2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ඔත්තු බලන බෝනික්කෝ

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308

බෝනික්කන් කුඩාවුන්ගේ සිහිනමය ලෝකය අතපත ගාන්නේ ඒ විදිහටය. දැරියකගේ හුදෙකලාව, පාළුව, ඈ කියන හැමදේම නිහඬවම අහගෙන සිටින්නී බෝනික්කාය. දැරියන් ඔවුන්ගේ ලෝකයේ ඉස් ඉස්සෙල්ලාම මව් පදවිය ලබන්නේ බෝනික්කාට දරුකම දෙමිනි. බෝනික්කන්ගේ ඉතිහාසය වසර 24000කට එපිට අතීතයකට දිව යයි. එසේ ඇරඹි බෝනික්කන් වර්තමානය වනවිට නව තාක්ෂණයේ මහිමයෙන් සජීවී බෝනික්කන් බවටද පත්ව සිටි. ඒ කයිලා බෝනික්කන්ය. My Friend cayla නමැති මෙම බෝනික්කන් තුළ ඇති උපාංගයක් මගින් ඔත්තු බැලීමේ හැකියාවක් පවතින නිසා මෙම බෝනික්කන් විනාශ කර දමන ලෙස ජර්මනිය එරට පුරවැසියන්ට පවසා ඇත. කයිලා බෝනික්කන් ගැන කතා කිරීමට මත්තෙන් අපි බෝනික්කන්ගේ ඉතිහාසය පිළිබඳ කතා කළ යුතුය.

මොසපොතේමියානු හා සුමේරියානු ශිෂ්ඨාචාරවලදී මැටියෙන් තැනූ බෝනික්කන් සිටි බවට සාධක පුරාවිද්‍යා කැනීම්වලින් හමුවී තිබේ. කුඩා දරුවන් මියගිය විට ඔවුන් විසින් පාවිච්චි කරන ලද බෝනික්කන් සොහොන්ගැබ් තුළ තැන්පත් කර ඇත. මොහෙන්දෙජාරෝ හරප්පා ශිෂ්ඨාචාරවලදී මැටිවලින් ලී වලින් ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් සාදන ලද බෝනික්කන් සිට ඇත. සිනිඳු කිරි ගරුඩෙන් තැනූ බෝනික්කන් බැබිලෝනියාවෙන් හමු වූ බවටද තොරතුරු පවතී. 

බෝනික්කන් මුදලට අළෙවි කිරීම ඇරඹෙන්නේ 16 වැනි සියවසේදීය. ගිනිකොණ දිග ජර්මනියේ වනාන්තරවල ජීවත් වූ දර කපන්නන් විසින් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ලී වලින් බෝනික්කන් තනා ඇත. පසුව ඒවා අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. 16 සියවසේ අග භාගයේ ප්‍රංශයේ පැරිස්නුවර විලාසිතාවලින් හැඩගැන්වූ බෝනික්කන් රජමැඳුරට රැගෙන ගොස් තිබේ. 17 වැනි සියවස වනවිට ඉටිවලින් බෝනික්කන් තැනීමට පටන්ගත් අතර බෝනික්කන්ගේ නව පිබිදීමක් ඇතිවූයේ මේ සියවසේ බව කිව හැකිය. ඇස් වලට වීදුරු සවිකරන ලද ඉටි බෝනික්කන් ඇතුළට කම්බි දමා පහසුවෙන් අත පය නැවිය හැකි ලෙස සාදන ලදී. මේ නිසා බෝනික්කා සිටුවීම ඉන්දවා තැබීම කළ හැකිය. 

19 වැනි සියවසේ මැද භාගයේදී චාල්ස් ගුඩ් ඉයර් විසින් රබර් සහ ගෙන්දගම් උණුකොට නිපදවූ ද්‍රව්‍යයෙන් රබර් බෝනික්කන් සැදීම ඇරඹිණි. 1920න් පසුව මෘදු රබර් බෝනික්කන් සාර්ථක ලෙස නිපදවන ලදී. 1945දී ප්ලාස්ටික් වලින් බෝනික්කන් නිපදවීම ඇරඹීමත් සමග ලෝකය පුරා ප්ලාස්ටික් බෝනික්කන් ජනප්‍රිය විය. වර්තමානය වනවිට කතාකරන ඇවිදින නටන ගයන හඬන බෝනික්කන්ද නිපදවේ.

පුරාණ රජවරුන්ගේ සහ වංශවතුන්ගේ දරුවන් සතුව ඉතා විශ්මය ජනක බෝනික්කෝ විය. එම බෝනික්කන්ට නැටීමට ගැයීමට චිත්‍ර ඇඳීමට මෙන්ම පෑනක් ගෙන කඩදාසියක යමක් ලිවිය හැකි බෝනික්කන්ද විය. 
19 වැනි සියවස වනතුරුම බෝනික්කන් නිර්මාණය කළේ ගැහැනු ළමයින්ගේ ස්වරූපයටයි. පසු කාලයේ පිරිමි ළමයින්ගේ හැඩයට බෝනික්කන් සුළු වශයෙන් නිපදවීම ආරම්භ වුණත් අදටත් වැඩි වශයෙන් බෝනික්කන් නිපදවෙන්නේ ගැහැනු ළමයින්ගේ හැඩයටයි. වර්තමානයේදී නවීන තාක්ෂණය දියුණු රටවල සුරතල් රොබෝ බෝනික්කන්ද නිපදවා තිබේ. කයිලාද එවැන්නියකි.

කයිලා බෝනික්කා යනු ළමයාගේ කතාකිරීම හඳුනාගැනීමට සහ කතා කිරීමට ඇණ්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා ios පද්ධතිය සඳහා සහයෝගිව කථන හැඳුනුම් තාක්ෂණය යොදාගන්නා බෝනික්කෙකි. ළමයා කීවේ කුමක්දැයි අන්තර්ජාලය භාවිතා කොට හොයා බලන අතර ඒ සමගම එයට පිළිතුරුද අන්තර්ජාලය මගින්ම එකතු කරන ලදී. කයිලා නිපදවා ඇත්තේ සින්ඩි ස්මාට්හි හා ටෙක්නෝ රොබෝ බලු පැටියාගේද නිපැයුම්කරු වූ බොබ් delprinsip ය. කයිලාගේ කාර්යය වන්නේ මයික්‍රෝනය මගින් බ්ලූටුත් හරහා ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියට හෝ iso යෙදවුම් යැවීමයි. පසුව එම පද්ධතිය මගින් වචන පිහිටීම බව‍ට පත්කර අන්තර්ජාලය මගින් පිළිතුරුද සොයන අතර නැවත එය කතාවක් බවට පත්කර බෝනික්කා වෙත එවනු ලබයි. මේ සඳහා ගතවන්නේ තප්පරයක් තරම් කාලයකි. කයිලා මෙහෙයවනු ලැබෙන්නේ 3AA බැටරි මගිනි. කයිලාගේ සියලු තොරතුරු එනම් ඇගේ පවුල් පසුබිම ඇය කැමති ආහාර සුරතලුන් චිත්‍රපට ආදී සියලු විස්තර ගබඩා කර ඇත. කයිලාගේ නිර්මාතෘ වන බොබ් පවසන ආකාරයට කයිලා සෙවුම් මෘදුකාංගයක් නොව අවුරුදු හතක ළමයෙකි. ඇය නොදන්නා බොහෝදේත් ඇති මුත් කයිලා තරම් අන්තර්ජාලය හා සම්බන්ධ වන බුද්ධිමත් බෝනික්කෙක් මින් පෙර නිපදවී නැත. කයිලා විලාසිතා තුන් ආකාරයකින් පැමිණෙයි. සුදට හුරු ලා දුඹුරු පැහැයෙනුත් තළෙලු පැහැයෙන් හා අප්‍රිකානු පෙනුමෙනි. මීට අමතරව ලන්ඩන් වලින් කයිලා කුමාරියකගේ ස්වරූපය ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.

2014 වසරේ කයිලා බෝනික්කා සඳහා නවීනතම සෙල්ලම් බඩුවට හිමි වන සම්මානයද හිමි විය. ඒ ලොව වැඩියෙන්ම අලෙවි වන හොඳම සෙල්ලම් බඩු දහය අතරට එක්වෙමිනි. මෙලෙස සම්මාන වලට පවා පාත්‍ර වූ මේ අධි තාක්ෂණික බෝනික්කා පිළිබඳ විවේචනාත්මක අදහස්ද පැන නැගී ඇත. කෙන් මුන්රෝ හා ටිම් එඩින් යන දෙදෙනා විසින් මෙම බෝනික්කා ගලවා බලා මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කිරීමේදී කයිලා යනු හානිකර බෝනික්කෙක් බවත් ළමයින්ට කිසි විටෙක සුදුසු නොවන බව බීබීසී ඔස්සේ ලෝකයට ප්‍රකාශ කර ඇත. ඔවුන් පවසන පරිදි කයිලා යනු සම්පූර්ණම තාක්ෂණික විහිළුවකි. ජර්මනියේ මෙය තහනම් කිරීමට කටයුතු යොදා ඇත්තේ කයිලාට මීටර් දහයක දුර සිට කතා කිරීමට ඇති හැකියාව නිසා එය රටේ ආරක්ෂාව සඳහාද තර්ජනයක් වනු ඇතැයි සිතමිනි. කයිලා බෝනික්කන් ඔත්තු බලන බෝනික්කන් ලෙස රටක ආරක්ෂා වට නුසුදුසු බවත් එය කිසිවිටෙක දරුවන්ගේ සුරතලෙක් නොවන බව ජර්මන් රජය පවසයි. එය විනාශ කර දමන්නට රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලයි.

අතීතයේ බෝනික්කා යනු දරුවන්ගේ සියලු හැඟුමන් නිහඬවම දරාගත් අජීවී සුරතලෙකි. අධි තාක්ෂණය මිනිසාවද පසු කර හිණිපෙත්ත කරා යන ගමනේ මෙවැනි බෝනික්කන් බිහිවීම අරුමයක් නොවන්නේය. එහෙත් ළමා කාලය එහි සොඳුරුකම එලෙසම ඉතිරි කරන බෝනික්කන්ට තාමත් ඉඩ ලබාදිය යුතුය. ප්‍රශ්නවලට පිළිතුරු සපයන ඔත්තු බලන අධි තාක්ෂණික කයිලා බෝනික්කන් තවමත් අපේ රටට ආගන්තුකය. එය ආගන්තුකම ලෙසින් තිබෙනු ඇතැයි දියුණු වෙමින් පවතින ලෝකයේ රටක් ලෙසින් අපි සිතන්නෙමු.

♦ තනුජා ලුම්බිණි