2019 මාර්තු 30 වන සෙනසුරාදා

මුනිවර අසපු අතහැර

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

නිර්මාණාත්මක මෙන්ම ශාස්ත්‍රීය ලේඛනයෙන් ද, සාහිත්‍ය ලෝකයට අගනා දායකත්වයක් සපයන කේ.එම්.අයි. ස්වර්ණසිංහගේ නවතම කෘතිය, මුනිවර අසපුව අතහැර නොබෝදා ප්‍රකාශයට පත් විය. පද්‍ය නිර්මාණ 68කින් සමන්විත මෙම කෘතිය කරැණු කිහිපයක් නිසා පාඨක අවධානයට ලක්වුව මනාය.

නිහඬ දෙරණ (1987) කාව්‍ය සංග්‍රහයෙන් සාහිත්‍ය ලෝකයට පිවිසි ඔහු අනතුරැව ඡායා (1994), සඳ එළිය (2002) හා උපත (2014) කාව්‍ය සංග්‍රහ එළිදැක්වූ අතර, නවතම කෘතිය ඔහුගේ සාහිත්‍ය ගමන් මඟෙහි හැරවුම් ලක්ෂ්‍යක් පෙන්නුම් කරයි. එක් කවි එකතුවක් නිකුත් කොට ප්‍රමාණවත් විරාමයකට පසු කවි ලිවීම නිසාදෝ ඔහුගේ කවිවල පිරිපහදු ගුණය ඉහළය. ගතවන විරාමය නව අත්දැකීම් ලබාගැනීමට ද, ඒවා ආශ්‍රිත ප්‍රතිනිර්මාණයට ද, ඵලදායී ලෙස යොදතැයි හැඟෙන්නේ අලුත් කාව්‍ය සංග්‍රහයේ විෂය ක්ෂේත්‍රවල පුළුල් බව හා ඒවාට තබා ඇති බර ගැන සිතන විටය.

අලුත් කාව්‍ය සංග්‍රහය ඔහුගේ පෙර කාව්‍ය සංග්‍රහවලින් විශාල ලෙස වෙනස් නොවුණද, ඔහුගේ විෂය ක්ෂේත්‍රය පුළුල්වීම හා ඒ ඇසුරේ කරනා නිර්මාණවල අපූර්වත්වය අපට හඳුනාගත හැකිය. මුහුකුරා ගිය ජීවන අත්දැකීම් හා ඒ ආශ්‍රිත පරිකල්පනයන් ඊට හේතු වුණා විය හැකිය. මේ අනුභූතීන් පරාසය කවියා තුළ අතීත කාමයක් දනවන සුළු රජරට ග්‍රාමීය සමාජයේ සිට, අපගේ සංස්කෘතික උරුමයන් රැගත් භාරතය ඇතුළු ආසියා කලාපය පුරා විහිදෙයි. මල් නෙලීම, කුසුමාවතී, නෙළුම් අල, ඔහු නිදන තැන, පෙරහැර අඳින්නං, අතරමඟ රජරට ජන ජීවිතය පදනම් කර ගනිද්දී, සාගර් මාතා හෙවත් එවරස්ට්, සිරකරු, කායිව් සිල් මාතාවගේ දියණිය, මුනිවර අසපු අතහැර, ගුර්පා ආදී නිර්මාණ තායිලන්තය, භාරතය හා මියන්මාර ජන ජීවිතය පාදක කරගනී. තවත් නිර්මාණ කිහිපයක් ගේහසිත ප්‍රේමය, දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය තේමාකර ගත්තද, පොදුවේ ඒ සියල්ල තුළින් විද්‍යාමාන කරන්නේ උදාර මානව ප්‍රේමයයි. විප්ලවවාදී තරැණයාගේ මව, හුදකලා ගමනක්, කුරුළු පිහාටුව, අපි, අයියා, සිහිනය, දියණිය හා වෙසක් පහන, මල් පිපෙයි නිදසුන් කිහිපයකි. මීට අමතරව ඇතැම් නිර්මාණ මගින් අපට දාර්ශනික කවියෙක් හමුවෙයි. විශේෂයෙන් ඔහුගේ කෙටි කවි ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. හිරු, ස්මරණ, අපි, මැයි පහන, දියණිය හා වෙසක් පහන, මල් පිපෙයි, නදිය සැතපුණ තැන ඒ අතරින් කිහිපයකි.

සිය නිර්මාණ සඳහා ජන සාහිත්‍යය හා සම්භාව්‍ය සාහිත්‍යයේ භාෂා ප්‍රයෝග යොදාගන්නා කවියා, තම අනුභූතිය ප්‍රකාශයට සුදුසු පරිදි එම ක්ෂේත්‍ර දෙක අතර ‍සේතුවක් නිර්මාණය කරයි. %මල් නෙලීම^, %පෙරහැර අඳින්නං^ සඳහා මූලික වශයෙන්ම ජනකවි ආකෘතිය යොදාගෙන ඇත්තේ, එම අනුභූතීන්හි පවත්නා සුවිශේෂීභාවය නිසා විය යුතුය.

අපේ වැවේ වෑකන්දෙන් බැලු කලට
වැව ළඟ නෙළුම් යායම පෙනුණා රැවට
එකම මලක්වත් නෙළුමට බැරි දුකට
සාදු සාදු වැව පිදුවා බුදු හිමිට (මල් නෙලීම) 

වැවට තහංචි වැටීමෙන් පීඩනයක් ඇති කළද, ගැමියා එ දෙස බලන්නේ ආගම දහමෙන් ඇතිකළ උපේක්ෂාව පෙරදැරි කරගෙනය. මෙහි බොහෝ පද ජනකවියෙන් උපුටාගෙන ඇතිමුත්, එය සමකාලීන අනුභූතියක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිදි වචන භාවිත කරමින් ප්‍රතිනිර්මාණය කරනු හඳුනාගත හැකිය.

මුහුලස ගැවසි මල් වරුසාවලිනි
රන් වළලු සැලෙන දිගු සුමුදු රන් දමෙහි
රන් වැට්කොල් මල් සදිසි
රන් වනුන් මල් රැගෙන
වලා මත සැරිසරන
විසල් සීගිරි පව්ව පාමුල
කෘෂව ගිය දර ඉපල් අත පයිනි
දියව ගිය මල් මැකුණු චීත්තෙහි
කරගැට නැගුණු කළු ඇඟිලි පොකුරෙහි
සුද ඇවිත් පරව ගිය වපරුසිනි
බඩඉරිඟු විකුණයි
කුසුමාවතී (කුසුමාවතී)

මෙහි වදන් සීගිරි ගීයෙන් ද, සමකාලීන ව්‍යවහාර බසින් ද සම්මිශ්‍රණය කර ඇත්තේ අදාළ පසුබිම දැක්වීමට මෙන්ම ඒ සෞන්දර්ය මැද කුසුමාවතීගේ ජීවන අරගලයේ පරස්පරය දක්වනු සඳහා බව හැඟෙයි.
කවියා තම අදහස් ප්‍රකාශනය සඳහා සාම්ප්‍රදායික උපමා, රෑපක මෙන්ම, නව්‍ය උපමා රෑපක ද යොදා ගනියි. රුදුරු බියකරු කෙලෙස් බීසය, වෙරළෙහි මැකෙන පියවර විලස, ගලා බසී මහජන ගංඟා නිදසුන්ය.
පද සංඝඨනාව මගින් මතුකරන අනුප්‍රාසය කෙරෙහි දක්වන සැලකිල්ල බොහෝ නිර්මාණවලින් හඳුනාගත හැකිය.

විප්ලවවාදී තරුණයාගේ මව කව්පෙළ නිදසුන් ලෙස ගත්විට එයින් හුදු විප්ලවවාදී මතවාදයක් හෝ එහි ප්‍රතිවාදයක් හෝ නොදක්වයි. එය මාතෘ ආදරය තේමාකර /ගන්නවා සේම, පරම්පරා දෙකක චින්තන විධි ගැන අපට ඉඟි කරයි.
අයියා කව්පෙළ තුළ ද මේ චින්තනමය පරස්පරය පෙනෙයි.

දිනෙක නුඹේ මරණෙටවත්
නොඑමි කියා ගල් කළ සිත
ගින්නෙහි ලූ වෙඬරු පිඬව
දියවී දෑසින් වැගිරිණි

සිතෙහි ස්වභාවය කියාපාන මේ කව, අවසන අප සංස්කෘතිය විසින් චින්තනය හසුරැවන ආකාරය ගැන ඉඟි කරයි.

පොදුවේ ගත්විට මෙහි ඇතුළත් කවි අප තුළ සියුම් වින්දනයක් ඇතිකරමින්, ජීවිතාවබෝධය පුළුල් කරනා බව කිව යුතුය. 

මෙම කෘතිය මරදාන සූරිය ප්‍රකාශනයකි.

 සුගත් වටගෙදර