2019 මාර්තු 30 වන සෙනසුරාදා

බලෙන් වැස්ස බොරු වැඩක්?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 312

කිරලුන් වැවේ වතුර රඳන කොටසේ බිත්තර දැමීමත්, වඩුකුරුල්ලා වැව් තාවුල්ලේ පහළ අතුවල කූඩු තැනීමත් වැස්ස පමාවන බවට පෙර නිමිතිය. අහසේ වැහි වළාකුළු නැතිනම් වැහි බිත්තර රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස පමා වේ. නමුත් වැහි වළාකුළු දිග වී තිබේ නම් නිසැකවම වැසි වසී.

ඉඩෝරය පවතින විටදී වර්ෂාව පතා වැසි පිරිත සජ්ඣායනය රජරට ප්‍රදේශයේ මුල්තැනක් ගනී. එමගින් වැසි ලබා දී රටට සෞභාග්‍යය උදාකරන ලෙස සොබාදහමෙන් ආයාචනය කෙරේ. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මහනුවර දළදා මාලිගය, කතරගම කිරි වෙහෙර වැනි රටේ ප්‍රධාන පෙළේ පූජනීය ස්ථානවලදී වැස්ස පතා බාර වී පුද පූජා පවත්වති.

ඉතිහාසයේ කවදාවත් නොවැරදුණු මේ පිළිවෙත් හා සොබාදහමේ පෙරනිමිති අද නොව හෙටටත් වලංගුය. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ නිල දරන සීත කාමරවල කැරකෙන පුටුවල සිට සැලසුම් හදන නෝනා මහත්වරුනට ඉහත කරුණු ගැන අවබෝධයක් නැති තරම්ය. ඒ නිසාම සිදුව ඇත්තේ ලංකාව වැනි රටකට අසාර්ථක වන රසායන ඉස වැසි වැස්සවීමට ගොස් දැවැන්ත මුදලක් වියදම් කිරීම පමණය.

මෙරට වාර්ෂික විදුලිය අවශ්‍යතාවෙන් සියයට 30ක් 35ක් ජල විදුලියෙන් සම්පූර්ණ කෙරෙද්දී වැසි නොවැටීම බරපතළ ගැටලුවකි. පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලවිදුලි බලාගාර ආශ්‍රිතව කෘත්‍රිම වැසි වැස්සවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පියවර ගත්තේය.

ඉකුත් සිකුරාදා මස්කෙළියේදී ගුවන් යානා මගින් අහසට රසායන ද්‍රව්‍ය විදීමෙන් දෙපැයකට පසුව මාවුස්සාකැලේ ජලාධාර ප්‍රදේශයට මිනිත්තු 45ක පමණ වර්ෂාවක් වැටුණු බව වාර්තා විය. දෙවැනි දිනයටත් සිදුකළ කාර්යයෙන් අපේක්ෂා කළ වර්ෂාව ප්‍රමාණවත්ව නොලැබීම නිසා කෘත්‍රිම වැසි සඳහා රසායන ඉසීම නවතා ඇත. කාලගුණය සම්බන්ධ විශේෂඥයන් පවසන්නේ පසුගිය 22 වැනිදා මාවුස්සාකැලේ ප්‍රදේශයට වැටුණු වැස්ස රසායන ඉසීමේ ප්‍රතිඵලයක් නොවන බවත් එම ප්‍රදේශයට වර්ෂාව ඇතිවීමේ අනාවැකිය ඊට පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ බවය. ඒ අනුව එදින දිස්ත්‍රික් පහකට ගිගුරැම් සහිත වැසි ඇතිවන බව දක්වා තිබිණ. මෙය ලංකාවේ ප්‍රථම වතාවට සිදුකළ එකක් බවට බොහෝ මාධ්‍ය වාර්තා කළද 1981 වර්ෂයේදී එවැන්නක් මෙරටදී සිදුකර ඇති බවක් දක්වා නොතිබුණි. කෙසේ නමුත් එම අවස්ථාවද සාර්ථක වූ බවට වාර්තා වන්නේ නැත.

කෘත්‍රිම වැසි වැස්සවීමත් ඒ සඳහා රසායන ද්‍රව්‍ය ඉසීමත් පිළිබඳව ඇතැමුන්ට ඇත්තේ විමතියක් හා ගැටලුවකි. බලෙන් වැස්සවීමට වඩා ඔවුන්ගේ ප්‍රශ්නය රසායන ඉසීම ගැනය. රසායන හේතුවෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයට හානියක් වේද? බලහත්කාරයෙන් වැස්ස වූ පසුව ස්වභාවික වර්ෂාව තවත් ප්‍රමාද වේද? ඒ හේතුවෙන් නියඟයක් ඇතිවේද? යන්නය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (විශ්‍රාමික) කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අභයසිංහ මහතා

“සාමාන්‍යයෙන් වැස්ස ඇතිවන්නේ ජලචක්‍රය ක්‍රියාත්මක වීමෙන්. ඒ අනුව පොළවේ තියෙන වතුර වාෂ්ප වෙලා අහසෙදී සංතෘප්ත නැත්නම් සිසිල් වෙලා ඝනීභවනය වීමෙන් පස්සේ වැස්ස ඇති වෙනවා. ඒ කියන්නෙ වාෂ්ප වන ජලය සිසිල් වෙලා කුඩා ජල බිංදු විශාල වීමෙන් පස්සෙ වහිනවා කියන එක. මේ ක්‍රමය කෘත්‍රිම වශයෙන් ඉක්මන් කරනවා රසායන යොදලා. එතනදි කරන්නේ අහසේ තියන වාෂ්ප සිසිල් කරලා ජල බිංදු හදලා වැස්සවීම. මේ සඳහා ඝන කාබන්ඩයොක්සයිඩ් - 40°ක් තරම් සිසිල් කරලා ටොන් ගානක් ඉසිනවා. මීට අමතරව සිල්වර් අයිඩයිඩ් සහ ලුණු පවුඩර් ඉසිනවා. මේකෙන් ස්වභාවික ක්‍රමවේදය ඉක්මන් කරවනවා.

මේක චීනය වගේ ප්‍රමාණයෙන් විශාල රටවල සිදුකරනවා. මේ ක්‍රමයට වැසි වලාවක් ඇති කළාට වැස්ස වහින්නෙ ඒ ප්‍රදේශයට නොවේ. මොකද සුළඟත් එක්ක වළාකුල චලනය වෙනවා. මේ සුළගේ වේගය හා දිශාව මැන ගැනීමට අවශ්‍යයි. චීනයේ නම් ඒ සඳහා බැලුන යවනවා. ඒ අනුවයි රසායන ඉසීම කළ යුත්තේ. නැතුව ජලාශයක් උඩට රසායන ඉස්සට එතැනට වහින්නේ නෑ. මෙම ක්‍රියාවලිය විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක එකක්. විදුලිබල ඇමති හෝ විදුලිබල මණ්ඩලය ඒක දන්නේ නෑ. ගුවන් හමුදාව යානාව පදවනවා. රසායන ඉසිනවා. එයාලටත් අවශ්‍ය දැනුම නෑ. මේ සඳහා යොදවපු බලධාරීන්ටත් තේරුමකුත් නෑ.”

මාර්තු මාසය අගදී සංවහන වැසි ඇති වන බව කවුරුත් දන්නවා. සූර්යයා ලංකාවට මුදුන් වන්නේද මේ කාලයේදීය. එය අප්‍රේල් 4 හා 17 අතරදී සිදුවේ. විදුලිබල මණ්ඩලය මෙහෙයවීම යටතේ 22 හා 23 දෙදින තුළ සිදුකළ කාර්ය අසාර්ථක බව රාජ්‍ය මාධ්‍ය මගින්ම අනාවරණය කෙරිණි. ලංකාව වැනි බිම් ප්‍රමාණයෙන් අඩු දූපත් රටකට කෘත්‍රිම වැසි අනවශ්‍ය බව කේ.ආර්. අභයසිංහ මහතාගේ අදහසය. එය අසාර්ථක බව ප්‍රකාශවීමද ඔහුගේ අදහස සනාථ කරයි.

“මේ ක්‍රමයෙන් පරිසරයට හානියක් වන බවට අදහසක් නෑ. ඒ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් පරීක්ෂණයක් කරලා නෑ. ඇතැම්විට අහිතකර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් ටොන් ගණනක් රසායන ද්‍රව්‍ය ඉසීම නිසා. පසුගාමීව අහිතකර ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. මොකද සොබාදහමට පටහැනිව යමක් කළාම ඒකට විපාකයක් එනවනේ. කෙසේ නමුත් හදිසි අවස්ථාවකදී චීනය රුසියාව වගේ භූමියෙන් විශාල රටවල් කෘත්‍රිම වැසි වස්සනවා. ලංකාවට ඉහළ අහසේ සුළඟත් එක්ක වළාකුල බෙංගාල බොක්කට හෝ අරාබි මුහුද දෙසට යනවා. මේ නිසා විශාල රටකට කෘත්‍රිම වැසි ක්‍රමය සාර්ථක වුණත් ලංකාව වගේ රටකට අසාර්ථක බව පැහැදිලියි” යැයි කේ.ආර්. අභයසිංහ මහතා පැවසීය.

1981 වර්ෂයේ සිදුකළ කෘත්‍රිම වැස්ස අසාර්ථක එකක් බවට එවකට මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහතා විසින් පර් යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළේය. පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබුණේ උගතුන් 50 දෙනකුවත් පාර්ලිමේන්තුවට අවශ්‍ය බවය. එහෙත් මෙවැනි ව්‍යපෘතියක් සිදුකිරීමේදී ආකාශ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් රටේ සිටින සීමික උගතුන් කීපදෙනාගෙන් හෝ 1981 ක්‍රියාවලියට දායක වූ එම්.බී. සිල්වා මහතා වැනි නිපුණතාවයෙන් හෙබි පිරිසගෙන් අදහස් නොවිමසා සිදුකළ කාර්ය මුදල් නාස්තියක් පමණය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00