2019 මාර්තු 30 වන සෙනසුරාදා

මෝඩයගේ දවසේ පැරැණි කතා

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 327

වෙරළකරේ ගම්මානයේ පැරැණි කතා. අපි ඔබත් එක්ක පහුගිය කාලේ බෙදාගත්තා මතක ඇතිනේ. ඒ අතරින් ටික වෙනස් විදිහේ මතකයක් අවදි කරන්නයි මේ සූදානම. හෙට අප්‍රේල් මාසේ පළවෙනිදා. ඔව් ඒ කියන්නේ මෝඩයාගේ දවස. ඔන්න ඔය දවසට ගමේ කොල්ලො කුරුට්ටෝ එකතුවෙලා කරපු වැඩ ටික ගැන තමයි අද අපි කියන්න යන්නේ. හැම ගමේම මෙහෙම කතා තියනවා ඔබේ මතකයත් අතීතයට ‍යයි මේ එක්කම.

මේ කතාවල එන ගොඩක් චරිත අදටත් ගමේ ඉන්න නිසා. ඕන්න අපි නම් ගම් පොඩ්ඩක් වෙනස්කළා කාරිය. අපේ කතානායකයා ධර්මේ. ධර්මේ කියන්නේ ගැටයා කාලේ ඉඳන් ගමේ කොයි කවුරුත් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. හේතුව තමා හැමෝටම ලණුදෙන එක. නැත්නම් ටිකක් සැරට විහිළු තහලු කරන එක. අද ඒ පරණ ඔය සිද්ධි ගමේ කඩපිලේ දානෙදී මගුලේදී මළගෙරදී කතාවෙනවා. ඉතින් ඒවා කොයි කාවත් හිනස්සන අපූරු මතක. මේ එකදහස් නවසිය හැට ගණන්වල අග හරියේ. හැත්තෑ ගණන්වල මුල හරියේ වෙච්ච දේවල්.

ඇවිදින මල්වඩම
ගමේ හාමුදුරුවෝ නමක් හිටියා මුහුදු ළඟ කන්ද උඩ පන්සලේ. උන්වහන්සේ ගමේ කාටත් හිතවත්, හිත හොඳ, කාගෙත් ආදර දිනාගත්ත චරිතක්. හැබයි විහිළු තහලු වලට බොහොම ළැදියි. ඔන්න අප්‍රේල් පළවෙනිදා ආවා. රාත්තිරියේ ධර්මෙයි යාළුවෙකුයි එළියට බැස්සේ මෙදා පොටේ දෙතුන් දෙනෙක්ට හොඳ ගුලියක් අඹරන්න හිතාගෙන. ගම්මු කීපදෙනෙක්ම ළඟදී මැරුණ නිසා සොහොනේ මල්වඩම් තියෙනවා. ධර්මෙයි යාළුවයි ගියේ සොහොන පැත්තට. මේ කාලේ අද වගේ ගමට කරන්ට් එක නෑ. හද්ද කළුවරයි. යක්කු ගස් නගින යාමේ දෙන්න හිමි හිමින් සොහොන දිහාවට ඇදුණා. ළංවෙද්දී තමයි දැනුණේ සොහොනේ කවුරු හරි ඉන්නවා කියලා. දෙන්න ටික්ක හැංගිලා බැලුවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා.

මෙන්න වැඩක්. හාමුදුරුවෝ ගෝලයෙක් එක්ක ඇවිල්ලා කලින්ම මල්වඩම් ටික උස්සන්න. ධර්මේ බලන් හිටියා වැඩේ. ලොකු සැලැස්මක් හිතේ තිබ්බත් දැන් ඒක වෙනස් කරගන්න වෙනවා. හාමුදුරුවෝ පස්සෙන් අඳුරේම ‍යාළුවෝ දෙන්න යන්න පටන් ගත්තා. ඔන්න හාමුදුරුවෝ එක මල්වඩමක් තිබ්බා ගමේ ඒ කාලේ ප්‍රසිද්ධ බාසුන්නැහැ කෙනෙක්ගේ ගෙදරක දොරකොඩින්. දැන් ධර්මේ මේක බලාගෙන ඉන්නවා. හාමුදුරැවෝ හීන්සැරේ වැඩේ කරලා යනකොට ධර්මේ මේ මල්වඩම ඉස්සුවා.

හාමුදුරුවෝ අනෙක් මල්වඩම අරගෙන ගියේ ගමේ ප්‍රසිද්ධ කඩයක් ඉස්සරහින් තියන්න. ඒකත් බලාගෙන හින්සීරුවේ හාමුදුරුවෝ එන්න කලියෙන් ධර්මේලා ගියා පන්සලට. උස්සපු මල්වඩම තිබ්බා පන්සලේ දොරකොඩින්. වටේ ගහලා හීන්සීරුවේ හාමුදුරුවෝ පන්සල එනකොට. මෙන්න බාසුන්නැහේගෙ ගෙදරින් තියලා ආව මල්වඩම පන්සලේ. හාමුදුරුවෝ ටිකක් බයවුණා. වටපිටා බැලුවා කවුරුත්ම නෑ.

ඔන්න ඔය අස්සේ කඩිමුඩියේ කඩේ ඉස්සරහා හාමුදුරුවෝ තියලා ආව මල්වඩම ධර්මේ අරගෙන ආවා. ඒ එනකොටත් හාමුදුරුවෝ බයවෙලා උන්නේ. පන්සලේ තිබ්බ මල්වඩම අරගෙන හාමුදුරුවෝ පාර අයිනෙන් ගිහින් තිබ්බා බයටම වගේ. ඒ ඩිංගට ඝාණ්ටාර කුලුන ළඟ හැංගිලා හිටපු ධර්මේ ගිහින් තිබ්බා අනෙක් මල්වඩමත් පන්සලේ ඉස්සරහින්. අනෙක් මල්වඩමත් දැන් පන්සලට ඇවිදන් ඇවිල්ලා. මේක දැක්ක හාමුදුරුවන්ට හීන්දාඩිය දැම්ම. බය හොඳටම වැඩිවුණා. මුළු පන්සලේම ලයිට් දැම්මා. පොල්ලකුත් තියාගෙන බලාගෙන හිටියා හැංගිලා. හොල්මන් ගැන හාමුදුරුවන්ටත් බය හිතෙන්නත් ඇති. මේ ඔක්කොම යාළුවෝ දෙන්නා හැංගිලා බලාගෙන හිටියා. කොහොම හරි එදා රූ හාමුදුරුවෝ නිදාගත්තේ නම් නෑ. ධර්මෙයි යාළුවයි හීන්සැරේ මාරුවෙලා ගියා රෑ ජාමේ. පස්සේ කාලෙක ඔය කතාව ගමේ ජනප්‍රිය වුණා.

වෙඩි තිබ්බෝ...
ඔන්න තවත් පළවෙනිදාවක සිද්ධ වූ කතාවක්. මෙදා පොටේ ලොකු ගිනි ගෙඩියක් තමා පත්තු වුණේ. ගමේ එක කිට්ටුව පවුල් දෙකක් රණ්ඩු වෙලා. සියදෝරිස් මාමයි විලියොන් මාමයි තමයි  පැටලිලා තියෙන්නේ. පළවෙනිදාට කලින් දවසේ වුණ මේ රණ්ඩුව ගැන ආරංචිය ආවා ධර්මෙට හවස් වෙද්දී. ඒ වෙනකොටත් මේ පාර කරන්න මොකක්ද කිය කියා තමයි ධර්මේ හිටියේ.

ටිකක් රෑ වේගෙන එනකොට ධර්මේ යාළුවෙක්ට මේ විස්තරේ කිව්වා. ඒ යාළුවා මේ රණ්ඩු වුණ පවුලක නෑයෙක්. ඒ වුණාට වැඩේට කැමති වුණා. ඇඳිරි වැටීගෙන එනකොට දෙන්න ගමේ කඩේට ගොඩවුණා. අවුරුදු ළඟ නිසා රතිඤ්ඤා අනම් මනම් කඩේ තියනවා. ගත්තා අහස් කූරකුයි රතිඤ්ඤාවකුයි හඳුන්කූරකුයි. රෑ වෙනකොට මේ ටික අරගෙන මේ රණ්ඩුව වුණ ගෙවල් පැත්තට සේන්දු වුණා. දෙන්න එක්ක. හඳුන්කූර දෙකඩ කඩලා ඇමිනුවා රතිඤ්ඤාවේ නූලෙන් එක කෑල්ලක්. ටිකක් දිගට තිබ්බ කෑල්ල ගැට ගැහැව්වා අහස් කූරට.

රෑ වෙනකොට සියදෝරිස් මාමා නිදාගන්නේ ගෙදර ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන. අඳුරේම හිමින්සැරේ සියදෝරිස් මාම ළඟට කිට්ටු වුණ ධර්මේ රතිඤ්ඤා තිබ්බා කොට්ටේ ළඟින්. අතේ තියෙන සිගරුට් එකෙන් පත්තු කරා හඳුන්කූරේ අගිස්ස. දැන් කාල බෝම්බේ වැඩ. එහා පැත්තේ විලියොන් මාමගේ ගෙදර. එහෙනම් දොර ජනෙල් වහලා. ඒත් ධර්මේ අර අහස් කූරත් පත්තුකරලා මිදුල වැලි අහුරක් තියලා ඒකේ ගැහැව්වා. දොර පැත්තටම එල්ලේ තියාලා. දැන් දෙන්න එක්ක කැළේට පැනලා හැංගිලා බලන් ඉන්නවා. 

දඩෝං ගාලා මුලින්ම පත්තු වුණේ සියදෝරිස් මාමාගේ කොට්ටේ ළඟ තිබ්බ රතිඤ්ඤාව. මෙන්න වෙඩිතිබ්බෝ වෙඩිතිබ්බෝ කියලා මාමා නැගිට්ටා. එකම කාලගෝට්ටියක්. මාම කෑගහනවා අඩෝ බඩෝ කිය කියා. මේ සද්ද බද්ද අස්සේ විලියොන් මාමාගේ ගෙදර අයත් ඇහැරැණා. ඒ ගෙදර දොර අරිනවාත් එක්කම අර අහස් කූරත් පත්තු වුණා සුරුස් ගාලා. ඩෝං ගාල ඒකත් පිපිරුවා. ඔන්න එකම රණ්ඩුවක් පළවෙනිදාට එළිවෙනකල්. ගමම ඇහැරිලා. කොහොම හරි රතිඤ්ඤා අහස්කූරු වුණාට රණ්ඩුව දවස් තුනක් තිබ්බා.

ධර්මේගේ වැඩ ගැන දන්නා විලියොන් පස්සේ හොයාගෙන ආවා ගෙදරටම. සියදෝරිස් තමන්ට විරැද්ධව පොලීසි යන්න හදන බව විලියොන් කීවත්  එහෙම වැඩක් කළා කියලා ධර්මේ නෙවෙයි පිළිගත්තේ. අන්තිමට පොලීසිත් ගියා. ඒත් ධර්මේ වැඩේට ගෑවුණේ නෑ.

අප්‍රේල් පළවෙනිදාට කරපු මේ වගේ වැඩ කතා මහ ගොඩක් තියනවා. ඒ කාලේ ඔරුවල්ලේ ඔරු කරේ තියාගෙන ඇවිල්ලා මහ රෑ වැල්ලේ අච්චියගේ ගේ ගාවින්  තියනවා ධර්මෙයි යාළුවෝයි. උදේට ඔරු යන්න ආපුවාම මිනිස්සු අන්ද මන්ද වෙනවා. ඒ වගේම තව දවසක් වැලි කරත්තයක් මහ රෑ ඇදගෙන ගිහිල්ලා වෙන ගෙදරක තිබ්බ කතාවකුත් තියෙනවා. ඒකත් විජ්ජුම්බරයක් වුණා. තව පළවෙනිදාවක රෑ දර කරත්තයක් උඩ මනුස්සයෙක් නිදාගෙන ඉන්නකොට ගැටේ ලිහලා. ගමම අවදියෙන් හිටිෙය අන්තිමට මුලු රෑම. ඉතින් තව කතා තියෙනවා. ගමේ කට්ටි කිහිපයක්ම පළවෙනිද රෑ මේ සෙල්ලමේ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියැවෙන්නේ.

ඔන්න ඔය වගේ කතා හැම ගමකම තියෙනවා. ඔබේ ගමේත් ඇති. ධර්මේ කියන්නේ අද ගමේ ජීවත්වෙන බොහොම වැදගත් කෙනෙක්. මේ ඔක්කොම කරේ විහිළු තහළු විදිහට. කොහොම වුණත් මේ ඔක්කොම අපූරැ මතක. නිස්කාංසුව වෙලාවක හෙට අනිද්දා මතක් කරගත්තොත් මේ වගේ කතා ඔබටත් මතක් වේවි.

චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තුතිය - යූ. ලක්නසිරි සිල්වා මහතාට