2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ලංකාවේ අළුගෝසු වදයේ අලුත්ම ගොදුර

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

සරසවි සිහිනය සැබෑ කරගෙන සාර්ථක අනාගත ජීවිතයක් අපේක්ෂාවෙන් අකුරු කරන දරු දැරියෝ නොවිඳිනා දුක් ගැහැට විඳ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙති. දහසක් බලාපොරොත්තු පොදි බැඳ සරසවියට පියනැගූ යෞවන යෞවනියන්ට විශ්ව විද්‍යාල භූමියේ ක්‍රියාත්මක නවක වදයෙන් ගැලවුමක් නැත. අනපේක්ෂිත ඕනෑම දුකක් වදයක් විඳදරා සිය බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගන්නා පිරිස් අතර නවක වදය දැරීම පසෙක තබා ජීවිතයෙන් ද පලා යන්නට උත්සාහ දරන අය වෙති.

නවක වදය විඳදරාගත නොහැකිව අවාසනාවන්ත ලෙස අකාලයේ දිවි තොර කරගත් තරුණයකු පිළිබඳ වාර්තා වූයේ කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයෙනි.

“මට සමාවෙන්න මම මේ තීරණය ගත්තේ එන්. ඩී. ටී. එකේ තියෙන නවක වදය නිසා. දවසට පැය 8ක් 9ක් එක එකා කියන දේ අහගෙන ඉන්න ඕනේ. මම මාර පීඩනයකින් ඉන්නේ”

යැයි දීර්ඝ විස්තරයක් සටහන් තැබූ ලිපියක් සිය නිදන කාමරයේ තබා ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන තිබුණේ හෝමාගම පිහිටි ජාතික විද්‍යා තාක්ෂණික ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටි ඩබ්ලිව්. ඩී. ශනිල්ක දිල්හාන් විජේසිංහ (23) නැමැති සිසුවෙකි.

මෙසේ අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබූ ශනිල්ක දිල්ශාන් කුරුණෑගල කුඹුක්ගැටේ, වඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. පවුලේ එකම පිරිමි දරුවා වූ ශනිල්ක පවුලේ වැඩිමලාය. ශනිල්කට බාල නැගණියක සිටින අතර පියා නිමි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ මව පවුල් සෞඛ්‍ය නිලධාරිණියක වශයෙන් කටයුතු කරන්නීය. කුඩා කළ පටන් සෙසු වයසේ දරැවන්ට වඩා බෙහෙවින් අහිංසක චරිතයක් ගත කළ ශනිල්ක කුරුණෑගල ප්‍රසිද්ධ පාසලකින් උසස් පෙළ අධ්‍යාපනය හමාර කර තිබුණේ ගණිත අංශයෙනි.

එවකට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වූ ශනිල්ක යාපනය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයට ඇතුළත් වී තිබුණේ සුවහසක් බලාපොරොත්තු ඇතිවය.

2018 වසරේදී යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු මාස හයක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබුණේ හිතේ නොසතුටෙනි. එම කාල සීමාව පුරාම විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ නවක වදයට ලක්ව තිබුණු ඔහුට එය දරාගත නොහැකි තරමේ එකක්ව තිබී ඇත. එබැවින් උසස් අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා දමා විශ්ව විද්‍යාලයෙන් ඉවත්වන්නට ශනිල්ක තීරණය කර තිබුණි. එහෙත් උසස් අධ්‍යාපනය හදාරන්නට තිබූ අදහස සිතින් බැහැර වී නොතිබුණු ශනිල්ක හෝමාගම පිහිටි නේවාසික විද්‍යා තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කර එහි ඇතුළත්ව ඇත.

ඩිප්ලෝමාව හදාරන්නට ගිය ශනිල්කට යාපනය විශ්ව විද්‍යාලයේදී මෙන්ම එහිදීත් නවකවදයට ලක්වීමට සිදුව ඇතැයි කියති. ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයේ නවකවදය දරුණු වීමත් සමඟ පසුගිය පෙබරවාරි 15 වැනිදා ආයතනය වසා දමා තිබුණේ දින නියමයක්  රහිතවය. අනතුරුව මාස එකහමාරක් පමණ නිවසට වී සිටි ශනිල්ක සිත් තැවුලෙන් කල්පනා කරමින් සිටි බව කියන්නේ ඔහුගේ මවුපිය දෙපළය. එසේ කල්ගෙවන පුතුට යළිත් එහි නොයන ලෙසට අවවාද කළ බව ඔවුහු ප්‍රකාශ කරති.

උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරා වරක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් දෙවනුව ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාවත් දෙකම අතරමග ඇනහිටීමට ලක්ව තිබුණේ ඔහු බලාපොරොත්තු රහිත ලෙස අත්විඳීමට සිදු වූ නවක වදය නිසාය. මේ සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් පසු වූ ශනිල්ක නිවසේ රැඳී සිටියදී ඉකුත් 31 වැනිදා පස්වරුවේ හදිසියේම විදුලිය විසන්ධි වී තිබුණි. ඒ මොහොතේ සිය කාමරයේ රැඳී සිටි ශනිල්ක කොළයක් රැගෙන යමක් ලියා තබා එය කාටත් පෙනෙන සේ මේසය මත තබා ගෙමිදුලට බැස තිබුණි. ඉන් අනතුරුව දුටු දේ පිළිබඳව ශනිල්කගේ පියා වන මෛත්‍රීපාල විජේසිංහ මහතා මෙසේ පැවසීය.

“31 වැනිදා මම ගල්ගමුවට ගියා. හවස ගෙදර ඇවිත් ළඟ ගෙදරකට ගියා කෙනෙක් මුණගැහෙන්න. නැවත එනකොට ගෙදර පැත්තෙන් කෑගහන සද්දයක් ඇහුණා. පස්සෙ ගිහින් බලද්දි මගේ පුතා ගෙදර වත්තේ කජු ගහක එල්ලිලා සියදිවි හානි කරගෙන තිබුණා. ඇඟේ රස්නයත් තිබුණු නිසා පොඩි හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉක්මනට රෝහලට ගෙනිච්චා”

මරණයට පත්ව ඇති ශනිල්ක සෙසු වයසේ තරුණයන් මෙන් සමාජශීලී නොවීය. බොහෝ විට තනිවම කල්ගත කළ අයෙක් විය. එහෙත් අධ්‍යාපනය කෙරේ මහත් උනන්දුවක් දක්වා තිබුණි. බොහෝ තරුණ පිරිස් මෙන් මුහුණුපොත වැනි අන්තර්ජාල වෙබ් අඩවි හෝ පරිහරණය නොකළ අයෙකි.

“දරුවා සිවිල් ඉංජිනේරු විෂයට ගොඩක් ආසයි. පුතා ගෙදර හිටපු ටිකේ තේරුණා පීඩනයකින් ඉන්න බව. ඒ නිසා ඔහු මානසික වෛද්‍යවරයෙක් ළඟටත් යොමු කළා. ආගමික පැත්තෙනුත් හැකි දේවල් කළා. අපි දරුවා ගැන නිතරම අවධානයෙන් හිටියා. ඒත් දරුවා අපිට අහිමි වුණා. ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන ලෙස ඉල්ලනවා. නවක වදය නිසා තවත් දරුවන්ට හරි මවුපියන්ට හරි මෙහෙම දෙයක් වෙන්න එපා”

මෙසේ හැඬූ කඳුළින් අදහස් පළකළේ ශනිල්කගේ පියා විසිනි. සිය දිවි නසා ගැනීමට හේතු දක්කවමින් ලියූ ලිපිය මගින් එන්. ඩී. ටී. සිසුන් පිරිසකට චෝදනා කර තිබුණි. මියගිය ශනිල්කගේ අවසන් කටයුතු ඉකුත් දිනක සිදු කළද ජාතික විද්‍යා තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ කිසිදු කෙනෙක් අවමගුලට සහභාගී නොවූ බවද වාර්තා විය.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේ, සුළු පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා පොලිස් කොස්තාපල් 5522 දේවගිරි යන නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා - වැල්ලව ශිවා බණ්ඩාර