2019 මාර්තු 16 වන සෙනසුරාදා

මහ මැතිවරණයකට රට සූදානම්ද?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 154

ජනතාව තුළ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පැවැතියේ නම් එය ඉටුවන ලකුණු මේ වනවිට දැකගන්නට ඇත. ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන් දක්වන අදහස්වලින් ඒ පිළිබඳ තත්ත්වය තවදුරටත් සනාථ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ මෙම වසර මැතිවරණ වසරක් ලෙසටය. අගමැතිවරයා සිය පක්ෂයේ සංවිධායකවරුන්ට දන්වා ඇත්තේ වහාම මැතිවරණයකට සූදානම් විය යුතුය යන්නය. කොමිසමේ සභාපතිවරයා නිශ්චිත දින වකවානු පෙන්වා දෙමින් ඊට පෙර මැතිවරණ පැවැත්විය නොහැකි නම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා ඇත. මේ සියලු සාධක වලින් පෙනී යන්නේ මැතිවරණයක් ආසන්න බවය.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහිදී රාජ්‍යය පාලනයක් සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ බලය මහජනතාවට ලැබේ. එය බලයක් නොව ජනතාවගේ මූලික අයිතියක් සේ ගැනීම වඩා නිවැරදිය. ඒකාධිපති පාලනයක් තුළදී එම අයිතිය ලැබෙන්නේ නැත. ආණ්ඩුවකට මැතිවරණ පැවැත්වීම ඔස්සේ මහජනයාගේ විශ්වාසය ගොඩනගාගත හැකිය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ඉතා ඉක්මණින්ම මැතිවරණ අපේක්ෂා කරති. එහෙත් මැතිවරණ පැවැත්විය හැක්කේ රටේ නීතියට ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුවය.

මැතිවරණ සිතියම දෙස එබී බලන විට පෙනීයන්නේ මැතිවරණ තුනක් එක පෙළට ඇති බවය. පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය ලෙස එය දැක්විය හැකිය. මෙයින් කුමන මැතිවරණයක් පළමුව පවත්වන්නේද යන්න බලධාරීන් තීරණය කළ යුතුව තිබේ. පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සමහරු තර්ක කරති. ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීම වඩාත්ම සුදුසු ක්‍රමය ලෙස තව සමහරු පෙන්වා දෙති. සියල්ලට පළමුව ශක්තිමත් ආණ්ඩුවක් පැවැතිය යුතු නිසා මහ මැතිවරණයක් පළමුව පැවැත්වීම උචිත යැයි තවත් සමහරු කියා සිටිති. සෑම මතයකටම අදාළ සාධාරණ හේතු සාධක තිබේ. මේ අතරින් වඩාත්ම කාලෝචිත වන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව ඇතැම් දේශපාලන විචාරකයෝද පෙන්වා දෙති.

මේ අතර දේශපාලන සංවාදයට තවත් මාතෘකා දෙකක් ඉදිරිපත්ව තිබේ. පළමුවැන්න යළිත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවයි. දෙවැන්න නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ යෝජනාවයි. මේ යෝජනා දෙකද වැදගත්ය. රටට ගැලපෙන හා අවශ්‍ය ව්‍යවස්ථාවක් නැතිකම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ අවුල් ඇතිවූ බව පැහැදිලිය.

ගෙවී ගිය කාලය තුළ පළවූ මහජන අදහස්වලින්ද සිවිල් සංවිධානවල මත දැක්වීම්වලින්ද පැහැදිලි වන්නේ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පොදු සමාජය තුළ ඇති බවය. මැතිවරණ ඉල්ලමින් උද්ඝෝෂණය කළ අවස්ථා කිහිපයක් අපට දැකගන්නට ලැබිණි. සමාජ සංස්ථාව දෙස බලනවිට පෙනී යන්නේ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බවය. මැතිවරණ කොමිසම දන්වා සිටින ආකාරයට රජය දන්වා සිටින ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව පවතී. තත්ත්වය එය නම් දැන් කළ යුත්තේ පළමුව පැවැත්විය යුතු මැතිවරණය කුමක්ද යන්න මැතිවරණ කොමිසමට දැන්වීමය. සමාජයේ ජනතාව අතර වැඩි කතාබහක් මතු වී ඇත්තේ මහ මැතිවරණයක අවශ්‍යතාවයය. එහෙත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර තවමත් නිසි එකඟතාවයක් ඇති බව පෙනෙන්නට නැත.

දේශපාලන විචාරකයන්ද රටේ ජනතාවද පෙන්වා දෙන්නේ රට මේ වනවිට ඇද වැටී තිබෙන තත්ත්වයට හොඳම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බවය.

මෙම වසර තුළදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රට ඊට සූදානම්ද යන්න පිළිබඳව විද්වතුන් කිහිප දෙනෙකුගෙන් දේශයේ අපි මත විමසීමක් කළෙමු.

රටට හොඳම මහ මැතිවරණයක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ

මගේ පෞද්ගලික අදහස නම් රට මැතිවරණයකට සූදානම් කියන එක. ඒක ජනාධිපතිවරණයක්ද, මහ මැතිවණයක්ද, පළාත් සභා මැතිවරණයක්ද කියන එක වෙනම කතාවක්. මේ වනවිට පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතු කාලය ඉක්මවා ගිහින් තිබෙනවා. ඒ වගේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොවැම්බර් මාසය වනවිට නාමයෝජනා කැඳවිය යුතුයි ජනාධිපතිවරණයකට. ඒ වගේම රටේ අස්ථාවර පාර්ලිමේන්තුවක් තියෙන නිසා මහ මැතිවරණයක අවශ්‍යතාවයකුත් තියෙනවා. නමුත් රටේ ජනතාවට මේ වනවිට කුමක් හෝ මැතිවරණයක අවශ්‍යතාවය දැනිලා තියෙනවා. දැන් මහ මැතිවරණයක් පවත්වන විට අනෙකුත් පළාත් පාලන මැතිවරණ හා පළාත් සභා වලට වඩා උනන්දුවක් දක්වනවා. ඒ වගේම උතුරේ දමිළ දේශපාලන පක්ෂවලටත්, දකුණේ සිංහල දේශපාලන පක්ෂවලටත් මේ හරහා යම් යම් ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙනවා.

මේ රට තාමත් ව්‍යාකූලයි. ඒ තත්ත්වය යටතේ ජනතාව තවමත් ජනාධිපතිවරණයක් පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවමත් පිළිගත් දේශපාලන පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ තත්ත්වය යටතේ ජනතාව එකවරම ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ජනතාව ඊට වඩා හිතන්නේ රජයට පණිවිඩයක් දෙන්න ඕන ඒ සඳහා මහ මැතිවරණයක් අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි උතුරු පළාතේ ජනතාවටත් දැනට තියෙන මේ ප්‍රශ්නත් එක්ක ඔවුන්ටද ඉක්මනට අවශ්‍ය වෙලා තියෙන්නේ මහ මැතිවරණයක්. මොකද ජනතාවට ආණ්ඩුවක් පිළිබඳව කැමැත්ත අකැමැත්ත පෙන්නුම් කරන්න තියෙන්නේ මේ මහ මැතිවරණය. ඉතින් රටේ තියෙන මේ ව්‍යාකූලත්වයට හොඳම දේ තමයි මහ මැතිවරණයක් පැවැත්වීම. මොකද දැන් රටේ කතාබහක් ප්‍රධානවම නිර්මාණය වෙලා තියෙන්නේ මේ විධායක ජනාධිපති ධුරය අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව. මේ තියෙන පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ධුරය පිළිබඳ තීරණය ගන්න අමාරැයි. මොකද ඉතා ව්‍යාකූල පාර්ලිමේන්තුවක් තමයි තියෙන්නේ දැන් ඒ වගේම වත්මන් පාර්ලිමේන්තුවේ කවුද විපක්ෂයේ ඉන්නේ කවුද ආණ්ඩුවේ ඉන්නේ කියන එක පිළිබඳව ජනතාව දන්නෙත් නැහැ. ඇතැම් ජනතාව මේ ආණ්ඩුව වැටෙයි කියලා බලන් ඉන්නවා. මේ ආණ්ඩුව දෙමළ පක්ෂවල ඡන්දවලින් සහ මුස්ලිම් ඡන්දවලින් ඉදිරියට යනවා. ඒ නිසා මමත් දකින විදියට මහ මැතිවරණයක් තමයි රටට අවශ්‍ය. මොකද එතකොට ඒ නව ආණ්ඩුවට පුළුවන් මේ ජනාධිපතිවරණයට කලින් මේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ තීරණයක් ගන්න.

ඡන්ද දෙකම එකට තැබීම වඩාත් හොඳයි
 කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ කථිකාචාර්ය - සුමිත් චාමින්ද

මේ මැතිවරණ අවශ්‍යතාවය විවිධ පිරිස් විවිධ ආකාරයට තමයි දකින්නේ. නමුත් මේ වෙලාව රටට මැතිවරණයක් අවශ්‍ය වෙලාවක්. ඒ වගේම තමයි පළමුව අවශ්‍ය මහ මැතිවරණයක් කියන විටදී එක් එක් අය එක එක විදියට කල්පනා කරනවා. ව්‍යාපාරික ප්‍රජාව කල්පනා කරන්නේ එක විදියකට. සාමාන්‍ය ජනතාව කල්පනා කරන්නේ තව විදියකට. මේ ආකාරයෙන් විවිධ මට්ටමින් තමයි රටේ ජනතාව මහ මැතිවරණය ගැන හිතන්නේ. ඒ වගේම තමයි පසුගිය කාලයේ ඇති වී තිබූ තත්ත්වයත් එක්ක නැවත වතාවක් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන කාරණාව සමාජය තුළ කතාබහක් ලෙස හටගත්තා. නමුත් මේ පවතින වත්මන් රජය යටතේ එම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වනවිට ජනතාව අතර මතුවෙලා තියෙන කතාබහ තමයි මේ සියල්ලට කලින් පැමිණිය යුත්තේ මහ මැතිවරණයක් කියන කාරණය. ඒ වගේම තමයි අද මේ කියන රටේ ප්‍රශ්න දිහා බැලුවම මහ මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය එකවර පැවැත්වීමේ හැකියාවක් තියෙනව නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි අද වනවිට මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විදේශීය බලපෑම් සම්බන්ධව යම් යම් මත ඝට්ටනයක් තියෙනවා. ඒ වගේම තමයි පහුගිය ඔක්තෝබර් මාසයේ සිදුවුණ සිදුවීමෙන් අපිට පෙනුණා විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ඍජු තීරණ ගැනීමට නොහැකි බව. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ යම් රටක් පවතිනවා කියන්නේ වසර කිහිපයක් ඒ රටේ අර්බුද ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මෙය විසඳන්න පුළුවන් වෙන්නේ මහජනයා ඉදිරියට ගොස් ජනමතයක් නිර්මාණය කර ගැනීමෙන් පමණයි.

ජනතාවගේ බලාපොරොත්තුව මහමැතිවරණයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය - ශ්‍රි.ල.නි.ප හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

මට පේනවා රටේ ජනතාව යම් ආකාරයක කලකිරීමෙන් ඉන්නවා කියන කාරණාව. මොකද ජනතාවට මේ ප්‍රතිපත්ති තීරණයන් ගැන විශ්වාසය බිඳවැටී තියෙන්නේ. ජනතාවට මේ වනවිට මහ මැතිවරණයක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ වනවිට කුලී වැඩකරන ජනතාව, ධීවරයෝ, සුළු වෙළෙන්දෝ ආදී බොහෝ ක්ෂේත්‍රවල ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිලා තියෙනවා. දැන් මේ රට පවතින ව්‍යාකූල තත්ත්වය එක්ක ජනතාවගේ බලාපොරොත්තු වන මැතිවරණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතය තමයි ජනතාව තුළින් මේ වනවිටත් අපිට දැනිලා තියෙන්නේ.

කුමක් හෝ මැතිවරණයක් අවශ්‍යයි
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක

මහ මැතිවරණය පමණක් නෙවෙයි පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය යන මැතිවරණ සියල්ල වෙනුවෙන් අද රට සූදානම් වෙලා තියෙනවා. ජනතාව සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මැතිවරණයක් කියන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ඒ අයිතිය ජනතාවට ලබාදිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. නමුත් තවත් පළාත් සභා මැතිවරණය ගැනවත් ඉඟියක් මේ රජය ලබාදීමක් සිදුකර නැහැ. දැන් රට තුළ කතාබහට ලක්වී තියෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් මේ පාර්ලිමේන්තුව යටතේ එය සිදුකිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා කුමන හෝ මැතිවරණයක අවශ්‍යතාවයක් මේ වනවිට ජනතාවට දැනිලයි තියෙන්නේ.

ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මහ ඡන්දයකට යා යුතුයි
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

රට තුළ විවිධ වර්ගයේ ජනතාව ඉන්නවා. ඒ වගේම විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒ ඒ උදවිය එක එක ආකාරයට එය අර්ථකථනය කරනවා. නමුත් මේ වනවිට ජනතාවට කුමක් හෝ මැතිවරණයක අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නම් දේශපාලන පක්ෂ යම් එකඟතාවයකට පැමිණිය යුතුයි. ඒ මැතිවරණයක් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැත්නම් ජනාධිපතිවරණයක් මෙම වසර අවසානයට පෙර තිබිය යුතුයි. මම දකින විදියට නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මහ මැතිවරණයකට යා යුතුයි. ඒ වගේම තමයි තවමත් නිසි පැහැදිලිතාවයක් නැහැ. මුලින්ම පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක්ද කියන එක ගැන. ඒ වගේම තමයි මේ මැතිවරණ පැවැත්වීම ගැන ගැටලු තියෙනවා. සීමා නිර්ණ කටයුතුවලදී පසුගිය කාලයෙත් යම් යම් අපහසු තැන් තිබුණා. නමුත් මේ ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට තිබුණා නම් හොඳයි. නමුත් ඒකට කාලයක් ගතවන නිසා පරණ මනාප ක්‍රමයට හරි මැතිවරණ පැවැත්වීම හොඳයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන කුමක් හෝ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

මැතිවරණයකට සූදානම තියෙනවා
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

රට මැතිවරණයකට සූදානම් කියන එක ගැන මගේ පුද්ගලික අදහසක් තියෙනවා. ඒක පළාත් සභාද, මහ මැතිවරණයක්ද, ජනාධිපතිවරණයක්ද කියන එක වෙනම කතාවක්. කොහොම වුණත් පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතුයි. මොකද දැන් ඒ කාලසීමාව ඉවරයි. ඒ වගේම තමයි නොවැම්බර් මාසය වෙද්දී ජනාධිපතිවරණට නාම යෝජනා කැඳවීමටත් නියමිතව තිබෙනවා. ඊළඟ අවුරුද්දේ තමයි මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. දැන් 2015 වසරෙන් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මැතිවරණ පැවැත්වීම් ප්‍රමාදවීම් පිළිබඳව. මේ මැතිවරණ නිසි ආකාරයට පැවැත්වූවේ නැතිනිසා ජනතාවට දේශපාලනයේ ඉන්න පිරිස් ගැන කලකිරීමකට පත්වෙනවා. එහෙම වුණොත් ඒ දේශපාලනඥයන්ටම තමයි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවන්නේ. කොහොම වුණත් මේ වනවිට රටේ ජනතාවට මැතිවරණයක අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා.

I සටහන - හසිත් අංජන

 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00