2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

රෝස මුසැන්ඩාස් පිස්සුව

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 238

සුසන්ත මූණමල්පේ ලියපු රෝස මුසැන්ඩාස් පිස්සුව පුංචි පිස්සුවකින් වගේ කියවගෙන කියවගෙන යන්න පුළුවන් කෙටිකතා අහුරක්. බැලූ බැල්මටයි අතට ගත්තමයි සැහැල්ලුවට දැනෙන මේ පොත මොන තරම් බරද කියලා හිතෙන්නේ ඒ කෙටිකතා 6 කියෙව්වට පස්සේ.

මේ කෙටිකතා පොතේ පළවැනි කෙටිකතාව ස්මරණ සහ ගස් මරණ කියවලා ඉවර වුණාම ඉහිලුම් නැති ගතියක් එහෙම නැත්නම් කම්පනයක් දැනෙන්න හේතුව ඒ කෙටිකතා ප්‍රස්තුතයට සමාන සිද්ධියක් පෞද්ගලිකව මට සිදුවී තිබීමයි. හුදෙකලා ගැහැනියෙක් එක්ක දුක සැප බෙදාගන්න කතා කරන කොස් ගහ මරණයෙන් බේරාගන්න ගිමාරාට බැරි වුණාම ඒ දුකටම ගහත් එක්ක මැරිලා ගිය ගිමාරලා තමයි අනන්තවත් අපි අතරේ ඉන්නේ... තමන් ආදරය කරන දෙයක් බේරාගන්න බැරිව අසරණ වෙන ගැහැනු මිනිස්සුන්ගේ ආත්මීය විලාපය මේ කතාව ඇතුළේ මට ඇහුණා.

මේ පොතේ මගේ හිත වඩාත්ම ඇදගත්තු කතාව තමයි විජිතගේ වළලු විජිතය. බස් කොන්දොස්තර කෙනෙක් වුණු විජිතගේ ජීවන දර්ශනය ගැඹුරු එකක්.

කොල්ලෝ ඔහෑටි වළලු දානවයැ..

මොන පොතේද මිස් කොල්ලන්ට වළලු දාන්න එපා කියන්නේ...

ගැහැනු අයට වගේම පිරිමි අයටත් සමාජය සාධාරණම නැහැ. කොයි වෙලෙත් බෙදුම් කටුවක් ළඟ තියාගෙන මායිම් ගහලා බෙදා වෙන් කරන්න හදන දේවල් නිසාම ගැහැනිය හා පිරිමියා කියන දෙන්නම අපයෝජනය වෙනවා නේද කියලා හිතුණා. කොණ්ඩේ වවලා කරාබු වළලු දාපු, පච්ච ගහපු පිරිමියෙක් දිහා තාමත් සමාජයේ කොටසක් බලන්නේ රස්තියාදුකාරයෝ ගානට දාලා. මල් වැටුණු කුඩ අරන් යන පිරිමින්ට හිනාවෙන අයත් සමාජයේ ඉන්නවා. මේකට හේතුව තමයි මිනිසුන් විතරක් ගැහැනු පිරිමි කියලා බෙදලා නිකම් ඉන්නේ නැතුව සමාජය විසින් විවිධ කාර්යභාරයන්, වර්ණ, ගතිගුණ, බඩු බාහිරාදිය පවා ගැහැනු පිරිමි කියලා වර්ග කරනවා. මේ අනවශ්‍ය වර්ගීකරණය ඇතුළේ ගැහැනු පිරිමි දෙපිරිසම පීඩාවට පත්වෙනවා.

විජිත කියන චරිතය ඒ වර්ගීකරණයන්ට එරෙහිව ස්වාධීනව නැගී ඉන්න චරිතයක්. තමන්ගේ අතේ තියෙන හැම වළල්ලටම කතාවක් තිබුණු චරිතයක්. විජිත ඒ කතාව කිව්වම තමයි අපි වැඩිය හිතුවේ නැතිවුණාට ළඟ තියෙන හැම පුංචි දේටම ඒ දේවල්වලට අනන්‍ය වුණු කතාවක් තියෙනවා නේද කියලා හිතුණේ. මිනිස්සු ගොඩක් වෙලාවට ජිවිතය පහසු කරගන්න තමන් ළඟ තියෙන දේවල්වල ඒ කතාව අමතක වෙන්න අරිනවා. එහෙම නැත්නම් හිතාමතාම අමතක කරනවා. එහෙම අමතක කළාම ඒ කිසිම දේකට වෙළෙඳපොළ වටිනාකමට එහා ගිය වටිනාකමක් නැහැ. හැබැයි කෙනෙක් ළඟ තියෙන හැට්ට කටුවට පවා අසීමිත වටිනාකමක් දෙන්න ඒ හැට්ට කටුව එක්ක බැඳුණු කතාවකට පුළුවන් වෙනවා. විජිත වළලු එක්ක මතකයන් එකතු කළේ එහෙම.
ඔයා දන්නවද ලෝකේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ වක්‍රාකාරව. වළලු වගේ. උසස්පෙළ කරන්න පුළුවන් වෙන විදිහට සාමාන්‍යපෙළ සමත් වෙන්න බැරිවුණත් අත්දැකීම් එක්ක පොහොසත් වෙන විජිතගේ ජීවිතාවබෝධය උපාධියකින් ගන්න බැරි තරම් ගොඩක් ගැඹුරුයි.

තුසිතාට විජිත ගැන ආදරයක් ඇතිවෙන්න විශේෂ හේතුවක් නොතිබුණත් තමන්ගේ වළල්ලෙන් වළල්ලට තියෙන කතා ගැන හාර හාර අහපු තුසිතා ගැන විජිතට ආලවන්තකමක් ඇතිවෙන්නේ ජීවිතයට තවත් වළල්ලක් එකතු කරගෙන. ඒත් තුසිතා කැරකිලා ගිහින් තමන්ගේ වළල්ලේ නතර වෙනවා වෙනුවට එයාටම කියලා වළල්ලක් හදාගනිද්දී විජිත තමන්ගේ වළලු අල්ලලා විසි කරලා දාන්නේ වළලු දාන එක සදහටම නවත්තලා. සමහර වෙලාවට සමහර අයගේ ජීවිත එහෙම තමයි. අලුත් පරිච්ඡේද පටන් ගන්න පරණ ඒවා සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න වෙනවා.

වැව් සාගරගෙයි සොහොන් අරලියාගෙයි කතාව නාඳුනන දෙන්නෙක් අතර වුණු ලියුම් හුවමාරැවක්. ඒ ලියුම් හුවමාරු කරගත්තේ කවුද කියලා බෝඩිමේ හිටපු කවුරැත් දන්නේ නැහැ. ඒත් මොකක්දෝ සාම්ප්‍රදායක් රැකගන්නවා වගේ බෝඩිමට එන කවුරැත් ලියුම් දෙක කුණු කූඩෙට නොදා තියෙන විදියටම ඊළඟට එන එක්කෙනාටත් කියවන්න අරිනවා. තාක්ෂණය දියුණු වෙද්දී මිනිස්සු ලියුම් ලියන එක අතහැරියා. හැබැයි ලියුම් ලියපු කියවපු අය අතරේ ලියුමක් රැගෙන එන ප්‍රහර්ෂය තාමත් රැඳිලා තියෙනවා. ලියුම් නොලියන අයට වුණත් එහි රසයක් දැනෙන නිසාදෝ මන්දා බෝඩිමට එන අය ලියුම සංරක්ෂණය කරලා යෂ්ටියක් හුවමාරැ කරන්නා සේ අනිකා අතට පත්වෙන්න ඇරියේ.

කතුවරයා තමන්ගේ මේ හුරැබුහුටි නමුත් ගැඹුරු කතාවන්ට යොදාගන්නා ප්‍රස්තුතයන්හි තියෙන්නේ අපූර්වත්වයක් හා නැවුම් බවක් වීම පාඨකයාව පොතට ඇද බැඳ තබාගන්න සමත් වෙනවා.

මේ කතා හයේම මම දැක්ක තවත් ලක්ෂණ දෙකක් ලියන්නම්. ඒ තමයි කතා කිහිපයකම සමහර චරිත එන්නේ රත්නපුරෙන්. වැව් සාගර, රෝස මුසැන්දාස් පිස්සුවෙ එන කතා නායිකාව, වළලු විජිතයේ විජිත වගේ චරිතවලට මූලාරම්භයට කතුවරයා රත්නපුරය තෝරාගෙන තිබෙනවා. මේ කෙටිකතාවලින් ආධුනික ලක්ෂණ ඉක්මවීමට කතුවරයා සතු හැකියාව අපට පෙන්නුම් කරනවා.

 කාංචනා ප්‍රියකාන්ත

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00