2019 මාර්තු 30 වන සෙනසුරාදා

ලංකාවේ රබර් කිරි හිඳිලා

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 343

පාසල් යන අවදියේදී ගුරු මව්පියන් අත්වැඩ දෙනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඒ පසුදා පාසලට ගෙන යන නිර්මාණයක් එම ගුරැතුමියට පෙන්වීමටය. පිරිමි දරුවන් ඒ සඳහා වඩාත්ම ඇලුම්කළේ වාහන සාදාගෙන යෑමටය. කොහේ හෝ කඩේකින් කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන ගොස් වාහනයක අනුරැවක් කපාගෙන ගමේ ඇති රබර් වත්තකින් රබර් කිරි පොල් කට්ටක් ගෙන ගොස් වාහන අනුරුව ඇලවීමට අපි ඉමහත් ඇල්මක් දැක්වූයෙමු.

අද වනවිට ඔට්ටාපාලු ගලවා වෙසක් කූඩු බඳින අයද, රබර් කිරිවලින් වාහන අනුරුව අත්වැඩවලට සාදන පොඩ්ඩන් සිටීද යන්න අපි නොදනිමු. අපි මේ කතා කරන්නේ වෙසක් කූඩු සහ ගෙදර අත්වැඩ ගැන නොව එම ඔට්ටාපාලු සහ රබර් කිරි කර්මාන්තයට අද අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අතිරේක බෝගයක් වන රබර් ගසෙහි උපත දකුණු ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරය තුළ සිදුවී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රබර් ගසෙහි විකාශය වසර 140ක් දක්වා අතීතයට දිවයන්නකි. හෙන්රි ට්‍රිමන් 1876 වසරේදී මෙරටට රබර් ශාකය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස සැලකෙයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ ඇති රබර් ඉඩම් ප්‍රමාණය  හෙක්ටයාර 130,000කි. ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වය දක්වන 68% පමණ වූ කුඩා රබර්වතු හිමියෝ බදු සහන යටතේ මැලේසියාවෙන් සහ කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර දීම නිසාත් ඒ හේතුවෙන් මින් පෙර රුපියල් හයසියයත් පන්සියයත් අතර මුදලකට අලෙවි වූ රබර් ෂීට් කිලෝවක මිල රුපියල් 2509ක් දක්වා පහත වැටීම නිසාත් මහත් අසීරුතාවයට පත්ව සිටිති.

සාම්ප්‍රදායික බෝගයක් වන රබර්වලට අභියෝග එල්ලවීම බලාපොරොත්තු විය යුත්තකි. කෘත්‍රිම රබර්වලින් ස්වභාවික රබර්වලට බරපතළ අභියෝගයක් එල්ල විය. එහෙත් ස්වභාවික රබර් වලට ද වෙළඳපොළක් පවතී. ලෝක රබර් නිෂ්පාදන රටවල් ආරක්ෂා වී ඇත්තේ එබැවිනි. එහෙත් ඒ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ පසුගාමීවය.

ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් රබර් වගා කරන රටවලද රබර් කර්මාන්තයේ පැවැත්ම හා බැඳී පවතින කරුණු අතරින් වඩාත්ම වැදගත් වන කරුණ බවට පත්වී ඇත්තේ රබර් මිලයි. එහෙත් රබර් මිල පිළිබඳ අධ්‍යයනය කිරීමේදී රබර් මිල ඉහළ යන බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් වසර 50කට පෙර රබර් කිලෝවක් සඳහා වූ මිල මෙන් සිය ගුණයක් අද රබර් මිලට ලැබේ. එහෙත් එය වැඩිවන්නේ වක්‍රාකාරවය. එනම් එක දිගට වසර කිහිපයක් වැඩි වී ඊළඟ වසර කිහිපයේ පහළට බසී. එහෙත් නිෂ්පාදන වියදම පිළිබඳ විමසා බැලීමේදී ඒ සඳහා දායක වන ප්‍රධාන සංඝටක වන කම්කරු වේතන, විදුලිය හා ඉන්ධන අනෙකුත් සැපයුම් ආදී සියලු දේ අඩු වැඩි වශයෙන් නිරතුරුව ඉහළ යන ප්‍රවණතාවයක් පවතී. මෙලෙස රබර් මිලෙහි පවතින උච්චාවචනය සමහර කාල වකවානුවල රබර් වගාකරුවන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක් බවටද පත්වී ඇත. නිෂ්පාදන වියදම ඉහළ යාමට සමගාමීව රබර් මිල ඉහළ නැගීමක් දක්නට නොලැබේ. මෙම තත්ත්වය රබර් වගාවට අයහපත් තත්ත්වයකි.

දැනට ශ්‍රී ලංකාවේ රබර් ඵලදායිතාවය වසරකට හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 850 වැනි ඉතා පහළ අගයකි. අනෙකුත් රබර් වගාකරන රටවල් හා සසඳන කළ වැඩිම ඵලදායිතා අගයක් පෙන්වන්නේ වියට්නාමයෙනි. එය වසරකට කිලෝග්‍රෑම් 1738කි. 


ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ:

බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් රබර් කර්මාන්තය මේ වනවිට දැඩි කඩා වැටීමකට ලක්වී තිබෙනවා. ඒ වගේම තමයි තවමත් රබර් සඳහා ස්ථාවර මිලක් ක්‍රියාත්මක වී නැහැ. මේ රජය වගේම පහුගිය රජයත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වාට තවමත් එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම තමයි මේ විදියට රබර්වලට නිසි මිලක් නොගෙවීම හේතුවෙන් රබර් කිරි කපන්නන්ගේ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ කුඩා රබර් වතු හිමියන් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. මීට පෙර රබර් කිරි නැතිවුණාම තමයි පිටරටින් රබර් කිරි ගෙන්නුවේ. නමුත් දැන් රබර් කිරි ලංකාවේ නිෂ්පාදනය කරන අවස්ථාවක මේ විදියට රබර් කිරි පිටරටින් ගෙන්වීම මගින් රබර් ගොවියෝ අසීරැතාවයට පත්වෙලා ඉන්නවා. මේ පිරිසට සහනයක් දෙනවා වෙනුවට මේ ලෙස පිටරටින් රබර් කිරි ගෙන්වීම නිසා මොවුන් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. ඒ නිසා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව විධිමත්ව සිතා බලා හොඳ පියවරක් ගන්නා ලෙසයි.

සටහන - හසිත් අංජන