2019 මාර්තු 23 වන සෙනසුරාදා

අලුත්ම ජිනීවා රංගනය

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය මේ වනවිට ආරම්භ වී ඇත. මෙම වත්මන් සැසිවාරය ලංකාවට බෙහෙවින්ම වැදගත්ය. මෙම සැසිවාරයේදී මෙරට සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ කාලසීමාව දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

2015 වසරේ ඔක්තෝබර් මස 01 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව 2017 පෙබරවාරි, මාර්තු මාසවලදී පැවැත්වූ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී වසර දෙකක කාලසීමාවකින් දීර්ඝ කරගනු ලැබීය. ඒ අනුව අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මේ සම්බන්ධ වාර්තාව පසුගිය 20 වැනිදා කවුන්සිලයට ඉදිරිපත් කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් එම වාර්තාව සමුළුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණද තවත් පියවර රාශියක් ගත යුතු බවයි. විදේශීය විනිසුරුවරුන් පත් කිරීම, ශ්‍රී ලංකාව තුළ කාර්යාලයක් පිහිටුවීම ඇතුළු කරුණු කිහිපයක්ද මෙහිදී මිෂෙල් බැචලෙට් විසින් මානව හිමිකම් සමුළුවට යෝජනා කර ඇත. කෙසේ වෙතත් එහිදී එම යෝජනා වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අදහස් පළකර තිබූ අතර, එහිදී ඔහු පවසා ඇත්තේ මෙරට තුළ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථානුකූල ඉඩකඩක් නොමැති බවයි.

වසර 2017 දී 34 1/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය කලින් දුන් පොරොන්දු සියල්ල ඉටුකරන බවට නැවත වතාවක් ප්‍රතිඥා දී තිබේ. ඒවායෙහි ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර එම පොරොන්දු ඉටුකිරීමට ලංකා රජය පොරොන්දු විය. එහිදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙරට රජය වසර දෙකක කාලයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිණි. මේ වනවිට එම වසර දෙක අවසන්ය. එම නිසා මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාවට විශාල අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව බොහෝ දේශපාලන විචාරකයෝ ද පවසති.

මහ කොමසාරිස්වරියගේ නිර්දේශ

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ වර්තමාන හා කලින් වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කාලානුරෑපී සැලසුමක් සකස් කිරීම හා ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ විධායක කණ්ඩායමක් පත් කිරීම.
මහ කොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහාය සැපයීම සඳහා උපදෙස් ලබාදීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) ආරාධනා කිරීම. පොදු ජනතාවගේ, වින්දිතයන්ගේ සහ සාක්ෂිකරැවන්ගේ, සිවිල් සමාජයේ මෙන්ම පාර්ශ්වකරැවන්ගේ සහභාගීත්වයෙන් යුක්තිය, විශේෂයෙන් සත්‍ය සෙවීමේ සහ වගවීම් යාන්ත්‍රණ, වන්දි ලබාදීම් සහ සිහිපත් කිරීම් පිළිබඳව අව්‍යාජ උපදේශන ආරම්භ කිරීම. මෙම ක්‍රියාවලිය වෙනුවෙන් උපදෙස් ලබාගැනීම සඳහා සත්‍ය, යුක්තිය, වන්දි ලබාදීම් සහ පනත් කිරීම් පිළිබඳව අව්‍යාජ උපදේශන ආරම්භ කිරීම ඇතුළු නිර්දේශ ගණනාවක් දැනටමත් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත.

රටට එරෙහිව තිබූ ජාත්‍යන්තර මතය අපි වෙනස් කරගත්තා
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල

“ඇත්තටම අපේ රජයේ මතය තමයි රටේ නීතිය අනුව දෙමුහුන් අධිකරණවලට ඉඩ දෙන්නේ නැහැ. ජිනීවා යෝජනා පිළිබඳව රජය පැත්තෙන් විදේශ ඇමැතිවරයා ඒ පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මෙරටට එල්ලවෙලා තිබුණු යුද අපරාධ චෝදනා කිසිවක් දැන් නැහැ. ඒක විශේෂයෙන්ම අපි ලබපු ජයග්‍රහණයක්. හිටපු ජනාධිපතිතුමා ඡන්දයට ආවේ විදුලි පුටුවට යන්න සූදානම් කියලා. නමුත් අපි බලයට ඇවිල්ලා ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටියා. ජාත්‍යන්තරය සමඟ සබඳතා හදාගත්තා. මේ මානව හිමිකම් කොමිසමේදී අපේ අල්ලපු රට වුණු ඉන්දියාවේ ඉඳන් අමෙරිකාව වෙනකම් ඡන්දය දීලා තිබුණේ. නමුත් මේ සියල්ල 2015 ජනවාරි 08 වැනිදායින් පසුව වෙනස් වුණා. එය එහෙම වුණේ නැත්නම් අපිට අප්‍රේල් මාසය වෙනකොට විදේශීය සම්බාධක පැනවෙන්න තිබුණා. නමුත් අපි බලයට පත්වුණාම ඒ සියල්ල විසඳුණා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට හැකියාවක් ලැබුණා. ඒකත් අපේ රජය ලබපු විශාල ජයග්‍රහණයක් ලෙස අපිට දකින්න පුළුවන්. අනිත් අයට ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් මේ රජය යටතේ තමයි සියලු දේ කළේ. ඒ වගේම පසුගිය රජයට තිබුණු තත්ත්වය මේ වනවිට 90%ක්ම අපි වෙනස් කරගෙන තියෙනවා. ඒ නිසා ජිනීවා සමුළුව සම්බන්ධයෙනුත් අපේ රජය යහපත් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා අපි ඉතා විශ්වාසයෙන් ඉන්නවා.”

ජිනීවා දංගෙඩියට රණවිරැවන් ගෙන යන්න අපි ඉඩ දෙන්නෙ නැහැ
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ (ඒකාබද්ධ විපක්ෂය)

“මෙම සමුළුවේදීත් ලංකාව සම්බන්ධව වැඩියෙන් කතාබහට ලක්වුණු බව අපි හැමෝම දන්නවා. ඒ වගේම මහ කොමසාරිස්තුමිය මෙරට මානව හිමිකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය බවත්, විදේශීය විනිසුරුවරුන් යොමු කිරීමට අවශ්‍ය බවත් යෝජනා කර තිබෙනවා. මොවුන් මේ සියලු දේ කරන්නේ අපේ රටට චෝදනා නගන්න. අපේ රට බේරාගත් වීරෝදාර රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න. කොටි ඩයස්පෝරාවට ඕනෑම ආකාරයක කටයුත්තක් කර ගැනීම සඳහා තමයි මොවුන් නැවත මේ රටට බැල්ම හෙළන්නේ. අපේ රජය පවතින කාලයෙත් ජිනීවාවලින් මේ විදියට චෝදනා ගොන්නක් ආවා. නමුත් අපි කවර දිනකවත් මේ රට බේරාගන්න රණවිරැවන් දංගෙඩියට යවන්න පාර කැපුවේ නැහැ. මෙම යෝජනා පිළිබඳව කිසිසේත්ම අපිට එකඟ වෙන්න බැහැ.”

සටහන: හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00