සන්නිවේදනය සඳහා ජනයා සක්‍රීය ලෙස උපයෝගී කරගන්නා භාෂාව ද කාලයත් සමඟ නිරන්තරයෙන් වෙනස් වීමකට ලක්වේ. භාෂාව යනු එක තැන පල්වන්නක් නොවේ. භාෂාවේ භාවිතය වැඩි වෙත්ම එය වෙනස් වන තීව්‍රතාව ද වැඩි වේ. සමාජ, දේශපාලන, ආර්ථික කාරණාවලටත් වඩා තාක්ෂණයත් සමඟ භාෂාවත් සීඝ්‍ර වෙනස්වීමකට ලක්වේ. වේගයෙන් දියුණු වන තාක්ෂණයට සාපේක්ෂව භාෂාවේ භාවිතය සාධනීය ලෙස අලුත් කරගත යුතු ආකාරය මෑතකදී වියතුන් කිහිපදෙනකුගේ අවධාරණයට ලක්ව තිබූ අයුරු පුවත්පත්වලින් දැනගන්නට ලැබුණේය.
නෝර්වේ රටේ භාෂාව (නෝර්වේජියානු බස) පසුගිය සියවසේදී සීඝ්‍ර ලෙස වෙනස් වූ ආකාරය විටක කියවන්නට ලැබුණේය. එක්දහස් අටසිය ගණන්වල අග භාගයේදී නෝර්වේජියානු බසින් හෙන්රික් ඉබ්සන් ලියූ නාට්‍යවල භාවිත භාෂාව වසර ගණනක් යද්දී පැරණි වූ බව එහි කියා තිබේ. ඉබ්සන් නෝර්වේජියානු බසින් ලියූ A Doll’s House (බෝනික්කි ගෙදර), Pillars of society (සමාජයේ කුලුනු), An Enemy of people (ජන හතුරා) වැනි නාට්‍ය 1950 ගණන්වල සිසු නෝර්වේජියානු දරුවකුට පහසුවෙන් කියවා තේරුම්ගන්නට නොහැකි වූ බව ඉන් ගම්‍ය වේ. තාක්ෂණය අතින් නෝර්වේ රට සීඝ්‍ර දියුණුවකට ඉහත කී කාලය ඇතුළත ලක්වීම ඊට හේතු වූවා විය හැකිය.
මෙම ලිපියේ අරමුණ, භාෂාවේ පරිණාමය පිළිබඳව ශාස්ත්‍රීය විඥානයක් ඉදිරිපත් කිරීම නොවේ. භාෂාවට බලපාන තාක්ෂණයත් භාෂාවේ වෙනස් වීම පිළිබඳවත් සාමාන්‍ය ජීවිතයේදී අප අත්දුටු දෑ පිළිබඳව සාකච්ඡා කොට සරල වින්දනයකුත්, යම් දැනුමකුත් ලබා ගැනීම මෙහි අරමුණයි.
“බදිත් කිසෙස් බෙයන්දහි රන්වනුන් දුටුවො
ළද පියොවුර් දකුත් දකුත් ඔවුන් නිසසල නුයුනට”
ඉහත දැක්වෙන්නේ සීගිරි කැටපත් පවුරේ ලියූ ගීයකි. පොදු ජනයා අතර එවකට භාවිත සිංහල නොවූවත් සීගිරි ගීවල ඇත්තේ විශේෂ කාව්‍යමය බසක් බව කියවේ. 1956 මාහාචාර්ය සෙනරත් පරණවිතාන මේවා කියවා නොදෙන්නට මේ පදවල අරුත තේරුම් ගන්නට අපට තව කල් ගත වෙන්නට ඉඩ තිබිණි. කෙසේ වුවද සීගිරි කුරුටු ගී ලියා ඇත්තේ හුදෙක් කවීන් පමණක් නොවේ. සීගිරිය නරඹන්නට පැමිණි පොදු ජනයා ද ඒවා ලියා තිබේ. වෙනස් වී ඇති නිසා අපට කියවා තේරුම් ගන්නට නොහැකිය.
කේ. ජයතිලකයන් විසින් රචිත සීගිරි ගී නිර්මාණ නම් පොතේ මෙම ගීයට දී ඇත්තේ පහත සඳහන් අර්ථයයි.
බෙයන්දහි රන්වනුන්, දුටු අය ළපටි පියවරු දැක දැක ඔවුන්ගේ නිසසල නෙත්වලට කෙසේ නම් (ගී) බඳිත්ද?
බෙයන්දහි යනු පර්වතයෙහි යන්නයි)
සුනිල් සාන්තයන් ඇතැම් සීගිරි ගීවලට (හමල් මරු දහස් සුයු හස්සන් දල්ලා, සිහිගිරි යසස සිරී වැනි ගිවලට) තනු යොදා ගායනා කිරීමට ද උත්සුක වූයේය.
කෙසේ වුවද සීගිරි ගීවල වත්මන් (sms) කෙටි පණිවිඩවලට යෝග්‍ය භාෂාවෙන් ඇසුවොත් “එහෙම හිතෙන්නේ මට විතරද?” දිගින් දිගටම කියන හෑලි කෙටියෙන් කිව හැකි විලාසයකුත් ඒවාගේ ඇත. ඊට හොඳම උදාහරණය මෙයයි.
“බුදල්මි සියොබැ ආමි
දුටු දුටු බොහෝ දෙනා ගී ලියෙන් නොලීමි”
කුමාරතුංග මුණිදාසයන් ලියූ ඇතැම් කවිවලද මේ හා සමාන ගුණයක් ඇත. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි.
“නාන තොටේ ගෑනු පිරී - ඉඩ නැති වී,
එකෙක් අමුඩ නැතිවැ බටැ - ඉඩ ඇති වී”
විනාඩි දහයක පමණ චිත්‍රපටයකින් කිවහැකි හාස්‍යජනක දර්ශනයක් මෙහිදී වැකි දෙකකින් කියා තිබේ. නාන තොටුපොළ පිරෙන්නට එකිනෙකා සමඟ ඕපාදූප දොඩමින් කල්ගත කළ කාන්තාවන්, සමූහයක් අමුඩය නොමැතිව ගඟට බැස්ස තැනැත්තාට ඉඩ දෙමින් ගඟ දෙවනත් වෙන්නට කෑ ගසමින් ඉවතට ගිය අයුරු මෙම කවිය කියවූ විට සිතට නැගේ.
මෙවැනි කවියකින් අප උගත යුත්තේ අමුඩ නැතිව ගඟට බැස නා ඡායාරූප ගන්නට නොව (පිදුරංගල කළාක් මෙන්) වැල් වටාරම් නොලියා යමක් කෙටියෙන් ලියන ආකාරය සිතට ගන්නටය.
මුද්‍රණ ශිල්පයේ වර්ධනයක් සමඟ ලොව සියලුම භාෂාවල වර්ධනයක් ඇති වූ වග රහසක් නොවේ. පොදු ජනයා අතර කියවීම ප්‍රචලිත වූයේ ඉන් පසුවයි. ලිඛිත භාෂාවට විරාම ලකුණු එක් කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වූයේ මුද්‍රණය ආරම්භ වීමත් සමඟයි.
1474දී පළමුවෙන්ම පොතක් මුද්‍රණය කළ තැනැත්තා විරාම ලකුණු තුනක් උපයෝගී කර ගත්තේය. විලියම් කැක්ස්ටන් (William Caxton) නම් ඔහු පද සමූහගත කිරීමට ඇළ ඉරත් / එක සමාන අරැත් ඇති පද වෙන් කිරීමට : ත්, වාක්‍ය නිමා වෙන තැන නැවතීමේ ලකුණත් යොදාගෙන තිබේ. ක්‍රි.පූ. 5 වැනි සියවසේ විසූ ග්‍රීක ප්‍රහසන නාට්‍ය රචක ඇරිසටෝඨානීස් උච්ඡාරණයේදී හඬ පාලනය කළ යුතු ආකාරය කියන්නට විරාම ලකුණු භාවිතා කළ බවද සඳහන්ය.
අපේ පැරැණි පුස්කොළ පොත්වල විරාම ලකුණු යොදා ගැනීමක් සිදුවී නැතැයි පෙනේ. පද බෙදීමට වර්තමානයේ කරන ආකාරයට ඒවායේ කර නොමැත.
මුද්‍රණ තාක්ෂණය වර්ධනය වෙත්ම විරාම ලකුණු යොදා ගැනීම ද ලොව පුරා ප්‍රචලිත භාෂාවලට එක් වූයේය. විරාම ලකුණු යොදා ගැනීමත් පද බෙදීමත් මගින් අර්ථ පැහැදිලිව සන්නිවේදනය කළ හැකි විය.
“මොහු මරන්න, එපා බේරන්න
මොහු මරන්න එපා, බේරන්න”
සිහින් කොමාවකින් වාක්‍යයේ අර්ථය සම්ප්‍රේෂණයෙන් වෙනස් වන බවට මෙය උදාහරණයකි.
පෙද බෙදීමට පාසලේදී කියා දුන් උදාහරණයක් තවමත් මතකයට නැගේ.
“බෙනේ කනයෙක්”
“බෙනේක නයෙක්”
ඉස්සර භාවිත වූ ටෙලිග්‍රෑම්වලින් මීට අදාළව රසවත් උදාහරණ මතුවී තිබිණි.
“මේ බල්ල බන බදා දාතු නටවා රිය පොළට එනවා”
“මේබල් ලබන බදාදා තුනට වාරියපොළට එනවා” යැයි කී විදුලි පුවත ග්‍රාහකයාට ලැබී තිබුණේ එසේය.
නිහාල් රංජිත් යන අපේ මිතුරකු අප හැඳන්වූයේ එන්. ආර්. නමිනි. ඔහු වරක් අප වෙත එවූ විදුලි පුවතක ඔහුගේ නම සඳහන් වී තිබුණේ “හෙන් හාර්” යනුවෙනි.
ඒ කාලයේ විදුලි පුවත්වල සටහන් බොහෝ දුරට සන්නිවේදනය කළේ දුරකථනයෙනි. විදුලි පුවත්වල ඇති දෑ දුරකථනයේ කියන විට බෙහෙවින් වෙනස් වී ඇතැම් විට ග්‍රාහකයාට ලැබුණේ විකෘති වූ පණිවිඩයකි. ඉස්සර විදුලි පුවත් ලැබුණේ සිංහලෙන් නොව ඉංග්‍රීසියෙනි. “නුඹේ ස්වාමියාට අමාරුයි” යනුවෙන් අනුලා ඒ විදුලි පුවත මාතර හාමිනේට ඇසෙන සේ සිංහලට නැගුවේ ඒ විදුලි පුවත රත්නපුරේ ..........” යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළියේ ඇත්තේ ඒ නිසාය.
මේ හේතුව නිසා ඇතැම් අය විදුලි පුවත ඉංග්‍රීසියෙන්ම ලියන්නට ගොස් හාස්‍යයට ලක් වුණු අවස්ථා ද නැතුවා නොවේ. එක් ආයතනයක සේවය කරන සේවකයකුට දිනක් වැඩට යන්නට නොහැකි වූයේ තම බිරිඳගේ අසනීපය නිසාය. ඒ බව ඉංග්‍රීසියෙන් කියා ඔහුට විදුලි පුවතක් යවන්නට ඕනෑ විය. ඔහු සිංහලෙන් සිතා එය අමුවෙන්ම ඉංග්‍රීසියට පෙරළා ගත්තේය.
“Sick of wife. grant leave”
“Sick of wife” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ විට මතුවන්නේ බිරිඳගේ වැඩ නිසා ඇයව එපා වූ හෝ අප්පිරියා වූ බව හැඟවෙන අර්ථය විනා බිරිඳගේ අසනීපයක් නිසා යන අර්ථය නොවේ.
ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද කෙටි යෙදුම් යෙදීම ඇරඹුණේ මුද්‍රණය ඇරඹීමත් සමඟ බව පෙනේ. සමහරුන්ගේ නමේ මුලකුරුවලට ඉංග්‍රීසියෙන් යෙදුණේ M.A.D. යන්නයි. වාසගමේ මුලකුරු සිංහලෙන් ලියන්නට ගිය අවස්ථාවල ඇතැමුන් අමාරුවේ වැටී තිබුණේය. ගුවන්විදුලියේ විකට වැඩසටහන් කළ සැමුවෙල් රොද්රිගූගේ වැඩසටහනේ නාමය P.K. අමාරිස්ය. (සිංහලෙන් පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්ය)
රජයේ වවුචර්වල වියදම සටහන් කරද්දී කෙටි යෙදුම්වලින් ඒවා සටහන් කිරීම තහනම්ය. ඊට හේතුව ලෙස රජයේ නිලධාරීන් අතර කතාවෙන පැරණි කතාවක් ඇත. එක් නිලධාරියකු වවුචරයේ වියදම් විස්තරවල සි. පැ. 1යි. අ. බෝ. 01යි යනුවෙන් සටහන් කිරීමෙන් පසු මෙම තහනම පැනවූ බව කතාවට කියැවේ. (සි. පැ. යනු සිගරට් පැකට්ය. අ.බෝ. යනු අරක්කු බෝතල්ය)
පාසල් විෂයක් ලෙස විද්‍යාව සිංහලෙන් ඉගැන්වීම දශක ගණනකට පෙර අසීරු වූයේ ඒ සඳහා පාරිභාෂිත වචන හඳුනාගෙන නොතිබුණ බැවිනි. භාෂා විද්වතුන්ගේ කැපවීම නිසා ඒ දුෂ්කරතාව දැන් මඟහැරී තිබේ. පාසල් විෂයක් ලෙස විද්‍යාව හැදෑරීමේදී කාලයක් පුරා භාවිතා කළ සිංහල වචන දැන් ස්ථාපිත වී තිබේ. උදාහරණයකට උත්ප්‍රේරකය, විද්‍යුත් සන්නායකය, චුම්භකත්වය යන වචනවල අරැත දැන් දැන් සිංහලෙන් විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට පැහැදිලිය. පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේදී මේ ආකාරයට අලුත් පද භාවිතයට එනු ඇත. අසාර්ථක අලුත් පද යම් යම් හේතු නිසා ව්‍යවහාරයට නොවේ. උදාහරණයකට පරිගණකයේ මවුසයට, මූසිකය කීම සාර්ථක වූයේ නැත. ක්‍රිකට්වලට ද එසේමය. (තණ තිල්ල), (දැවී යාම) වැනි පද භාවිතය සාර්ථක වූ අතර Slip හට (ලුහුටා) යැයි කීම විහිළුවට ලක්වී අසාර්ථක විය. සාමාන්‍ය ව්‍යවහාරයේදී ද මේ දේම සිදුවිය. තැපැල් කන්තෝරුවට (නියැදි පහින පොළ) යැයි කීම අසාර්ථක වූයේ තැපැල් කන්තෝරුව යැයි කීම වඩාත් කටට හුරු නිසාය.
භාෂාව අලුත් කිරීමට ගන්නා උත්සාහවලදී අලුත් පරපුරේ සන්නිවේදන භාවිතය හා පුරුදුවලට අවධානය යොමු කිරීම කෙරේ විද්වතුන්ගේ අවධානය යොමු විය යුතුය. පැරුණි වැදගත් භාෂා භාවිතා පිළිබඳව අලුත් පරපුර අවධානය යොමු කළ යුතුය.
සමන් පුෂ්ප ලියනගේ