2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

පිටවල පතන වනසන හරක්වැඩ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

ලෝක උරුම දුම්බර කඳුකරයේ වැදගත්ම පාරිසරික ඉසව්වක් වන්නේ පිටවල පතනයි. අවුරුදු නිවාඩුව වැනි දීර්ඝ සති අන්තවලදී විශාල සංචාරකයෝ පිරිසක් පිටවල පතනට පැමිණෙති. මාතලේ නගරයේ සිට රත්තොට රිවර්ස්ටන් ඔස්සේ පිටවල පතනට දුර කි.මී. 34කි. මෙම සුවිශේෂී කඳකර පතන බිමට අද වනවිට තර්ජන කිහිපයකටම මුහුණදීමට සිදුව තිබේ.

පිටවල පතනේ පැවැත්මට අයාලේ යන ගවයන් ඇතුළු කිරීම විශාල තර්ජනයක්. ඉස්සර ඉඳන්ම ගවයන් ඇතුළු කිරීම සිදුකළත් ඒ කාලේ ලොකු බලපෑමක් තිබුණේ නැහැ. නමුත් අද වනවිට විශාල එළ ගව රංචු, මීගවයන් පතනේ තණ උලාකමින් ඇවිදිනවා. හරකුන්ගේ ගොම වැටීම මෙන්ම උන්ගේ ක්‍රියාකාරකම් නිසා පතනට ආක්‍රමණික ශාකත් පැතිරිලා. බලු නගුට, සුද්දා, හිඟුරැ වැනි ආක්‍රමණික ශාක පතන ආක්‍රමණය කර තිබෙන බව ඕනෑ කෙනෙකුට දැකගැනීමට පුළුවන්. වර්ෂ 2010 දී දුම්බර ලෝක උරැමයක් බවට පත්වන විට තිබුණු ස්වභාවික තණ බිම අද වනවිට 30%ක් පමණ අඩුවෙලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ගව රංචු... එලෙස අදහස් දැක්වූයේ දුම්බර මිතුරෝ සංවිධානයේ සභාපති නිමල් කණහැරආරච්චිය.

දුම්බර මිතුරෝ සංවිධානය මේ වනවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අනුග්‍රහයෙන් දුම්බර වනපෙතේ මුඩු ඉඩම්වල පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. පිටවල පතනට නුදුරින් පිහිටි හෙක්ටයාර් හතක භූමියකද එලෙස එම ප්‍රදේශයට ගැලපෙන පැළ වර්ග රෝපණය කිරීමට තෝරාගෙන තිබේ.

පිටවල පතන ලෝක ප්‍රකට පාරිසරික ඉසව්වක් බවට පත්වූයේ එහි ඇති ජෛව විවිධත්වය නිසාය. මුළු ලෝකයෙන්ම පිටවල පතනේ පමණක් වැවෙන පතන් අල දුලබ ආවේණික ශාකයකි. දුම්බර ගල්පර මැඩියාද ජීවත්වන්නේ මෙහි පමණි. කඳුලැස්ස, වටැස්ස වැනි මාංශ භක්ෂක ශාකද මෙහි වැවී තිබේ. මෙහි පවතින්නේ ගල් පර්වතයක් මත පැතිරුණු තුනී පස් තට්ටුවකි. නියඟ කාලයට මෙම තෘණ තලාව ඉක්මණින් වියළී යාමද ජීවීන්ට ගැටලු ඇති කරන්නකි.

මී හරක්, බටු හරක් තැනිතලාවේ ඇවිදිමින් උලාකන විට උන්ගේ කුරවලට පෑගී ශාක විනාශ වෙනවා. ඒ වගේම කුර නිසා පස් තට්ටුව කැඩී ගිහින් සෝදාපාලුවට ලක්වෙනවා. පිටවල, බතලකොටුව, ඇටන්වල වගේ අවට ගම්මානවල සිටින ගවයන් තමයි මෙලෙස අයාලේ යවා තිබෙන්නේ. සංචාරකයන්ටත් මේ ගව රංචු කරදරයක් වෙලා. මොරගහකන්ද කළුගඟ ජලාශ නිසා සංචාරකයන් එන සංඛ්‍යාවත් දැන් වැඩියි. පසුගිය වසරේ සංචාරකයන් 71,000ක් ඇවිත් තිබෙනවා. ඊට පෙර 2017 වසරේ 66,000ක් දෙනා ඇවිත්. පිටවල පතන වටේට වැටක් ගහලා ආරක්ෂා කරන්න බැහැනේ. ගවයන් අයිතිකරැවන්ට බාරදීමට හෝ රජය මගින් අල්ලා අවශ්‍ය අයට බාරදීම කළ යුතුයි. නිමල් කණහැරආරච්චි වැඩිදුරටත් කීවේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙම ගැටලුව විසඳීමට මැදිහත් විය යුතුවේ.

සංචාරකයන් විසින් අනුභවයට ගෙන ඉවතට දමන බත්, පාන් වැනි දෑ ආහාරයට ගැනීමටද මෙම ගව රංචු පුරැදු වී සිටින්නේ, උඩවලව, මනම්පිටිය වැනි ප්‍රදේශවල හිඟන අලි සිහිපත් කරමිනි.

ගවයන්ට අමතරව දිනෙන් දින වැඩිවන සංචාරක පිරිස්වල නොමනා හැසිරීමද පිටවල පතනට තර්ජනයක් වී අවසානය. දේශීය වනාන්තර සුරුකීමේ සංගමයේ අතීක් නසීර් ඒ ගැන මෙසේ සඳහන් කර සිටී.

සංචාරකයන් අතරින් බහුතරයක් මෙහි පැමිණෙන්නේ කා බී විනෝදවීමට මිස අගනා පරිසර පද්ධතියේ අගය විඳිමට නොවේ. අද වනවිට පතනට පැමිණෙන සංචාරකයන් අවිධිමත් ලෙස ආහාර ද්‍රව්‍ය, හිස් පොලිතින් දවටන, ප්ලාස්ටික් වතුර බෝතල්, ලන්ච් සීට්, මත්පැන් බෝතල්, සිසිල් බීම බෝතල් වැනි දිරා නොයන අපද්‍රව්‍ය බහුලව බැහැර කරනවා. එමෙන්ම පතනේ සංචාරකයන්ට ඇවිදීමට සලකුණු කර ඇති අඩිපාරේ නොගොස් හිතුමතේ පතන් භූමිය පුරාම ඇවිදිනවා. පතනේ තිබෙන කුඩා ශාකවල පැවැත්මට වගේම දුම්බර ගල්පර මැඩියා වැනි සතුන්ටත් එය තර්ජනයක්. සංචාරකයන් අදාළ නියමිත මාර්ගයේ ගමන් කිරීම ගැන දැම්නුවත් කිරීමට නාම පුවරැ සවිකර තිබුණත් ඒවා ගණන් ගන්නා බවක් පේන්නේ නැහැ.

පතන නිර්මාණය වී ඇත්තේ කඳු අතර පිහිටි ගල් පර්වතයක් මතයි. එහි පස් තට්ටුව අඟලක දෙකක පමණ ඝනකමින් යුක්තය. කුඩා ශාක වර්ග සහ තෘණ වර්ග පමණයි පැතිර තිබෙන්නේ. අක්කර කිහිපයකට සීමාවුවත් මෙහි ඇති ජෛව විද්‍යාත්මක වැදගත්කම නිසා එය ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍යව පවතී. ගෝනා, ඉත්තෑවා, වල්ඌරා, වැලිමුවා, මීමින්නා වැනි සිව්පාවුන්ද මේ අවට දිවිගෙවති. කලාතුරකින් කොටියාද මෙහි සැරිසරන බව පැවසේ.

පතනේ එක් කෙළවරක පිහිටි කුඩා ලෝකාන්තය නරඹන්නන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ඉසව්වකි. එහි පිහිටි ඍජු බෑවුම අඩි 1000ක් පමණ පහළට ඇදී යයි. පහළ නිම්නයේ පිහිටා ඇති පිටවල, රත්නින්ද, ඇටන්වල ආදී පුරාණ ගම්මානද හෙල්මළු කුඹුරු යායන්ද කදිමට දැකගත හැකිය. ඒවාට එපිටින් ප්‍රාකාරයක් සේ ඇදී යන මානිගල කඳුවැටිය සොඳුරැ දසුනක් මවාපායි. දුම්බර කඳුකරයේ උසම කන්ද වන ගොම්බානිය (අඩි 6248) තුන්හිස්ගල, ලකේගල ආදී කඳු මුදුන්ද මෙහි සිට දැකගත හැකිය.

 කුසුම්සිරි විජයවර්ධන