වෙළෙඳපොළ තැනෙන්නේ වෙළෙන්දාගේ සහ පාරිභෝගිකයාගේ එකතුවෙනි. පාරිභෝගිකයා වෙළෙඳපොළට නොපැමිණේ නම් වෙළෙන්දා ළඟ කොතරම් භාණ්ඩ තිබුණත් ඒවා අලෙවි වන්නේ නැත. එසේම පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ නොමැති නම් කිසිදු විටෙක වෙළෙඳපොළ පවත්වාගෙන යාමට නොහැකිය. ඒ අනුව වෙළෙඳපොළ යනු වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර සංකලනයක් බව කිව යුතුය.
වසරේ විවිධ අවස්ථාවල වෙළෙඳපොළ ප්‍රසාරණය හා සංකෝචනය හෙවත් වෙළෙඳපොළ පැතිරී යාම සහ හැකිලී යාම සිදුවේ. වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ පිරී පවතින විට එය පාරිභෝගිකයාගෙන් ද පිරී යයි. එසේම පාරිභෝගිකයා ඉල්ලන භාණ්ඩ එහි නැතිනම් පාරිභෝගිකයා එතැනට නොපැමිණේ. ඒ අනුව පැතිරීම හා හැකිලීම සිදුවෙනවා ඇත.
කෙසේ වුවද උත්සව සමයක් ළංවන විට පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳපොළ පිරෙමින් පවතී. මෙය කවදත් සිදුවූ දෙයකි. මෙලෙස ඔවුන් වෙළෙඳපොළ කරා ඇදී එන්නේ උත්සව සමයේ දී තමාට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටය. විශේෂයෙන් ඇඳුම් පැළඳුම්, ආහාර ද්‍රව්‍ය, ත්‍යාග භාණ්ඩ, සැරසිලි උපකරණ ආදිය සඳහා ඉල්ලුම වැඩි වේ. මෙලෙස ඉල්ලුම වැඩි වන්නේ පාරිභෝගිකයා සාමාන්‍ය දිනයක පාවිච්චි කරනවාට වඩා භාණ්ඩ ඉල්ලීම නිසා සහ වෙනදා නොඉල්ලූ අලුත් අලුත් භාණ්ඩ ඉල්ලීම නිසාය. වෙළෙන්දා ද මෙහිදී පාරිභෝගිකයා ඉල්ලන්නේ මොනවාද යන්න කල්තබා හඳුනාගෙන ඒවායින් තම වෙළෙඳසල් පුරවා ගැනීමට කටයුතු කරන බවක් දක්නට ඇත.
මෙලෙස වැඩිපුර භාණ්ඩ ඉල්ලුම් කිරීමට සහ අලුත් භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගිකයාට හැකි වන්නේ ඔහු අත වැඩිපුර මුදල් ගැවසුණොත් පමණය. ඕනෑම උත්සව අවස්ථාවක් ළංවන විට පාරිභෝගිකයාට වැඩියෙන් මුදල් ලැබීම නිසා ඔහුගේ ‘ක්‍රය ශක්තිය’ හෙවත් මිලදී ගැනීමේ හැකියාව ඉහළ යයි. මුදල් නොමැති නම් භාණ්ඩ ඉල්ලුවාට ඒවා මිලදී ගැනීමට හැකි වන්නේ නැත. ඇතැම් වෙලාවට සාමාන්‍යයෙන් මාස දෙක තුනක දී වැය කරන මුදල් සතියක් දෙකක් තුළ වියදම් කිරීමට හැකිවන තරමට පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය දියුණු වී තිබේ.
මාසික ස්ථාවර වැටුපක් ලැබෙන සේවකයාට නම් උත්සව අත්තිකාරම්, වැටුප් අත්තිකාරම්, ප්‍රසාද දීමනා, ණය ලබාගැනීම් ආදී විවිධ ක්‍රමවලින් යහමින් අතට මුදල් ලැබේ. ගොවියා හෝ ස්වයංරැකියා කරන්නන්ට තම නිෂ්පාදන අලෙවි කර උත්සව සමයට මුහුණදීම සඳහා කල් ඇතිව මුදල් සොයා ගැනීමට හැකිවේ. මේ නිසා උත්සව සමය හැමදෙනාගේම අත යහමින් මිල මුදල් ගැවසෙන කාලයක් වෙයි.
පාරිභෝගිකයා අත යහමින් මුදල් තිබෙන බව දන්නා ව්‍යාපාරිකයා ද ඒවා සූරාගැනීම සඳහා විවිධ වෙළෙඳ උපක්‍රම භාවිත කරයි. විවිධ ප්‍රචාරණ කටයුතු මගින් පාරිභෝගිකයා තම නිෂ්පාදන වෙත නැඹුරු කර ගැනීමට යුහුසුළු වෙයි. මෙහිදී කල් ඇතිව ජනමාධ්‍ය මගින් ස්වකීය නිෂ්පාදන සහ වෙළෙඳ ආයතන පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ගෙන දෙයි. එසේම පාරිභෝගිකයාට විවිධ සහන ලබාදෙන බව කියයි. වට්ටම් දී මිල අඩුකිරීම, පොලී රහිතව කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදීම, ත්‍යාග ලබාදීම, වවුචර් පත් නිකුත් කිරීම, දෙකක් මිලට ගන්නා විට එකක් නොමිලයේ දීම, ලොතරැයි ඇදීම, මුදල් කාඩ්වලින් මිලට ගන්නා විට සහන සැලසීම මේ අතර වෙයි.
එසේම තම වෙළෙඳසලට පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කෙරේ. දර්ශනීය ලෙස වෙළෙඳසල සකස් කිරීම, ඩමි සවිකිරීම, සේල් පැවැත්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය කිරීම, සංගීත වාදන ප්‍රචාරය කිරීම, තාක්ෂණික මෙවලම් භාවිත කර වර්ණ රටා මැවීම, වෙළෙඳසල ඉදිරිපස වෙස් රැඟුම් දැක්වීම ආදිය ඉන් සමහරකි. මේවාට රැවටෙන පාරිභෝගිකයන් තම අවශ්‍යතාව කෙසේ වුවද මෙම ස්ථානවලට ඇදී ගොස් කිසිම විචක්ෂණශීලී බවකින් තොරව භාණ්ඩ මිලට ගැනීම සිදුකරයි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ පාරිභෝගිකයා රැවටීමට ලක්කිරීම මිස අනෙකක් නොවේ.
එසේම ග්‍රාමීය ප්‍රදේශවලට පවා වෙළෙඳ නියෝජිතයන් මාර්ගයෙන් භාණ්ඩ හඳුන්වා දීමක් සිදුවන අතර එමගින් දෙන විවිධ වරප්‍රසාදවලට රැවටී අනවශ්‍ය භාණ්ඩ පවා මිලට ගැනීමට ගැමි ජනතාව පෙළඹෙන බව පෙනේ.
මේ අනුව අපට පෙනී යන්නේ කූඨ වෙළෙඳුන් පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය නොව තමාට අවශ්‍ය භාණ්ඩය අලෙවි කිරීමට කටයුතු කරන බවය. මෙම තත්ත්වය උත්සව සමයේ උග්‍රවීම නිසා අසරණ පාරිභෝගිකයෝ තමන්ගේ මුළු සේසතම භාණ්ඩ සඳහා වැයකර වර්ෂයේ ඉදිරි කාලයේ දී ජීවත් වීමට මගක් නොමැතිව මහත් විපතකට වැටෙති. මෙහිදී පාරිභෝගිකයා කූඨ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන නිසි මගට යොමුකිරීම අවශ්‍ය වුවද ඒ පිළිබඳ රාජ්‍ය අංශය හෝ වෙනත් ස්වේච්ඡා සංවිධාන හෝ උනන්දුවක් නොදක්වන බවක් පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය පුද්ගලයාගේ ආර්ථිකයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම විපත්තිකර වෙයි. මෙම විෂම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා
“අද වනවිට රටේ වෙළෙඳපොළ රටාව නුදුරු අතීතය හා සංසන්දනය කළ විට යහපත් මට්ටමකට පැමිණ ඇති බව කිව හැකියි. රටේ වැඩි පාරිභෝගිකයන් සිටින්නේ ග්‍රාමීය ප්‍රදේශ තුළයි. වෙළෙඳපොළේ හැසිරීම උදෙසා ග්‍රාමීය පාරිභෝගිකයන්ගේ හැසිරීම ඉතාම තදින් බලපානවා. ෆුඩ්සිටි වලින් කවදත් බඩු ගන්න නාගරික පොහොසත් හා මධ්‍යම මට්ටමේ පාරිභෝගිකයන් හැරුණුවිට ගමේ කඩෙන් බඩු ගන්න දුප්පත් සාමාන්‍ය පාරිභෝගිකයා අනුව වෙළෙඳපොළ හැසිරීම වැඩි වශයෙන් සිදුවෙනවා.
අවුරුදු ගණනාවකට පසු යහපත් අස්වැන්නක් ලැබීම නිසා ගොවි ජනතාවගේ අතමිට මෙවර සරුවෙලා තියෙනවා. රජය හොඳම මිලකට වී මිලට ගන්නා අතර, පෞද්ගලික වෙළෙඳුන් ද රජය හා තරග කරමින් වී මිලට ගැනීමට උත්සාහ කිරීම නිසා වීවලට ඉහළ මිලක් ලැබෙනවා. මෙය පසුගිය අවුරුදු 3කට පසු අත්දකින්නට ලැබුණු යහපත් තත්ත්වයක්. සහල් මිල පහළ යාමට ද මේ තත්ත්වය බලපාන බව පෙනෙනවා.
වෙළෙඳපොළ සක්‍රීය වන්නේ ගමේ කුඩා පාරිභෝගිකයාට යහමින් මුදල් ලැබුණොත්. කුඩා ව්‍යාපාරිකයාගේ ආර්ථිකය ශක්තිමත් වන්නේද මෙම ගම්බද ජනතාවට අලෙවි කිරීම තුළින්. ලොකු බිස්නස්වලට වෙළෙඳපොළ කොටසක් ගියත් වැඩි ප්‍රමාණය කුඩා ව්‍යාපාරිකයන් මත තමා රැඳී පවතින්නේ. වෙළෙඳපොළ වඩාත්ම සංවේදී වන්නේ ග්‍රාමීය ජනතාව නිසයි.
මෙවර ගොවිතැන සශ්‍රීක වීම නිසා ගමේ ගොවියාට යහපත් ආර්ථිකයක් උදාවෙලා. නියඟයෙන්ද එතරම් බලපෑමක් ඇති නොවුණේ මේ වනවිට ගොයම් කපලා අවසන් නිසයි. දැන් ජනතාව අත යහමින් මුදල් ගැවසෙනවා. ජෝන් මෙනාඩි කේන්සිගේ කේන්සිං න්‍යාය අනුව පැවසෙන්නේ රටක ආර්ථිකය ශක්තිමත් වීමට නම් ඒ රටේ මුදල් සංසරණය වේගවත් විය යුතු බවයි. ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා අතර නිතර මුදල් ගනුදෙනු සිදුවිය යුතු වෙනවා. මුදල් සංසරණය වැඩිවීමට නම් ජනතාව වැඩියෙන් මුදල් වැයකළ යුතුයි. කෙසේ වුවත් ජනතාව අතර මුදල් සංසරණය වැඩි වූවාට එයින් ඔවුන්ගේ මෙන්ම රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතිවේදැයි සිතා බැලිය යුතු වෙනවා.
මෙහිදී පුද්ගල මූල්‍ය කළමනාකරණ විෂය පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. එහෙත් කනගාටුවට කරුණ වන්නේ අප රටේ ඒ ගැන උනන්දුවක් නොදැක්වීමයි. වෙනත් රටවල මෙම විෂය ජාතික අධ්‍යාපනය සමඟ බද්ධ වී තිබෙනවා. ජනතාව මුදල් ඉපයීමට වඩා වැයකිරීම ගැනයි පරිස්සම් විය යුත්තේ. ඔවුන් හම්බකරලා ඇති පදම් වියදම් කරලා යමක් ඉතිරි වුණොත් පමණයි ළඟ තබාගන්නට උනන්දු වන්නේ. එහෙත් නිවැරදි මූල්‍ය කළමනාකරණයේදී සිදුවිය යුත්තේ මුලින් කොටසක් ඉතිරි කර අනිත් කොටස වියදම් කිරීමයි. මෙම නිශ්චිත ඉතුරුම ඔහුගේ ඊළඟ ආයෝජනය වෙනවා. ස්ථීර ආදායම් මාර්ගයක් නැති අයට මෙය තදින්ම බලපානවා. අවුරුද්දේ මාස කිහිපයක් සුඛෝපභෝගී ලෙස ජීවත්වෙලා ඉතිරි වැඩි කාලය දුක් විඳීමටයි ඔවුන්ට සිදුව ඇත්තේ. අන්තිමට තමාගේ වත්කම් පවා මුදල් කරලා ජීවත් වන්නයි ඔවුන්ට සිදුවන්නේ.
උත්සව කාලයේදී ජනතාව හැම පැත්තෙන්ම ලැබෙන මුදල් අත දිගහැර වැය කිරීමට පෙළඹීම නිසා අමාරුවේ වැටෙනවා. රජයෙන් හෝ වෙනත් සංවිධානවලින් මේ පිළිබඳ ඔවුන් දැනුවත් කළ හැකි වුවත් එසේ නොකිරීම කනගාටුවට කරුණක්.
ජනතාව උත්සව සමයේදී අනවශ්‍ය ලෙස වැය කිරීම ඔවුන්ට පමණක් නොව මුළු රටේම ආර්ථිකයට බරක්. රජයෙන් මේ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔවුන් දැනුවත් කළ යුතු වෙනවා. එවිට අනාගතයේ ගැටලු ඇතිවන්නේ නැහැ. පාරිභෝගිකයා වෙළෙන්දාගේ ගැටවලට හසුවන්නේ ඔවුන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් නොමැති වීම නිසයි. ඔවුන් අවසානයේ නතර වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට ගොසිනුයි. දැනට මෙම ණයට යොමුවූ 45,000ක් පමණ අමාරුවේ වැටිලා. විශේෂයෙන් කාන්තාවන්.
රටක සංවර්ධනය යනු භෞතික සංවර්ධනය හා මානව සංවර්ධනය යන දෙකම එකට යාමයි. භෞතික සංවර්ධනය සිදුවුවද මානව සංවර්ධනය නැතිනම් ආර්ථික සංවර්ධනයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ආහාර බුදින රට අපේ රට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. කෑම ගැන අපේ රටේ කළමනාකරණයක් නැහැ. උත්සව සමයේ වෙළෙඳපොළට එන කේක්, ටින් කෑම, බීම වර්ග මෙන්ම ගුණාත්මකමින් අඩු රසකැවිලි පාරිභෝගිකයා කිසිදු පාලනයකින් තොරව මිලට ගන්නවා. සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ගද එමටයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළ යුතුයි. නිවැරදි ආහාර ඇස්තමේන්තුවක් සකසා ඉල්ලුමට මුහුණදීමට කටයුතු කළ යුතුයි. එවිට බඩු හිඟ වී මිල ඉහළ නගින්නේ නැහැ. කෘත්‍රිම මිල ඇතිවන්නේ නැහැ. ආනයනය කිරීම් අවශ්‍ය නම් එය කල් ඇතිව කළ හැකි වෙනවා. ජනතාව සුදුසු පරිභෝජන රටාවකට යොමුකිරීමට රජය මැදිහත් විය යුතුයි.
►යසවර්ධන රුද්රිගු