විය. රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරී සංගමය, රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ගුරු විදුහල්පති සංගමය, මෙම වෘත්තීය සංවිධාන අතර ප්‍රධාන වෙයි.

සාමාන්‍යයෙන් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුත්තේ සාකච්ඡා මගින් ගැටලු විසඳාගැනීමට ප්‍රයත්න දරා එය අසාර්ථක වුවහොත් පමණය. වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදීද උද්ඝෝෂණ, පිකටිං, සංකේත වැඩවර්ජන ආදිය මුලින් සිදුකර ඒ සියල්ලටම පසු වැඩවර්ජනවලට යාම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වේ. වෘත්තීය සමිති ආඥා පනතේ දැක්වෙන අයුරු වැඩවර්ජනයකට එළැඹීමට පෙර රජයට කල් දිය යුතු අතර එකවරම වර්ජනවලට යාම නීති විරෝධී කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස සැලකේ.

අපේ රටේ වැඩ කරන ජනතාව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන්නේ බලධරයන්ට ලිඛිතව දන්වා, අනතුරුව සාකච්ඡාවලට යොමුවී ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුවද යන්න පිළිබඳ සලකා බැලිය යුතුය. එසේම රජයද වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට මුලදී ප්‍රතිචාර නොදක්වා සිට ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වූ විට සාකච්ඡාවලට ආරාධනා කරන පුරුද්දක් ඇතිකරගෙන තිබේ.

ඒ නිසා දෙපාර්ශ්වයටම පෙන්වා දිය යුත්තේ වර්ජනය කිරීම අවසාන තුරුම්පුව ලෙස සලකා කටයුතු කිරීම ඒ අයට මෙන්ම ජනතාවටද සහනයක් වන බවය. දැනටමත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුව ඇති වෘත්තීය සමිති පිළිබඳ මෙසේ සමාලෝචනයක යෙදෙමු.

රජයේ විධායක නිලධාරී සංගමය මේ වනවිට රජයට එරෙහි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇත්තේ තමන්ට සිදුව ඇති බලවත් අසාධාරණයක් සාධාරණීකරණය කර ගැනීම සඳහාය. එක් දිනක සාර්ථක සංකේත වැඩවර්ජනයකින් පසු මෙම අයවැයෙන් තම ඉල්ලීම් ඉටු නොවුණහොත් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පවසයි.

මෙම විධායක නිලධාරී සංගමයට ලංකා ඉංජිනේරු සේවය, ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, දේශීය ආදායම් සේවය, මිනුම්දෝරු සේවය, රජයේ විද්‍යාත්මක සේවය, කාර්මික අධ්‍යාපන සේවය ආදී වශයෙන් වෘත්තීන් 16ක් ඇතුළත්ව ඇත.

තමන්ගේ ගැටලු සහ ඉදිරි පියවර පිළිබඳ පැහැදිලි කළ රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි
“පසුගිය 2018 ජනවාරි සිට ආණ්ඩුව ගත් අවිධිමත් තීරණයක් නිසයි මෙම තත්ත්වය උදා වුණේ. එදින සිට නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අධිකරණ සේවය යන සේවා තුනට පමණක් සියයට 300ක පමණ වැටුප් හා දීමනා ඉහළ දැමීමක් සිදු කළා. මෙය සිදුකළේ අංක 06/2006 දරණ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරලයි. මේ අංශ තුනම අඩංගු නීති ක්ෂේත්‍රයට පමණක් විශේෂයෙන් සැලකීම අනිත් සේවාවලට බරපතළ පහරක් වුණා. එයට පෙර මේ සේවා සියල්ල සහ සෙසු සේවාවලද එකම වැටුප් තලයක් තමා තිබුණේ. දීමනාත් සමානයි. මෙය සිදුකළේ කැබිනට් අනුමැතියක් පමණක් ලබාගෙනයි. ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව රජයේ විධායක නිලධාරීන් සහ නීති නිලධාරීන් යන දෙගොල්ලම එකම කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ (Senior level) තමා හිටියේ. එහෙත් මේ සමහර සේවා නොසලකා හැරලා නීති නිලධාරීන්ට පමණක් සුවිශේෂ ලෙස සලකා තිබෙනවා. අප සටන් කරන්නේ එම තත්ත්වය නිවැරදි කර ගන්නටයි.

මේ හේතුවෙන් මේ දෙපාර්ශ්වය අතර විශාල වැටුප් විෂමතාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වනවිට රජයේ දීපව්‍යාප්ත සහ ඇතැම් සේවාවල 3 පන්තියේ විධායක නිලධාරීන්ගේ දීමනා සහිත ආරම්භක දළ වැටුප මාසිකව රුපියල් 50,315ක්. ඒත් නීති ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සියලු දීමනා සහිත දළ වැටුප රුපියල් 3,82,720ක් දක්වා ඉහළ නැග තියෙනවා.

අපේ ඉල්ලීම වන්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් අතර ඇතිකර ඇති මේ විෂමතාව වහාම නිවැරදි කරන ලෙසයි. පසුගිය වසරේ අපි උද්ඝෝෂණ කරන විට මෙම විෂමතාව ගැන සොයා බලා වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත් කළා. මේ වනවිට එම වාර්තාව රජයට බාරදීලයි තියෙන්නේ. තවම එය එළියට දමලා හෝ යම් ක්‍රියාමාර්ගයක් ගෙන හෝ නැහැ. අපි කියන්නේ මේ වාර්තාව විවෘත කරලා අපේ ගැටලුව වහාම නිවැරදි කරන්න කියලයි.

ඉල්ලීම් 13ක් මුල්කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් 73,000ක් පමණ උද්ඝෝෂණ සහ වෘත්තීය සමිති ව්‍යාපාරයකට යොමුව තිබේ.

අසනීප මත පසුගියදා නිවාඩු දමා රාජකාරියෙන් වැළකී සිටින අතර ඒ පිරිස පසුගිය 27දා පෙරවරු 11.00ට කොළඹ විහාරමහාදේවි උද්‍යානයට රැස්වී එතැන් සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක යෙදුණහ. 2013 වසරේ සිට ස්වකීය ගැටලුවලට පිළියම් ලබාදෙන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටියද එම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරැ උදේනි දිසානායක පැවසීය. මෙම රජය බලයට පත්වූ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කළද තම ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බව ඔහු කියයි. ඒ නිසා මෙසේ අසනීප නිවාඩු දමා රාජකාරියෙන් බැහැරව සිටීමට තීරණය කළ බව ඔහු අවධාරණය කරයි. 

තම ඉල්ලීම් අතර එම්.එන්.4 වැටුප් තලය ලබාගැනීම, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා ශ්‍රී ලංකා කළමනාකරණ සේවය යන නාමය ලබාගැනීම, 2006 ජනවාරි 01 දිනට ස්වකීය සේවා ව්‍යවස්ථාව පෙරදා තම කිරීම, උසස් කිරීමේ තරඟ විභාගය යළි පවත්වන ලෙස ඉල්ලීම, අධිශ්‍රේණිය සඳහා එල්.එල්. වැටුප් පරිමාණය ලබාගැනීම මෙන්ම දෙවැනි භාෂා පිළිබඳ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරවාගැනීම ආදිය තම සාධාරණ ඉල්ලීම් අතර වන බව කැඳවුම්කරැ ප්‍රකාශ කර සිටී.

එසේම රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ මෙම ඉල්ලීම් 13 ඉටුකරවා ගැනීම සඳහා එම සමිති සන්ධානයේ නියෝජිත පිරිසක් පසුගිය 27දා ජනාධිපති සමඟ පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක වී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ට උද්ගතව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත. එහෙත් එයින් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව එම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු උදේනි දිසානායක පවසයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී විසඳුමක් ලබාගැනීමට සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට ගියද එයින්ද ප්‍රතිඵලයක් ලැබී නොමැත.

කෙසේ වුවද 27 දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතව ඇත. එහිදී නියෝජිතයන් නව දෙනකුට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සහභාගි වීමට හැකිව තිබේ. තවද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන තුරු එම නිලධාරීන් එදින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වාඩිවී උද්ඝෝෂණයේ යෙදුණු අතර එම අවස්ථාවට සාමාජිකයන් 15000ක් පමණ සහභාගි වූ බව කැඳවුම්කරු පැවසීය.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීහු තමන්ට වහා රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින් පසුගිය 29 දින උදේ 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙයට පෙර පසුගිය 13දා පැවැති උද්ඝෝෂණයේදී, උද්ඝෝෂකයන් ජනාධිපති කාර්යාලයට යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ එම තැත ව්‍යවර්ථ කිරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවද වාර්තා විය. අනතුරුව දෙවැනි උද්ඝෝෂණයද පැවැත්විණි. කෙසේ වුවද මෙම උද්ඝෝෂණවලින් ප්‍රතිඵල නොලැබීම නිසා අනාගතයේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව එම සංවිධානයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.

සියලුම රුකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම, අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරීන් වර්ගීකරණය නොකර, සියලු උපාධිධාරීන්ට රැකියා දීම, රජයේ රැකියාවලට බඳවා ගැනීමේදී වයස අවුරුදු 35ට අඩුවිය යුතුය යන උපරිම සීමාව ඉවත් කිරීම, රැකියා දීමේදී උපාධිය වලංගු වන දිනය මත ප්‍රමුඛත්වය ලබාදීම, දැනට රැකියා ලැබී නැති උපාධිධාරීන්ගේ සේවා අයිතිවාසිකම් තහවුරු කිරීම, උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම එ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම් අතර වෙයි.

තම ස්ථානමාරු නතර කළ බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලිඛිතව දන්වා ඇතැයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කියති. එහෙත් මෙවැනි හිතුවක්කාරී තීරණයක් ගැනීමට සභාපතිවරයාට කිසිදු අයිතියක් නැති අතර, මෙම ක්‍රියාමාර්ගය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ඔහු කියා සිටී. මෙලෙස මුල් තීරණය අත්හිටුවීම නිසා පේරාදෙණියට නිත්‍යානුකූලව ස්ථානමාරු ලැබ සිටින සේවකයන්ටද මහත් අසාධාරණයක් සිදුව ඇති බව ඔහු කියයි.

වාර්ෂිකව ස්ථානමාරැ තීරණය කරන්නේ මාරු මණ්ඩලයකින් වන අතර එම මණ්ඩලයට ප්‍රතිපාදන කොමිසමේ සභාපති, උප සභාපති හා ලේකම් නිල බලයෙන් සාමාජිකයන් ලෙස සහභාගි වන අතර, වෘත්තීය සමිති සාමාජිකයන්ද එහි සාමාජිකයෝ වෙති. මෙලෙස සෑම දෙනාගේම සහභාගීත්වයෙන් නීත්‍යානුකූල ලෙස සිදුකළ ස්ථානමාරු යළිත් අවලංගු කිරීමට සභාපතිවරයා කටයුතු කිරීම විමතියට කාරණයක් බවද ඔහු කියයි. මෙලෙස ඒකාධිපති ලෙස කටයුතු කරන්නේ නම් මාරු මණ්ඩල පත්කිරීම විහිළුවක් බව ඔහුගේ අදහසය.

මෙලෙස හිටිඅඩියේ මාරු මණ්ඩල තීරණ අවලංගු කර ඇත්තේ ඇමැතිවරයාගේ අවශ්‍යතාව මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිටත සේවකයන්ගේ පැමිණීම වළක්වා මහනුවර ප්‍රදේශයේ පුද්ගලයන් පමණක් බඳවා ගැනීමේ රහසිගත වැඩපිළිවෙළකට යොමුවීම නිසා බව ඔවුන් සඳහන් කර සිටී. ඉදිරියේදී මෙයට එරෙහිව පියවර ගන්නා බව ඔහු කියයි.

ශ්‍රී ලංගම විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම ලබන 26 දිනට පෙර ලබාදීමට ක්‍රියා නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ එවකට හිටපු සභාපති රමාල් සිරිවර්ධන සමඟ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් පසුගිය දෙසැම්බර්වල පැවැත්වූ සාකච්ඡාවේදී ලංගම විධායක සහ විධායක නොවන සියලු සේවකයන්ගේ වැටුප් වැඩිවීම 2018-10-01 දින සිට බලපාන පරිදි ලබාදීමට තීරණය වූ බව ඔහු කීවේය.

මෙලෙස වැටුප් වැඩි කිරීමට හිටපු සභාපතිවරයා පොරොන්දු වුවද 2018 ඔක්තෝබර් 27දා සිට ලංගම ඇතැම් වෘත්තීය සමිති සිදුකරමින් එන සමහර ක්‍රියා මුලින් වූ පොරොන්දුව ඉටුකිරීමට යම් පමණක බාධාවක් වූ බව පෙනෙන්නට ඇතැයි සංගමය විශ්වාස කරන බවද ලේකම්වරයා කියයි. ඒ නිසා 700කට අධික ශ්‍රී ලංගම විධායක හා විධායක නොවන ශ්‍රේණිවල සේවකයන්ගේ පොරොන්දු වූ වැටුප් නොලැබී යාමේ අවදානමකට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වයට වහාම මැදිහත් වී තම අවශ්‍යතාව ඉටුකර දෙන ලෙස වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටී.

2006 අංක 30 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයට සහ 2006 අංක 2 දරන චක්‍රලේඛයට අනුව ක්‍රියා කරමින් සියලුම ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට 2018-08-31 දින වෘත්තීය සමිතිවලට ලිඛිතව දුන් පොරොන්දුව ඉටුකිරීම  අත්‍යවශ්‍ය බවද ලේකම් පවසයි. ලබන 26 දිනට පෙර එය සිදුනොවුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හැර අන් විකල්පයක් නැති බවද ඔහු කියයි.
►යසවර්ධන රුද්රිගු