දැනට පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන 2019 වර්ෂය පිළිබඳ අයවැය ලේඛනයේ සමස්ත අයවැය සඳහා ඡන්ද විමසීම අප්‍රේල් මස 05දා සිදුකිරීමට නියමිතය. දැනට දේශපාලන ක්ෂේත්‍රයේ පවතින විවිධ අදහස් අනුව මෙවර අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළ හැකිද යන්න පිළිබඳ සැක මතුවෙමින් පවතී. එක්සත් ජාතික පෙරමුණ සතු මුළු ආසන සංඛ්‍යාව එකසිය තුනක් පමණ වෙයි. ඒ අනුව අයවැය සම්මත කර ගැනීමට නම් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගත යුතුය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පසුගිය දා මාධ්‍යයට පවසා සිටියේ නියත වශයෙන්ම අයවැය පරාජය කරන බවයි. එසේ පරාජය කර මහමැතිවරණයකට යන බව ඔහු කියා සිටී. කෙසේ වුවද අයවැය පරාජය කරන සහ දිනවන සාකච්ඡා මේ දිනවල විවිධ දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් තැන තැන අප්‍රසිද්ධියේ පවත්වන බවද දැනගන්නට ඇත.
යම් ලෙසකින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජය වුවහොත් ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරමින් පවතී. ඇතැමුන් කියන්නේ අයවැය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා යුතු බවය. තවත් කොට්ඨාසයක් පවසන්නේ අයවැය පරාජය වුවද ආණ්ඩුවට ස්වකීය ගමන දිගටම යා හැකි බවය. අයවැය පරාජය වීම ආණ්ඩුව විසුරුවා හැරීමට හේතුවක් නොවන බව ඔවුහු කියති. තවත් කෙනකුගේ අදහසක් වන්නේ තෙවරක් දක්වා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අවස්ථාව ලැබෙන බවය. අප මේ ව්‍යාකූල ගැටලුව පිළිබඳ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් දෙදෙනකුගේ අදහස් විමසීමු.
ආණ්ඩුවේ එල්ලිලා ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්
“අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී පරාජය වුණොත් ඉන් අදහස් වන්නේ සම්ප්‍රදායානුකූලව ආණ්ඩුව පරාජය වූවා කියන එකයි. ආණ්ඩුවට බහුතරයක් නැති බව එයින් සනාථ වෙනවා. ඒ නිසා ඔවුන්ට දිගටම යන්න බැහැ. ඉවත් විය යුතු වෙනවා. එහෙත් අපේ රටේ එහෙම වෙයිද කියන එකයි ප්‍රශ්නය. තියෙන නීතින් උල්ලංඝණය කරන දේශපාලනඥයන් සිටින රටේ එහෙම ආණ්ඩුව ඉල්ලා අස්වෙයිද? මෙලෙස ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිත නීතියක් නැහැ. බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රට වන එංගලන්තයේද එහෙම නීතියක් නැහැ. එහි ඇත්තේ සම්ප්‍රදායක් පමණයි. එයට එකඟ වූ එරට අගමැතිවරැ පවා ඉල්ලා අස්වූ බව අපට මතකයි. ගමක ස්වෙච්ඡා සංවිධානයක අයවැය ලේඛනයකට වුණත් එහි සාමාජිකයන් එකඟ නැතිනම් එම ආයතනය පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා නම්බු පිටින් ඉල්ලා අස්වෙන්නට එහි පාලනයට සිදුවෙනවා.
අනිත් අතට මෙය සාදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. මෙතැන ඇත්තේ අයවැයේ රැපියල් ශත පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රතිපත්ති පිළිබඳ කාරණයක්. අපේ පාර්ලිමේන්තුවේ ඉස්සර නම් එවැනි දේශපාලනඥයන් සිටියා. 1983 ජූලි කලබලවලින් පසු නිශ්ශංඛ විජේරත්න ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව අපට මතකයි. මුදල් ඇමැති එම්.ඩී.එච්. ජයවර්ධනද ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා. ඒත් ඉන්පසුව අද වනතුරු එහෙම ඉල්ලා අස්වූ යුක්තිගරුක ඇමැතිවරු අපේ රටේ බිහිවූයේ නැහැ.
අපේ පාර්ලිමේන්තුව ගොඩනැගී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අනුවයි. ඒ නිසා අපි වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පිළිගන්නවා නම් අයවැය පරාජය වූ අවස්ථාවක ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වගන්තිය යටතේ සඳහන් වන්නේ අයවැය ලේඛනය පරාජය වුවහොත් ආණ්ඩුව අයින් විය යුතු බවයි. ජනාධිපති ඊළඟට තවත් ආණ්ඩුවක් තැනිය යුතු වෙනවා. ඒ ආණ්ඩුවටද අයවැය ලේඛනය ජයගත නොහැකි වුවහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? එහෙම වුණත් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ අවුරුදු 4 ½ ඉකුත්ව යනතුරැ ජනාධිපතිට ආණ්ඩුව විසිරවිය නොහැකි බවයි. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවලදීද මේ පිළිබඳ සාකච්ඡා වුණා. එහිදීද පිළිගැනුණේ 2/3 යෝජනා සම්මතයකින් හෝ වසර 4 ½ක් ඉකුත් වීමෙන් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. ඒ කොහොම වුණත් අයවැය ලේඛනයක් පරාජය වූ පසු ආණ්ඩුවේ එල්ලිලා සිටීමට කාටවත් සදාචාරාත්මක අයිතියක් නැති බවයි මා කියන්නේ.
පවතින ආණ්ඩුවට කිසිම හානියක් වෙන්නේ නැහැ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
“ආණ්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් එය අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමක් ලෙස නීතිය අනුව සැලකෙනවා. ඒ අනුව ජනාධිපතිට අලුතෙන් යළි කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සිදුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48/2 වගන්තිය අනුව තමයි මෙම කාර්යය සිදුවන්නේ. මේ අනුව සිදුවන්නේ අමාත්‍ය මණ්ඩලය අලුත්වීම පමණයි. අලුතින් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී ආණ්ඩුව කරගෙන යා හැකියි. මෙහිදී පුද්ගලයන් වෙනස් වුණාට පැවැති ආණ්ඩුවට හානියක් සිදුවෙන්නේ නැහැ.
19 වැනි සංශෝධනයේ සංශෝධිත 70 වැනි වගන්තිය අනුව සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2/3කට වැඩි සංඛ්‍යාවක ඉල්ලීම මත හෝ පාර්ලිමේන්තුව පත්වී වසර 4 ½ ඉකුත් වූ විට හෝ යන අවස්ථා දෙක හැරුණුවිට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව පිළිගත් මතයක්. ඒ නිසා අයවැය පැරදුණා යැයි පාර්ලිමේන්තුව විසුරැවා හරින්නට ජනාධිපතිට බලයක් නැහැ. පසුගිය සමයේ සිදුවූ දේශපාලන අර්බුදයට හේතු වූවේද ජනාධිපති නැති බලයක් ක්‍රියාත්මක කිරීමට යාමයි. ඒ නිසා යළිත් ඔහුගෙන් එවැනි වරදක් සිදුනොවනවා ඇති.
අයවැය පැරදුණු විට අමාත්‍ය මණ්ඩලය අලුතෙන් පත්කළ යුතු වුවත් ඒ සඳහා මුලින් සිටි අය අතහැර අලුත්ම අය පත්කළ යුතු යැයි නියමයක් නැහැ. ජනාධිපතිට ඒ වනවිට අමාත්‍ය මණ්ඩලයේ සිටි ඇමැතිවරුන් පත් කිරීමට පුළුවන්. අවශ්‍ය නම් අලුත් අයත් පත්කළ හැකියි. ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ අග්‍රාමාත්‍යවරයකු, අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරැන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කළ හැකි බවයි. එහෙත් මෙහිදී ප්‍රශ්නයක් වන්නේ අගමැති පත් කිරීමයි. අගමැති ලෙස පත්කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා මන්ත්‍රීවරයායි. පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා සිටින අය මිස ජනාධිපතිට අවශ්‍ය පරිදි කෙනෙක් පත්කළ හැකි නොවෙයි. බහුතරයක් නැති කෙනකු පත් කළහොත් ඔහුට පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යා නොහැකියි. මෙහිදී අගමැති කෙනෙක් අලුතෙන්ම පත්කළ යුතු යැයි නීතියක් නැහැ. බහුතරය තිබේ නම් සිටි අගමැති වුවද යළි පත්කළ යුතු වෙනවා. ඔහු තනතුරේ සිටීම නුසුදුසුකමක් වෙන්නේ නැහැ. සිටි ඇමැතිවරැ වුණත් යළි පත්කළ හැකි අතර හිටපු අගමැතිද ඒ අනුව පත්කළ හැකියි.”
මේ නිසා අපට පැහැදිලි වන සත්‍ය නම් අයවැය ලේඛනය පරාජය වූවාට පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යාමට බාධාවක් නොමැති බවයි. ඒ නිසා අයවැය පරාජය කර මහමැතිවරණයකට යන බවට කවුරැන් හෝ ප්‍රකාශ කරන්නේ නම් එය ප්‍රායෝගික නොවන බව කිව යුතුය.
►යසවර්ධන රුද්රිගු