2019 මාර්තු 23 වන සෙනසුරාදා

ගෙදරට නාකිවීම ග්‍රහයන්ගේ වැඩක්

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1521

තමන් විවාහ වන දිනය කවදාද යන්න පිළිබඳ යන්තම් තරුණ වියට පත්වූ අවධියේ සිටම තරැණ තරැණියෝ ඇඟිලි ගනිමින් සිටිති. එවැනි අවස්ථාවක තම විවාහය පමාවන්නේ නම් ඒ පිළිබඳ දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්ව කලකිරී සිටින්නෝද වෙති. වි‍ශේෂයෙන් විවාහය පමාවීම නිසා වඩාත් විපතට පත්වන්නේ තරුණියන්ය. තරුණියක නිසි වයසට පත්වූ විට විවාහ නොවී විවාහය පමාවන්නේ නම් ගෙදරට නාකිවෙනවා යනුවෙන් ඇය සමාජයේ පරිභවයට පාත්‍ර වෙයි. විවාහ වන වයස ඉක්මවා සිටින තරුණියන් විවාහ කර ගන්නට කැමැති පිරිමින් අල්පය. එලෙස විවාහ වුවද දරුඵල නොලැබීමෙන් එම විවාහ අසාර්ථක වීමට ඇති ඉඩ වැඩිය.

විවාහය පිළිබඳ ජ්‍යොතිෂ විග්‍රහයක යෙදීමේදී ජන්ම පත්‍රයක විවාහකාරක සිකුරැ ග්‍රහයා කොහේ සිටින්නේද යන්න සහ කේන්දරයේ සත්වැන්නේ බලපෑම පිළිබඳවද සියුම් ලෙස පරීක්ෂා කර බැලිය යුතුය. විවාහය පමාවන කෙනකුගේ කේන්ද්‍රය පරීක්ෂා කළ විට අසුබ ග්‍රහයකුගේ නැකැතක පිහිටි සෙනසුරු ග්‍රහයා සත්වැන්නේ පිහිටීම හෝ උපතේදී සත්වැන්නට දෘෂ්ටි හෙළා තිබෙන බව දැකගත හැකිය. 64 වැනි නවාංශකයකට අයත් ග්‍රහයකු කේන්ද්‍රයේ සත්වැන්නේ තැන්පත් වී ඇති විටෙක මුල් ප්‍රේම සබඳතාව හෝ ඇතැම්විට ඉන් ඔබ්බට ගොස් තම විවාහයද කඩාකප්පල් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

යමකුගේ සත්වැන්න අධිපති ග්‍රහයා නවාංශකයේ පිහිටීම රාශි කේන්ද්‍රයට ආදේශ කළ විට ඊට ගෝචරයෙන් ගුරු ග්‍රහයාගේ පැමිණීම හෝ ත්‍රිකෝණස්ථානයකට පැමිණෙන කාලය සාමාන්‍යයෙන් ඕනෑ කෙනකුගේ විවාහය සිදුවන කාල පරාසය බව ජ්‍යොතිෂයේ කියනු ලැබේ. එවැනි කාලසීමාවකදී බලවත් සිකුරු ග්‍රහයාගේ දසා - අතුරු දසාද පවතිනවා නම් ඒ අනුව විවාහ ජීවිත සිහිනය මල්පල ගැන්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව කිව හැකිය. යම් ලෙසක එරාෂ්ටකයකින් මෙවැනි අවස්ථාවලට බාධා ගෙන දීමට හැකි වුවද එවැනි ඒරාෂ්ටකයක් හෝ බාධක ග්‍රහයාගේ දසා - අතුරැ දසා නොමැති වුවහොත් එම තත්ත්වය වඩාත් යහපත් වේ.

මෙම කාරණාවලට අමතරව විවාහය සිදුවන කාලය සොයා බැලීමේදී ජන්ම කේන්ද්‍රයේ සිකුරැ සිටි රාශියට අධිපති ග්‍රහයාගේ මෙන්ම නවාංශක කේන්දරයේ සිකුරැ පැවැති නවාංශකය අධිපති ග්‍රහයාගේ දසා කාලය ගැනද අවධානය යොමුකිරීම අවශ්‍ය වෙයි. ඕනෑම ලග්න කේන්ද්‍රයක 7 අධිපතියාගේ දසා කාලය මෙන්ම, නවාංශක කේන්ද්‍රයක සත්වැන්න අධිපති ග්‍රහයාගේ දසා කාලයද පරීක්ෂාවෙන් විවාහය සිදුවන කාල වකවානුව නිශ්චිතවම ප්‍රකාශ කිරීම අපහසු නැත. මෙවැනි කාලයක සුදුසුකම් සපුරා ඇති තරැණ තරැණියන් තම විවාහය ගැන උනන්දු වන බව කිව යුතුය. එම අවස්ථාවෙන් ප්‍රතිඵලයක් නොලද හොත් විවාහය කල් යාමට ඉඩ තිබේ.

ඇතැම් අයගේ විවාහ කටයුතුවලට දින නියම කරගෙන සිටියද හදිසියේ යෙදෙන හේතු නිසා බලාපොරොත්තු නොවූ පරිදි විවාහ ප්‍රමාදවීම සිදුවෙයි. කේන්ද්‍රයක 5 වැන්න අධිපති ග්‍රහයා රාශි කේන්ද්‍රයේ පාපී ග්‍රහයන්ට හසුවී පිහිටි විට මෙවැනි ප්‍රමාදවීම් සිදුවේ. එවිට හදිසි විපත් හෝ වෙනත් බාධාකිරීම් සිදුවිය හැකිය. එම තත්ත්වයේ අයහපත අඩුකර ගැනීම සඳහා ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකුගේ උපදෙස් අනුගමනය කළ යුතුය.

ග්‍රහ ගෝචරය අනුව විවාහයට බාධා ගෙන දෙන අවස්ථා මෙලෙස සටහන් කළ හැකිය.

1. සිකුරු දසාව ලබා තිබියදී සෙනසුරැ හෝ රාහු ග්‍රහයා කේන්ද්‍රයේ සත්වැන්න හරහා ගමන් කරන කාල පරිච්ඡේදය.
2. කේන්ද්‍රයේ දිශා අධිපති ග්‍රහයා 7, 8, 12 යන දුෂ්ට රාශියක ගමන් කරන කාලය.
3. ජන්ම ලග්න හෝ චන්ද්‍රෂ්ටම ආදී ඒරාශ්ටක පවතින කාලය.
4. සෙනසුරැ, කේතු වැනි පාප ග්‍රහයකු 7 වැන්න හරහා ගමන් කරන කාලය.
5. 22 වැනි දෙකර්නාධිපති ග්‍රහයා හෝ අටවැන්න අධිපති ග්‍රහයාගේ දසා වකවානුව

මෙම අවස්ථාවල කෙනකුගේ විවාහය ප්‍රමාද වන බව කිව යුතුය. එසේ වුවද ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයකුගේ බලපෑම නිසා යම් ලෙසකින් විවාහය සිදුවුවද කේන්ද්‍රයේ පාප ග්‍රහයන්ගේ ශක්තිය හේතුවෙන් දෙදෙනාටම බලවත් ලෙස අපල ගෙන දෙනු ඇත. මෙහිදී ඇදි ඇදී යන විවාහ වුවද කුජ, ශනි ආදී පාප ග්‍රහයකු විවාහකාරක සිකුරු ග්‍රහයාට යෝගවීම හෝ දෘෂ්ටියකින් සම්බන්ධ වීම සිදුවුවහොත් අනිවාර්යයෙන්ම එවැනි විවාහ ජීවිත බිඳවැටීමකට ලක්වේ. මෙය කෙළවර වන්නේ විවාහය දෙදරා යාමෙනි. රාහු ග්‍රහයාගේ බලපෑම මත විවාහ ජීවිතය මතු අවුල්වීම සිදුවෙනවා ඇත.

යමකුට සුබ ග්‍රහයකු ලබා තිබුණද, එවැනි දසාවකදී එම පාප ග්‍රහයන්ගේ බලපෑම හේතුවෙන් කිසිවිටක බලාපොරොත්තු නොවූ අවිනිශ්චිත අවස්ථාවකට මුහුණදීමට සිදුවේ. යමකුගේ සිකුරැ ග්‍රහයාගේ දසාව පවතිද්දී 7 වැන්නේ කුජ ගෝචරයෙන් පැමිණියහොත් එවැනි විවාහයන් අතරමඟදී බිඳවැටීම හෝ අවුල් වියවුල් ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ නිසා විවාහ වීමට පෙර කෙනකුගේ කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන විවාහයට යම් අපලයක් තිබුණහොත් ඒ පසුබිම වෙනස් කළ යුතුව ඇත. එසේ නොකර හිතුවක්කාරී ලෙස කටයුතු කළහොත් විවාහය බිඳ වැටේ.

විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි