කාර්යාලයීය දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි නොකර කාන්තා මැදිරි වෙන්කිරීම නිසා මැදිරිවල තදබදය වැඩි වී මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පසුගිය දා වර්තා විය. මෙම චෝදනාව නැගුවේ දුම්රිය මගී සංගම් කිහිපයකි. ඒ අනුව සමුද්‍රදේවි, මහව සහ බංගදෙණිය යන දුම්රියවලට මෙම ගැටලුවට මුහුණ පා ඇති බව කියවිණි. මේ ඔස්සේ යම් සොයා බැලීමක් කිරීමට අපි අදහස් කළෙමු.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල බලා ධාවනය වන සමුද්‍රදේවි දුම්රිය මැදිරි 12කින් සමන්විත අතර කාන්තා මැදිරියක් වෙන්කිරීම හේතුවෙන් අනෙක් මැදිරි තුළ තදබදය ඉහළ ගොස් ඇතැයි කියති. එමෙන්ම මහව සහ බංගදෙණිය දුම්රියවල ද යම් යම් ගැටලු නිර්මාණය වී ඇති බව කියවේ. මේ හේතුවෙන් මගී සංගම් ඉල්ලා සිටින්නේ ඊට අතිරේක මැදිරි හෝ මීට වඩා වැඩි මැදිරි සංඛ්‍යාවක් ඇති දුම්රියක් ලබාදෙන ලෙසය. එහෙත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දේශය කළ විමසීමකදී ප්‍රකාශ කළේ සමුද්‍රදේවි දුම්රිය බලවේග කට්ටලයක් බැවින් අමතර මැදිරි යෙදවිය නොහැකි බවයි. එහිදී තවදුරටත් ඒ මහතා මෙසේ පැවසිය.
“කාන්තා දුම්රිය මැදිරි දැම්මාම කාන්තාවෝ ඒ මැදිරියටයි යන්නේ. එතකොට ඒ ප්‍රමාණය අඩුවෙන්න එපැයි අනික් පෙට්ටිවලින්. කවුරුත් අලුතින් එන්නේ නෑනේ. මගීන් කිව්වට යම් කිසි පිරිසක් විසින් තමයි මේක කරන්නේ. ලොකුවට ප්‍රශ්නයක් නම් අපිට දකින්න ලැබෙන්නේ නෑ. මේ කියන කෝච්චිවලට දුම්රිය මැදිරි වැඩි කරන්න බෑ. ඇත්තටම වැඩි කරලා තියෙන්නේ. බලවේග කට්ටලවල මැදිරි වැඩි කරන්නම බෑ. බංගදෙණියේ කුරුණෑගල දුම්රියවල නම් පෙට්ටි වැඩි කරන්න පුළුවන්. ඒත් දැනට තියෙන දිග ප්‍රමාණය එක්ක තාක්ෂණික හේතු නිසා ඊට වඩා වැඩි කරන්නත් බෑ. එහෙම වුණොත් හරව ගන්න බෑ. ඒක තමයි අපිට තියන ප්රශ්නය"
වෙනත් මැදිරි යෙදවීමට ද හැකියාවක් නොමැති බවද මෙහිදී පැහැදිලිය. නමුත් විශේෂ තදබදයක් ඇතිවීමට හේතුවක් නැතැයි කීම ප්‍රශ්න සහගතය. කාන්තාවන් සඳහා මැදිරි වෙන්කිරීමක් මිස දුම්රිය මගීන් වැඩිවීමක් සිදු නොවූ බව ද සත්‍යයකි. වෙන්කරන කාන්තා මැදිරිවල සාපේක්ෂව තදබදය ද අඩුවී තිබේ. උදාහරණය ලෙස ඉඳගෙන හිටගෙන 150 ක් යන මැදිරියක දැන් යන්නේ කාන්තාවන් 100කි. එවිට හිටගෙන යන ප්‍රමාණය වෙනදා තරම් නැත. එය කාන්තාවට යහපත් සුවපහසු තත්ත්වයකි. බලධාරීන්ගේ ද අරමුණ ඉටුවීමකි.
මේ සියල්ල එසේ වෙද්දී සෙසු මැදිරිවල තදබදය වැඩි වී ඇත. කන්තා මැදිරිවල හිස්වන ඉඩ ප්‍රමාණයේ ගමන් ගත් මගීහු ඉතිරි මැදිරිවල තෙරපෙති. එයට හේතුව මගීන් මැදිරි අතර සමාන ලෙස බෙදී නොයාමයි. මේ ප්‍රශ්න අප ඔබ හමුවේ තබන්නේ කාන්තා විරෝධීය ආකල්පයකින් නොවේ. පවතින තත්ත්වය පැහැදිලියි කිරීමේ අටියෙනි.
ආණ්ඩුව විසින් තීරණය ගැනීමේ දී එම තීරණය ප්‍රතිඵල පිළිබඳ මනා ලෙස විග්රහ කොටගෙන එම තීරණය ගත යුතු වේ. එසේ නැති විට කවර හෝ පාර්ශවයක් එයින් පීඩාවට පත්වෙයි. කාන්තා මැදිරි වෙන් කිරීමට ගත් තීරණය මගී සංගම් පවා අගය කොට ඇත. එහෙත් එවැන්නක් සිදුකිරීම සැබෑ ශක්‍යතාවක් ලංකා දුම්රිය සේවය සතු ද යන්න ගැටලුවකි. කාන්තා නොවන මැදිරි පිරිමි මැදිරි නොවේ. ඒවායේ ද කාන්තාවෝ ගමන් කරති. තවද දුම්රිය ගමන් ආරම්භ කරන කොටුව මරදාන වැනි දුම්රිය ස්ථානවලින් දුම්රියකට ගොඩවීමට ඇත්තේ අධික තදබදයකි. අසුනක් ලබා ගැනීම ඉතා අපහසුය. පළමු වැනි පන්ති, කාන්තා මැදිරි තෝරා දුම්රියට ගොඩවීම පහසු නැත. කාන්තාවන්ට ද එම මැදිරියේම ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන්නේ මෙවන් පසුබිමකය.
මෙම ප්රශ්නය සම්බන්ධ තවදුරටත් විමසීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සම්බන්ධ කරගතිමු. එහිදී මේ සම්බන්ධ පැමිණිලි රුසක් ලැබී ඇති බව ඔහු පැවසීය. කෙසේ නමුත් කාන්තා මැදිරි වැඩි කිරීමෙන් තදබදයක් හටගත නොහැකි බව ඇමැතිවරයාගේ ද අදහසයි.
“එහෙම වෙන්න විදිහක් නෑනේ. එක පෙට්ටියකට ගිය කාන්තාවෝ සහ පිරිමි අතරින් කාන්තාවෝ වෙන පෙට්ටියකට ගියාම අර පෙට්ටියේ ඉඩ ඉතුරු වෙනවනේ. කාන්තා මැදිරි හිස් වෙන්න විදිහක් නෑ. සමහර විට කාන්තාවෝ ඒ මැදිරිවලට යන්නේ නැතිව ඇති. අපි මේක දාන්න හේතුව කාන්තා හිංසනය. පිරිමින්ගෙන් කාන්තාවන්ට වෙන හිංසන ගැන කියනවනේ කාන්තාවෝ. ලිංගික හිංසනයට ලක්කරනවා එක එක කතා කියනවා. ඒකට අකැමැති අයටනේ මේ කාන්තා මැදිරිය දීලා තියෙන්නේ. අපි බලකරලා නෑ කාන්තා මැදියට යන්න කියලා. ලිංගික හිංසනයට කැමති අය තමා කාන්තා මැදිරිවල යන්නේ නැතුව ඇත්තේ.
මේක දාන දවසේ මම ඒ කාන්තාවන් එක්ක කතා කළා. ඇත්තම කියනවා නම් ඒවෙලාවේ සමහර කාන්තාවෝ මේකට ආවේ නෑ. ඒකෙන් තේරෙන්නේ කාන්තාවෝ පිරිමි එක්ක එකට ගැවසිලා යන්න කැමතියි. ඕන එකක් ආරම්භයේදී මෙහෙම වෙනවා අපි ඉස්සරහට කාන්තාවන් වෙනුවෙන් බසුත් දාන්න බලාපොරොත්තු වෙනවා. මටත් ලියුම් වගයක් ඇවිල්ලා තියනවා පෙට්ටි වැඩි කරන්න මේකෙන් තදබදයක් ඇති වෙනවා කියලා. කාන්තාවෝ පිරිමියි එකට ගිය පෙට්ටියෙන් කාන්තාවෝ කාන්තා පෙට්ටියට ගියාම ඉඩ ඉතුරුවක් වෙනවානේ. සෙනගට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. ඔය ප්‍රශ්න වෙන්නේ කාන්තාවෝ කාන්තා පෙට්ටියේ යන්නේ නැත්නම්. එහෙම කියලා මේ කන්සෙප්ට් එක නතර කරන්න බෑනේ ඉතින්. කොච්චර ඉන්නවාද කාන්තා හිංසනයට ගොදුරැ වෙච්ච අය මේකට අකමැති"
අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරියේදී දුම්රිය මැදිරි, එන්ජින්, බලවේග කට්ට ආනයනය කටයුතු යොදා ඇති බැවින් මෙම ගැටලු විසඳෙනු ඇති බවයි. එහෙත් අප දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සමඟ කළ සංවාදයේදී හෙළිවූයේ සැලකිය යුතු කාලයක් මීට වැයවන බවයි. පසුගිය කාලයේ මෙරට ගෙන්වනු ලැබූ දුම්රිය මෙරට ධාවනය කර පසුව එහි අඩුපාඩු නිෂ්පාදකයන්ට දන්වා ඉතිරි දුම්රිය ගෙන්වීමට කටයුතු කරනු ඇත. වෙනත් රටවලින් ද මැදිරි එන්ජින් බලවේග කට්ටල ආනයනය සූදානමක් පවතින බව සැබෑවකි. එහෙත් එය ද අධික කාලයක් ගතවන්නකි.
මීළඟට කාන්තා මැදිරි සම්බන්ධ අතීත කතාවක් ඇති බව කිව යුතුය. අසූව දශකයේ මෙරට දුම්රියවල කාන්තා මැදිරි පැවතිණි. අසූ නවය දී රට තුළ හටගත් භීෂණය සහ පසුව යුධ සමයේ ඇති වූ අර්බුදය හමුවේ කාන්තා මැදිරි වෙන් කිරීම නවතා දමන්නට සිදු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ පොත් පත්වල ද කාන්තා මැදිරි දුම්රියවල තිබිය යුතු බව කියවේ. අපට මේ බව පැවසුවේ දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාය. එසේ නම් මෙය පළමු අවස්ථාව නෙවේ. නම සඳහන් කිරීමට අකැමැති පැරණි දුම්රිය මගියකුගෙන් අප මේ සම්බන්ධ විමසුවෙමු. එතැනදී මතුවූයේ වෙනස්ම කතාවකි. ඔහුට අනුව එවක කාන්තා මැදිරි ඉතා අසාර්ථක උත්සාහයක් වී ඇත. දෛනික කාර්යාල දුම්රියේ ගමන් කරන කාන්තාවන්ගෙන් පිරිසක් එම මැදිරිවල ආධිපත්‍යයක් ගොඩනගා ගෙන තිබේ. එමෙන්ම මේ මැදිරි තුළ ඔවුන් විසින් අනෙක් කාන්තාවන් හිංසනයට ලක්කරන බව කියවේ. මෙවන් මැදිරිවල ආධිපත්‍යය දැරූ කන්තාවන්ගේ අවසරයෙන් එහි ගමන් ගත් පිරිමි මගීන් ද සිටි බවත් ඔහු පවසයි.
මෙවන් කතා කොතෙකුත් තිබුණ ද කාන්තාවන් හට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදී සිදුවන අසීරුතාවයන් හා හිංසනයන් පිළිබඳ කතාව පූර්ණ සත්‍යකි. එයින් කාන්තාවන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීම සාධනීය පියවරකි. ප්‍රථම අදියර දුම්රිය අරඹයා ද දෙවන අදිරය බස් රිය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබේ. කෙසේ නමුත් අටුව කඩා පුටු හැදීමට නම් වඩුවෙක් වැඩක් නැත. එනිසා සියල්ල මනා කොට විමසා බලා බලධාරීන් කටයුතු කිරීම අවශ්‍යය.
►චමිඳු නිසල් ද සිල්වා