ප්‍රවීණ සම්මානනීය ලේඛිකාවක වන ශාන්ති දිසානායකගේ 21 වැනි නවකතාව ගිගිරි පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. කෙටිකතා සහ යොවුන් නවකතා ද කිහිපයක් ලියා ඇති ශාන්ති තීරැ ලිපි රචිකාවියක ලෙසද ජනප්‍රිත්වයට පත්ව සිටින්නීය.
ඔබේ ගිගිරි නවකතාව ගොවි ජනපද ව්‍යාපාරයක තරුණ චරිත කිහිපයක් වටා දිවයන කතා තේමාවක් සහිතයි. එම කෘතිය ගැන පැවසුවහොත්...?
මම 1940 දශකයේ සිට ගොවි ජනපද ව්‍යාපාරවල වටපිටාව නවකතාවලට පාදක කර ගත්තා. අතීතය පසුබිම්කරගත් කතාවලින් ඉවත් වී වර්තමානයේ ජීවිත ගෙවීයන ආකාරයයි ගිගිරි ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළේ.
ඔබ මෑතකදී නවකතා කිහිපයක්ම පළකළා... ඒ කියන්නේ ඔබ වෘත්තිය ලේඛිකාවක් බවට පත්වෙලාද?
එහෙමම කියන්න අමාරුයි... අපට ලැබිලා තියෙන්නේ සීමිත කාලයක්නේ. ජීවිතේ හුඟාක් දුර ආවට පසු හිතෙනවා ඉතිරි වී තිබෙන කාලය නිර්මාණ කිරීමට ප්‍රමාණවත් මදි කියලා. මම ජීවත්වන්නේ ඒකාකාරී කුටුම්භ වටපිටාවක්. ඉතින් මේ ඒකාකාරිත්වයෙන් ගැලවීමට තිබෙන මාර්ගය තමයි නිර්මාණ ලෝකය. අපි නිර්මාණ කරන චරිත සමඟ ගොඩාක් දුර ගමන් කරමින් ජීවත්වීමට අවස්ථාව ලැබීමත් නවකතා වැඩිපුර ලියවීමට හේතුවක්. ඒක හරියට ක්‍රීඩාවක් වගේ. විවිධ අවස්ථාවල විවිධ හැඟීම් එවිට ඇතිවෙනවා. වෙහෙස, බිහිසුණු බව, සිත්ගන්නා සුළු බව ආදී වශයෙන්. මුදල් හා කීර්තිය වගේ කාරණා දෙවනුවට තමයි බලපාන්නේ.
මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වගේ විශිෂ්ට ලේඛකයන් පවසා තිබෙනවා එකදිගට නිර්මාණ කෘති ලියනවිට අත්දැකීම් ගබඩාව සිඳෙන බව. ඔබට එය බලපාන්නේ නැද්ද?
එහෙම කියලා තිබෙනවා තමයි. නමුත් මට නම් ඒ අත්දැකීම බලපාන්නේ නැහැ. සමහර විට ගැටලු අවම හා සුවපහසු ජීවිතයක සිටින විට එහෙම වෙන්න ඉඩ ඇති. මම ගොඩාක් ගැහැට මැද ජීවත් වන කෙනෙක්නේ. පරිසරය වගේ දේවල් එක්ක බැඳී ජීවත්වන විට උල්පතක් වගේ නොකඩවා නිර්මාණ බිහිවන බව මට දැනෙනවා. සංකීර්ණ මිනිස් සමාජය තුළ සිදුවන දේවල් ආශ්‍රයෙන් නිර්මාණය කර ඉවර කළ නොහැකි තරම් අත්දැකීම් මතුවෙනවා. ඒවා කෙතරම් දුරට සාර්ථක ද දන්නෙ නැහැ. නමුත් මේ ආභාෂයෙන් නිර්මාණ බිහිවෙනවා. “ගිගිරි* ගැන වුණත් මම සම්පූර්ණයෙන් සෑහීමට පත්වන්නේ නැහැ.
අප රටේ වෘත්තීය ලේඛකයන්ට පැවැත්මක් නැති බවට අදහසක් පවතිනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ...?
ජනගහනයට සාපේක්ෂව බැලුවම අපේ රටේ පොත් බිහිවෙන්නේ ඉතා අඩු පිටපත් සංඛ්‍යාවක්නේ. පොතක් කියා පත්තරයක්වත් විශාල වශයෙන් අලෙවි වන්නේ නැති රටක්නේ මේක. අපට ලොකු කියවීමේ සංස්කෘතියක් නෑනේ. රජය කරන්නෙත් කලාව සම්පූර්ණයෙන් නොසලකා හැර දමා ආගම ඉස්මතු කර ගැනීමක්. ජීවිතය උත්කෘෂ්ට තත්ත්වයට පත්කිරීමට නම් කලාව වෙනුවට ආගමට ළංවෙන්න කියලා තමයි පාලකයොත් පවසන්නේ. නවකතාව ඇතුළු සාහිත්‍යය පමණක් නොවෙයි. පොදුවේ හැම කලා මාධ්‍යයකටම අත්වී තිබෙන්නේ කනගාටුදායක ඉරණමක්. කලාව කොන් කරලා දාලා. මේ නිසා වෘත්තීය ලේඛකයන්ට සාර්ථක පැවැත්මක් ලබාගැනීම අසීරුයි.
අද බොහෝ ලේඛකයන් කොළඹ අවට ප්‍රදේශවලට සීමාවී සිටිනවා. ඔබ රජරට සිට නිර්මාණකරණයේ යෙදීමේදී බාධක මතුවී තිබෙනවාද?
මම නම් ප්‍රාදේශීය වශයෙන් දුරබැහැර ඉඳීම ගැටලුවක් කියලා විශ්වාස කරන්නේ නෑ. අද ලෝකය එකම යායක් විදිහට දකින්න අපි පුරැදු වෙලා. නමුත් ප්‍රායෝගිකව ගත්විට යම් යම් ගැටලු පැනනගිනවා. මම ඒවා සලකන්නේ නෑ. තාමත් මගේ අත්පිටපත් කොළඹට යන්නේ තැපැල් මගින්. සෝදුපත් බැලීමට එවන්නෙත් තැපෑලෙන්මයි. කර්තෘට එවන පොත් ලැබෙන්නෙත් තැපැලෙන්ම තමයි. ඒ වගේ දේවල් ගැන එතරම් තැවීම අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. තමන් ඉන්න තැනට වඩා වැදගත්වන්නේ කරන නිර්මාණය බවයි මම හිතන්නේ. ඒ වගේ දුෂ්කරතා නොසලකා හළයුතු බවයි මම විශ්වාස කරන්නේ.
සාහිත්‍යයේ තවමත් කල්ලිවාද රජ කරන බව සමහරු පවසනවා. ඔබට ඒවා බලපාලා තිබෙනවාද?
මම යම් නිර්මාණයක් කළ පසු ඒ නිර්මාණය අත්හරිනවා. ඒ නිර්මාණයේ එල්ලිලා සිටීමට ලේඛකයාට අයිතියක් නෑ. ඒක පාඨකයාට විචාරකයාට තමයි අයිති. කල්ලිවාද තිබුණත් අපි ඒ ගැන කරදර වෙන්නේ ඇයි කියලයි මම හිතන්නේ. තමන් කරන ඊළඟ නිර්මාණය ගැන සිත යොමු කිරීම තමයි වඩාත් වැදගත්.
විවිධ බාධක මැද තමයි ඔබ කාලය සොයාගෙන ලියන්නේ. නමුත් අද වැඩිදෙනෙක් පොතක් කියවීමටත් කාලයක් නැති බවට මැසිවිලි නගනවා...?
කාලය කියනා දේ අපි කළමනාකරණය කරගත යුතුයි. ඒක අපට පාලනය කිරීමට බැරි දෙයක්. මිනිසා වගේ කෙනෙක් කාලයට පරාජය වන්නේ ඇයි කියලා මට හිතෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි වගබලා ගන්න ඕනෑ. එහෙම සොයාගන්නා කාලයෙන් තමයි මම නිර්මාණ කරන්නේ.
ඔබේ නවකතාවල දෘෂ්‍යමය ස්වරූපය වැඩියි. ඒවායින් ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටත් නිර්මාණය කර තිබෙනවා. ඔබ එවැනි රචනා ශෛලියක් අනුගමනය කරන්නේ චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය බවට පත්කිරීමට පහසු වීමටද...?
මම මුලින්ම ලියපු වරාමල් පොතේ පටන් මෙම ස්වරූපයෙන් තමයි ලියැවී ඇත්තේ. වරාමලුත් ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය වුණා. ඒ චෝදනාව මට එල්ල වුණත් මම ඒක පිළිගන්නේ නෑ. එය ඇසිය යුතු මගේ නවකතා ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට තෝරාගන්නා අධ්‍යක්ෂකවරැන්ගෙන්. මම පුංචි කාලේ පටන්ම පරිසරය විඳින්න පුරැදු වුණු කෙනෙක්. පුළුල් අවකාශයක කුඹුරැ, වතුර, තැනිතලා වනාන්තර සහිත ප්‍රදේශයක ජීවත් වන විට රෑපමය විස්තර කිරීම් නිරායාසයෙන්ම මගේ කෘතිවල තියනවා. මම රෑපයෙන් වසඟ වුණු කෙනෙක්!
ඒකට හේතුව තමයි කොටු නොවූ අසීමිත අවකාශයක ජීවත් වීම කියලයි මට හිතෙන්නේ. එහෙම නැතිව ලියනාවිට මේක ටෙලිනාට්‍යයකට හොඳයි කියලා හිතාගෙන ලියන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි නිර්මාණ කරන විට සංස්කෘතිය ජාතිය ආගමවත් මම සලකන්නේ නෑ. නිර්මාණයට අවංක වීම පමණයි මම කරන්නේ.
අද තරුණ පෙළ අලුත් ඉසව් සොයායමින් සාහිත්‍ය නිර්මාණ කරන බව පේනවා. ඔබ ඔවුන් දකින්නේ කෙසේද?
නවකතා පමණක් නෙවෙයි කවිය, ගීතය, නාට්‍ය, චිත්‍රපට වගේ හැම ක්ෂේත්‍රයකම තරැණ පරපුර හොඳ නිර්මාණ කරමින් ඉදිරියට යන බව පේනවා. ඒක විය යුතු දෙයක්. හැමදාම පැරණි, ප්‍රවීණයන් මත නොවෙයි නිර්මාණ ක්ෂේත්‍රය රඳාපවතින්නේ. අලුත් අය ඉදිරියට පැමිණීම අවශ්‍යයි. අලුත් පරපුර නිදහස්ව නිවහල්ව හිතනවා. ඔවුන්ගේ සමහර උත්සාහයන් අසාර්ථක වීමට ඉඩ තිබෙනවා. අලුත් පරපුර ගැන සතුටක් ආඩම්බරයක් සහ ආදරයක් මට තිබෙන්නේ.
කුසුම්සිරි
සේයාරුව - සුමුදු හේවාපතිරණ